පඤ්චකජ්ඣානකථා
පංචක ධ්‍යානය (ධ්‍යාන පසක් වශයෙන්) නිපදවන්නහු විසින් ප්‍රගුණ වූ ප්‍රථමධ්‍යානයෙන් නැඟී, ‘මේ සමාපත්තිය අසල්ව සිටි නීවරණ නමැති සතුරන් ඇත්තේය, විතක්කය ඔළාරික වන හෙයින් අංග වශයෙන් දුබලද වේයයි එහි (ප්‍රථම ධ්‍යානයෙහි) දොස් දැක ද්විතීය ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහිකොට ප්‍රථම ධ්‍යානයෙහි රුවිය ඉක්මවා ද්විතීය ධ්‍යානාධිගමය පිණිස භාවනානුයෝගය කටයුතුය. ඉක්බිති යම් කලෙක ප්‍රථම ධ්‍යානයෙන් නැඟී සිහි ඇතිව මනාදැනීම් ඇතිව ධ්‍යානාංගයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන ඒ යෝගාවචරයාහට විතක්කය පමණක් ඔළාරික වශයෙන්ද විචාරාදී සෙසු අංගයන් ශාන්ත වශයෙන්ද වැටහේ නම්, එකල ඔළාරික අංගය ප්‍රහීණ කිරීම් වශයෙන්ද, ශාන්ත අංගයන් ලබාගැනීම පිණිසද එම නිමිත්තම ‘පඨවි පඨවි’ යයි නැවත නැවතත් මෙනෙහි කරනවිට යටකී නයින්ම ද්විතීයධ්‍යානය උපදී. එම ධ්‍යානයෙහි ප්‍රහාණාංගය වනුයේ විතක්කය පමණෙකි, විචාරාදී සෙසු සතර සමන්නාගත අංගයි. සෙස්ස යටකී ප්‍රකාරම වේ.
මෙසේ එම ධ්‍යානයට පැමිණි කල්හිද යටකී නයින්ම පස් ආකාරයෙන් චිණ්ණවසීභාවයට පැමිණ ප්‍රගුණ වූ ද්විතීයධ්‍යානයෙන් නැඟී, මේ සමාපත්තිය අසල්ව සිටි විතක්ක නමැති සතුරා වේ, විචාරය ඔළාරික වන හෙයින් අංග වශයෙන්ද දුබල වේයයි එහි දොස් දැක තෘතියධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහි කොට ද්විතීය ධ්‍යානය කෙරෙහි රුචිය ඉක්මවා තෘතීයධ්‍යානාධිගමය පිණිස භාවනානුයෝගය කටයුතුය. ඉක්බිති යම් කලෙක ද්විතීය ධ්‍යානයෙන් නැගී සිහි ඇතිව මනා දැනීම් ඇතිව ධ්‍යානාංගයන් මෙනෙහිකරන ඒ යෝගාවචරයාහට විචාරය පමණක් ඔළාරික වශයෙන්ද, පීති ආදී සෙසු අංගයන් ශාන්ත වශයෙන්ද වැටහේද, එකල ඔළාරිකාංගය ප්‍රහීණ කිරීම පිණිසද, ශාන්ත අංගයන් ලැබීම පිණිසද එම නිමිත්තම ‘පඨවි පඨවි’ යනුවෙන් නැවත නැවතත් මෙනෙහි කරනවිට යටකී නයින්ම තෘතීය ධ්‍යානය උපදී. එම ධ්‍යානයෙහි විචාරය පමණක් ප්‍රහාණාංගය වේ, චතුෂ්කනයෙහි ද්විතීය ධ්‍යානයෙහි මෙන් පීති ආදී අංග තුන සමන්නාගත අංගයෝ වෙති. සෙස්ස යටකී ප්‍රකාරම වේ.
මෙසේ යම් ධ්‍යානයක් චතුෂ්කනයෙහිදී ද්විතීය ධ්‍යානය වේද, එය පංචකනයෙහිදී දෙකක් වශයෙන් බෙදීමෙන් ද්විතීය ධ්‍යානයද තෘතීය ධ්‍යානයද වේ. එම චතුෂ්ක නයෙහිදී යම් කිසිවක් තෘතීය හා චතුර්ත්‍ථ වේද, එය පිළිවෙළින් චතුර්ත්‍ථ හා පංචම වේ. ප්‍රථමධ්‍යානය ප්‍රථමම වේ.
සාධුජන ප්‍රමොදය පිණිස කරනලද විශුද්ධිමාර්ගයෙහි සමාධිභාවනාධිකාරයෙහි කසිණනිද්දේස නම් සිවුවන පරිච්ඡේදය මෙතෙකින් සමාප්තයි.
5. සෙසකසිණ නිද්දෙසය
ආපොකසිණකථා
පඨවිකසිණයට අනතුරුව දැන් ආපොකසිණයෙහි විස්තර කථාව පැවසේ, පඨවිකසිණය මෙන්ම ආපොකසිණයද වඩනු කැමැත්තහු විසින් සුවසේ හිඳගෙන කෘත හෝ අකෘත (පිළියෙළ කරගත් හෝ ස්වභාවික) ජලයෙහි නිමිති ගතයුතුයයි සියලු විස්තර කළයුතුය. මෙහි යම්සේද මතු සියලු තන්හිද එසේමය. මින් මතු මෙතෙකුදු නොපවසා විශේෂයක් ඇතොත් එය පමණක් පවසමු.
මෙහිදී ද පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට පොකුණෙක වේවයි, විලෙක වේවයි, ලේවායෙක (කලපුවෙක) වේවයි, මුහුදෙහි වේවයි පවත්නා ස්වභාවික ජලයෙහි නිමිති උපදී, චූලසීව තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන් වහන්සේ, ලාභසත්කාර හැර විවේකීව වාසය කරන්නෙමි’යි මහතොටින් නැව් නැඟ දඹදිව් යන අතරමඟ මහසමුදුර දෙස බලන විට එය හා සමඟ බැඳි කසිණ නිමිති පහළ විය.
පෙර නොකළවිරූ පුරුදු ඇත්තහු විසින් සිවු කසිණදොස් හැර, නීල, පීත, ලෝහිත හෝ අවදාත වර්ණ ඇති ජලය නොගෙන, පොළොව මත වැටෙන්නට පෙර අහස්හිදීම පිරිසුදු වස්ත්‍රයක් මඟින් ලබාගත් වැසිදිය හෝ එබඳු පැහැදි නොකැළඹි අන් ජලයක් හෝ පාත්‍රයෙක හෝ කුණ්ඩ සැළියෙක හෝ මුවවිට සමකොට පුරවා, විහාරභූමිය කෙළවර යටකී ප්‍රකාර ඇති මුවහ වූ තැනෙක තබා සුවසේ හිඳගෙන, හුදෙක් වර්ණය හෝ ලක්‍ෂණය මෙනෙහි නොකොට වර්ණය ආපොධාතුවටම අයත් සේ සලකා සමස්ත වශයෙන් ගෙන, උත්සන්න (වැඩි) වශයෙන් ප්‍රචලිත ප්‍රඥප්ති ධර්මයෙහි සිත පිහිටුවා අම්බු, උදක, වාරි, සලිල යන ආදී ආපො (ජලයේ) නාමයන් අතුරෙන් ප්‍රකටනාම වශයෙන්, ‘ආපො ආපො’ යයි භාවනා කළ යුතුය.