චතුත්ථජ්ඣානකථා
මෙසේ ඒ තෘතීය ධ්යානය අවබෝධ කළ කල්හිද යට කී නයින්ම පස් ආකාරයෙකින් චිණ්ණවසීභාවයට පැමිණ ප්රගුණ වූ එම ධ්යානයෙන් නැඟී, මේ සමාපත්තිය පීති නම් ප්රතිපක්ෂ ධර්මයට ආසන්න වූ, ‘යම්සේ එහි සුඛයයි යන මනස්කාරය වේද, එහෙයින් මෙය ඔළාරිකය’යි කියනු ලැබේය’යි මෙසේ දක්වනලද සුඛය ඔළාරිකවන හෙයින් මෙය දුර්වල අංග ඇත්තේයයි එම තෘතීය ධ්යානයෙහි දොස් දැක, චතුර්ත්ථ ධ්යානය ශාන්ත වශයෙන් මෙනෙහිකොට තෘතීය ධ්යානයෙහි රුචිය ඉක්මවා චතුර්ත්ථ ධ්යානය අවබෝධ කරනු පිණිස භාවනානුයෝගය කටයුතුය.
ඉක්බිති යම් කලෙක තෘතීය ධ්යානයෙන් නැඟී සිහි ඇතිව, සම්යග්ඥානයෙන් යුක්තව ධ්යානාංගයන් මෙනෙහි කරන යෝගාවචරයාහට චෙතසිකසොමනස්ස සංඛ්යාත වූ සුඛය ඔළාරික වශයෙන් වැටහේද, උපෙක්ඛාවේදනාවද චිත්තෙකග්ගතාවද ශාන්ත වශයෙන් වැටහේද, එකල ඔළාරික අංගය ප්රහීණ කිරීම පිණිසද, ශාන්ත අංගය ලබා ගැනීම පිණිසද එම නිමිත්තම “පඨවි, පඨවි” යනුවෙන් නැවත නැවතත් මෙනෙහි කරන යෝගාවචරයාහට ‘දැන් චතුර්ත්ථ ධ්යානය උපදිති’යි භවාංගය සිඳගෙන, එම පඨවි කසිණයම අරමුණු කොටගත් මනොද්වාරා වර්ජනය උපදී. ඉක්බිති එම අරමුණෙහිම ජවන් සිත් සතරක් හෝ පහක් උපදී. ඒ ජවන් සිත් අතුරෙන් අවසන් එක රූපාවචර චතුර්ත්ථ ධ්යානයට අයත් වේ, සෙසු ජවන් සිත් (තුන හෝ හතර) කියනලද නයින්ම කාමාවචර වේ. මේ වනාහි මෙහි වෙනසෙකි. යම් හෙයකින් සුඛවේදනාව ආසෙවන ප්රත්යය වශයෙන් උපෙක්ඛාවේදනාවට ප්රත්යය නොවන්නේද, චතුර්ත්ථ ධ්යානයෙහිදී උපෙක්ඛාවේදනාව ඉපැදිය යුතුද වන්නේද, එහෙයින් ඒ ජවන්හු උපෙක්ඛාවේදනාවෙන් යුක්ත වෙති, උපෙක්ඛාවෙන් යුක්ත වූ හෙයින්ම මෙහිදී පීතිඅංගයද පිරිහේ යනුයි. මෙතෙකින් මේ යෝගාවචර තෙමේ (කායික) සුඛය හා (කායික) දුඃඛය, දුරුවීමෙන්ද, ඉන් පෙරාතුවම සොමනස්සය දෝමනස්සය යන දෙක ඉකුත් වූ හෙයින්ද, දුක් නොවූ සැපද නොවූ උපෙක්ඛා සතියෙන් පිරිසිදු වූ චතුර්ත්ථ ධ්යානය උපදවා වාසය කෙරේ’, මෙසේ මේ යෝගාවචරයා විසින් එක් අංගයෙකින් වියුක්ත වූ අංගද්වයෙකින් (උපෙක්ඛාය, එකග්ගතාය යන දෙකින්) යුක්තවූ ත්රිවිධ කල්යාණයෙන් හා දශලක්ෂණයෙන් සමන්විත වූ පඨවි කසිණ චතුර්ත්ථ ධ්යානය ලබන ලද්දේ වේ.
