5. සෙසකසිණ නිද්දෙසය
ආපොකසිණකථා
පඨවිකසිණයට අනතුරුව දැන් ආපොකසිණයෙහි විස්තර කථාව පැවසේ, පඨවිකසිණය මෙන්ම ආපොකසිණයද වඩනු කැමැත්තහු විසින් සුවසේ හිඳගෙන කෘත හෝ අකෘත (පිළියෙළ කරගත් හෝ ස්වභාවික) ජලයෙහි නිමිති ගතයුතුයයි සියලු විස්තර කළයුතුය. මෙහි යම්සේද මතු සියලු තන්හිද එසේමය. මින් මතු මෙතෙකුදු නොපවසා විශේෂයක් ඇතොත් එය පමණක් පවසමු.
මෙහිදී ද පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට පොකුණෙක වේවයි, විලෙක වේවයි, ලේවායෙක (කලපුවෙක) වේවයි, මුහුදෙහි වේවයි පවත්නා ස්වභාවික ජලයෙහි නිමිති උපදී, චූලසීව තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන් වහන්සේ, ලාභසත්කාර හැර විවේකීව වාසය කරන්නෙමි’යි මහතොටින් නැව් නැඟ දඹදිව් යන අතරමඟ මහසමුදුර දෙස බලන විට එය හා සමඟ බැඳි කසිණ නිමිති පහළ විය.
පෙර නොකළවිරූ පුරුදු ඇත්තහු විසින් සිවු කසිණදොස් හැර, නීල, පීත, ලෝහිත හෝ අවදාත වර්ණ ඇති ජලය නොගෙන, පොළොව මත වැටෙන්නට පෙර අහස්හිදීම පිරිසුදු වස්ත්‍රයක් මඟින් ලබාගත් වැසිදිය හෝ එබඳු පැහැදි නොකැළඹි අන් ජලයක් හෝ පාත්‍රයෙක හෝ කුණ්ඩ සැළියෙක හෝ මුවවිට සමකොට පුරවා, විහාරභූමිය කෙළවර යටකී ප්‍රකාර ඇති මුවහ වූ තැනෙක තබා සුවසේ හිඳගෙන, හුදෙක් වර්ණය හෝ ලක්‍ෂණය මෙනෙහි නොකොට වර්ණය ආපොධාතුවටම අයත් සේ සලකා සමස්ත වශයෙන් ගෙන, උත්සන්න (වැඩි) වශයෙන් ප්‍රචලිත ප්‍රඥප්ති ධර්මයෙහි සිත පිහිටුවා අම්බු, උදක, වාරි, සලිල යන ආදී ආපො (ජලයේ) නාමයන් අතුරෙන් ප්‍රකටනාම වශයෙන්, ‘ආපො ආපො’ යයි භාවනා කළ යුතුය.
මෙසේ භාවනා කරන ඒ යෝගියාහට අනුක්‍රමයෙන්, යටකී නයින්ම (උග්ගහ, පටිභාග යන) නිමිති දෙක පහළ වේ. මෙහිදී වනාහි උග්ගහනිමිත්ත සැලෙන ආකාරයෙන් වැටහේ, ඉදින් පෙණ බුබුලු මුසු ජලයක් නම් ඒ ආකාරයෙන්ම වැටහේ, කසිණ දොෂයක් මෙන් දිස්වේ. පටිභාගනිමිත්ත වූකලී ගැහෙන ආකාරයෙන් අහසෙහි තබනලද මිණිතල්වටක් සෙයින්ද, මිණිමුවා කැටපත් තලයක් සෙයින්ද වැටහේ. එම පටිභාගනිමිත්ත වැටහෙනුවා සමගම උපචාරධ්‍යානයටද යටකී නයින්ම චතුෂ්ක-පංචක ධ්‍යානයනටද පැමිණේ. ආපොකසිණයයි.