එහි, සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා (සුඛය ද දුඃඛයද පහවීමෙන්) යනු, කායික සුඛයද, කායික දුඃඛයද පහවීමෙනි. පුබ්බෙව යනු චතුර්ත්ථ ධ්යානය ලබන මොහොතෙහි නොව ඉන් පෙරාතුවමයි. සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා (සොම්නස් දොම්නස් දෙක ඉකුත් වීමෙන්) යනු, චෛතසික සුඛය චෛතසික දුඃඛය යන මේ දෙක පෙරාතුවම ඉවත්වීමෙනි’යි, පහවීමෙනි’යි කී නියායි.
කවර කලෙක ඒ සොමනස්ස දෝමනස්සයන්ගේ ප්රහාණය වේද? චතුර්ධ්යානයන්ගේ උපචාරක්ෂණයෙහිදීය. සෝමනස්සය වනාහි චතුර්ත්ථ ධ්යානය පිළිබඳ උපචාර ක්ෂණයෙහිදීම ප්රහීණ වේ. දුඃඛ, දෝමනස්ස, සුඛ, සෝමනස්ස යන මොවුහු පිළිවෙළින් ප්රථම, ද්විතීය, තෘතීය ධ්යානයන්ගේ උපචාර ක්ෂණයෙහිදී ප්රහීණ වෙති. ප්රහාණ ක්රමයෙන් නොකියනලද, ඉන්ද්රිය විභංගයෙහි කියන ලද පරිදි ඉන්ද්රියයන්ගේ උද්දෙස ක්රමයෙන් මෙහිද කියනලද මේ සුඛ, දුඃඛ, සොමනස්ස, දෝමනස්සයන්ගේ ප්රහාණය මෙසේ දතයුතුය.
ඉදින් මේ සුඛදුඃඛාදී ඉන්ද්රියයන් ඒ ඒ ධ්යානය පිළිබඳ උපචාරක්ෂණයෙහිදීම ප්රහීණ වෙතොත්, කවර හෙයින් ‘උපන්නාවූ දුඃඛෙන්ද්රිය කොතැන්හිදී නිරවශේෂයෙන් නිරුද්ධවේද? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂු තෙමේ කාමයන් කෙරෙන් තොරව-පෙ-ප්රථමධ්යානයට පැමිණ වාසය කෙරේද, උපන්නා වූ දුඃඛෙන්ද්රිය මෙහිදී නිරවශේෂයෙන් නිරුද්ධ වේ, උපන්නා වූ දෝමනස්සේන්ද්රිය-පෙ-සුඛෙන්ද්රිය -පෙ- සෝමනස්සේන්ද්රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේද? මහණෙනි මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සුඛයද ප්රහීණ කිරීමෙන් -පෙ-චතුර්ත්ථ ධ්යානයට පැමිණ වාසය කෙරේද, උපන්නා වූ සොමනස්සේන්ද්රිය මෙතන්හිදී නිරුද්ධ වේ’ යයි මෙසේ ධ්යානයන්හිදීම නිරෝධය සිද්ධ වෙතැ’යි කියන ලද්දේ ද? (ධ්යානයන්හිදී) අතිශය නිරෝධය සිද්ධවන හෙයිනි. ඒ දු:ඛාදී ඉන්ද්රියයන්ගේ අතිශය නිරෝධය ප්රථමධ්යානාදියෙහිදීම සිදුවේ, හුදු නිරෝධය නොවේ, උපචාරක්ෂණයෙහිදී සිදුවනුයේ හුදු නිරෝධයයි, අතිශය නිරෝධය නොවේ.