තෙජොකසිණකථා
තෙජො කසිණය වඩනු කැමැත්තහු විසින්ද (යටකී නයින්ම) ගින්නෙහි නිමිති ගතයුතුය. එහිදී පෙර කළ පුරුදු ඇති පිනැත්තහුට ස්වාභාවික තෙජො ධාතුවෙහි, පහන්සිළුවෙක වේවයි, උදුනෙක වේවයි, පාත්‍රා (සෑදීම පිණිස) ගිනියම් කරන තැනෙක වේවයි, ලැව් ගින්නෙක වේවයි, කිසියම් තැනෙක ගිනිදැල් දෙස බලනවිට නිමිති උපදී, චිත්ත ගුත්ත තෙරුන්හට මෙනි. ඒ ආයුෂ්මතුන් වහන්සේ වනාහි දහම් අසන දවස්හි පොහෝගෙට පිවිසි කල්හි පහන්සිළු බලනුවා සමගම නිමිති උපනි.
(පෙරපින් නැති) අන් කෙනකු විසින් වනාහි කසිණය සාදාගත යුතුය, එහි සාදාගන්නා විධිය මෙසේය: සිනිඳු හර ඇති දර පලවා වියලවා කඩ කඩ කොට කපා යෝග්‍ය වූ රුක් මුලකට හෝ මඬුවකට හෝ ගොස් පාත්‍රා රත්කරන විට මෙන් ගොඩක් කොට දල්වා බටපැලැල්ලෙක හෝ, සම්කඩෙක හෝ රෙදිකඩෙක හෝ එක්වියත් සතරඟුල් පමණ සිදුරක් සාදාගත යුතුය. එය ඉදිරියෙන් තබා යටකී නයින්ම හිඳගෙන යටින් ඇති කොළ, රොඩු, දර ආදිය හෝ මත්තෙහි ඇති දුම්සුළි හෝ මෙනෙහි නොකොට මැදින් පෙනෙන අතුරු සිදුරු නැති ගිනිකඳෙහි නිමිති ගතයුතුය. නීල පීත යන ආදී වශයෙන් හුදෙක් වර්ණයම මෙනෙහි නොකටයුතුය, උණුසුම්බව ආදී ලක්‍ෂණද මෙනෙහි නොකටයුතුය. වර්ණය තෙජො ධාතුවට අයත් සේ සලකා සමස්ත වශයෙන් ගෙන උත්සන්න වශයෙන් (වඩාමත් ප්‍රචලිත) ප්‍රඥප්ති ධර්මයෙහි සිත පිහිටුවා පාවක, කණ්හවත්තනි, ජාතවෙද, හුතාසන යන ආදී අග්නි නාමයන් අතුරෙන් ප්‍රකට නම වශයෙන්ම “තෙජො තෙජො”යි භාවනා වැඩිය යුතුය.
මෙසේ භාවනා කරනවිට ඒ රෝගියාහට යටකී නයින්ම අනුපිළිවෙළින් නිමිති දෙක උපදී. එහි උග්ගහනිමිත්ත ගිනිදැල් සිදී සිදී වැටෙන ආකාරයෙන් වැටහේ. ස්වාභාවික ගින්නෙහි නිමිති ගන්නහුට කසිණ දොස් පෙනේ, පෙනෙලි කැබලි හෝ අඟුරුපිඬු හෝ අලු හෝ දුම් හෝ වැටහේ. පටිභාග නිමිත්ත අහස්හි තුබූ රත්පලස් කඩක් සෙයින්ද, රන්මුවා තල්වටක් සෙයින්ද, රන් ටැඹක් සෙයින්ද වැටහේ. එසේ වැටහෙනුවා සමගම ඒ භාවනානුයෝගී තෙමේ යටකී නයින්ම උපචාරධ්‍යානයටද, චතුෂ්ක පංචක ධ්‍යානයන්හටද පැමිණේ. තෙජො කසිණයයි.