ඒ එසේමැයි, නානාවර්ජන සහිත ප්රථමධ්යානොපචාරයෙහිදී මැසිමදුරු ආදීන්ගේ පීඩාවෙන් හෝ විෂම ආසන ආදියෙන් ඇතිවන ගැහැටින් හෝ නිරුද්ධ වූද දුඃඛෙන්ද්රියයාගේ උපත සිදුවන්නේය, එහෙත් අර්පණාව ඇතුළතදී එසේ නොවන්නේමය, නොහොත් උපචාරයෙහිදී නිරුද්ධ වූ දුඃඛෙන්ද්රියය මනාකොට නිරුද්ධ වූයේ නොවේ, ප්රතිපක්ෂ ධර්මයෙන් නොනස්නාලද හෙයිනි. අර්පණාව තුළදී වනාහි පීතිය පැතිරීමෙන් මුළු කය පුරා සුඛය වැදගත්තේ වේ. සුඛය වැදගන්නාලද කය ඇත්තහුගේ දුඃඛෙන්ද්රිය මනාකොට නිරුද්ධ වූයේ වේ, ප්රතිපක්ෂ ධර්මය විසින් නස්නාලද හෙයිනි. නානාවර්ජන සහිතවූම ද්විතීය ධ්යානෝපචාරයෙහිදී විතක්ක විචාරයන් හේතුකොට හටගත් කායවිඩා චිත්තපීඩා ඇති කල්හි ප්රහීණවූද, දෝමනස්සෙන්ද්රිය යම්හෙයකින් උපදනේ නමුදු විතක්ක විචාරයන්ගේ අභාවයෙහිදී නොම උපදනේය, යම් තැනෙක උපදනේ නම් ඒ විතක්ක විචාරයන් ඇති තන්හිය. ද්විතීය ධ්යානොපචාරයෙහි විතක්ක විචාරයෝ අප්රහීණයෝම වෙති, එහිදී එම දෝමනස්සෙන්ද්රියයාගේ උපත සිදුවන්නේය, ද්විතීය ධ්යානයෙහිදී සිදු නොවන්නේමය, ප්රහීණ වූ ප්රත්යය ඇති හෙයිනි. එසේම තෘතීය ධ්යානොපචාරයෙහිදී පීතියෙන් උපන් ප්රණීත රූපයෙන් ස්පර්ශ කරනලද කය ඇත්තහුට ප්රහීණ වූද සුඛෙන්ද්රියයාගේ උපත සිදුවන්නේය, තෘතීයධ්යානයෙහිදී සිදු නොවන්නේමය, තෘතීය ධ්යානයෙහිදී වනාහි සුඛයට ප්රත්ය වූ පීතිය සකලාකාරයෙන්ම නිරුද්ධ වේ. එසේම චතුර්ත්ථ ධ්යානොපචාරයෙහිදී ප්රහීණවූද සොමනස්සෙන්ද්රිය ආසන්නව සිටි හෙයින්ද, අර්පණාවට නොපැමිණි උපෙක්ෂා ඇති හෙයින්ද, එහෙයින්ම (එම සොමනස්සෙන්ද්රිය) මනාකොට නො-ඉක්ම වූ හෙයින්ද එම සොමනස්සේන්ද්රියයාගේ උපත සිදුවන්නේය, චතුර්ත්ථ ධ්යානය තුළදී එසේ සිදු නොවන්නේමය. එහෙයින්ම (මේ පාඨයෙහි) ‘උපන්නා වූ දුඃඛෙන්ද්රියය මෙහිදී (ප්රථම ධ්යානය තුළදී) නිරවශෙෂයෙන් නිරුද්ධ වෙති’යි ආදි වශයෙන් ඒ ඒ ධ්යානයෙහි අපරිශෙෂ ග්රහණය කරන ලදී.