තතියජ්ඣානකථා
මෙසේ එම ද්විතීය ධ්යානය අවබෝධ කළ පසුද යට කියනලද නයින්ම පංචාකාරයෙන් චිණ්ණවසී භාවයට පත්ව ප්රගුණ කළ ද්විතීය ධ්යානයෙන් නැඟී, ‘මේ සමාපත්තිය විතක්ක-විචාර නැමති ප්රතිපක්ෂයන්ගෙන් නුදුරුව සිටියේයිද, පීති යනු සිතෙහි ඉල්පීමයි, එහෙයින් එය ඕළාරිකයයි’ කියනු ලැබේ යනුවෙන් පවසනලද පීතිය ඕළාරික වන බැවින් එය දුර්වල අංග ඇත්තේයයිද, මෙසේ එම ද්විතීය ධ්යානයෙහි දොස් දැක, තෘතීය ධ්යානය ශාන්ත වශයෙන් මෙනෙහිකොට ද්විතීය ධ්යානයෙහි රිසිය මැඩලා තෘතීයධ්යානාධිගමය පිණිස භාවනානුයෝගය කටයුතුය. ඉක්බිති යම් කලෙක ද්විතීය ධ්යානයෙන් නැඟී සිහි ඇතිව, මනා නුවණින් යුක්තව, ධ්යානාංගයන් ප්රත්යවෙක්ෂා කරණ මේ යෝගාවචරයාහට පීතිය ඔළාරික වශයෙන් වැටහේද, සුඛයද එකග්ගතාවද ශාන්ත ලෙසින් වැටහේද, එකල එම ඔළාරික අංගය ප්රහීණ කරනු පිණිසද, ශාන්ත අංගයන් ලබනු පිණිසද, එම නිමිත්තම ‘පඨවී පඨවී’ යනුවෙන් නැවත නැවතත් මෙනෙහි කරනවිට, දැන් තෘතීය ධ්යානය උපදනේය’යි භවංගය සිඳගෙන එම පඨවි කසිණයම අරමුණුකොට මනොද්වාරා වර්ජනය උපදී. ඉක්බිති එම අරමුණෙහිම ජවන් සතරක් හෝ පහක් දිවෙයි, එම ජවන් අතුරෙන් අවසන් ජවනය රූපාවචර තෘතීය ධ්යානය වේ, සෙසු ජවන් යට කියනලද නයින්ම කාමාවචර වේ. මෙතෙකින් වනාහි මේ යෝගාවචර තෙමේ ‘පීතිය කෙරෙහි නො ඇලීමෙන්, උපෙක්ෂක වූයේම විහරණය කරයි, සිහි ඇත්තේ මනා නුවණින් යුතුවූයේ සුඛය කයින් විඳියි, යම් ඒ ධ්යානයක් ඇත්තේ උපෙක්ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සුඛවිහරණ ඇත්තේයයි ආර්යයෝ පවසත් නම්, එම තෘතීය ධ්යානයට සමවැද විහරණය කෙරේය’යි මෙසේ මේ යෝගාවචරයා විසින් එක් අංගයෙකින් අඩුවූ අංග දෙකෙකින් සමන්විත වූ ත්රිවිධ කල්යාණ සහිත වූ දශ ලක්ෂණයෙන් යුක්ත වූ පඨවි කසිණය අරමුණු කොට උපන් තෘතීය ධ්යානය අවබෝධ කරන ලද්දේ වේ.
එහි පීතියා ච විරාගා යනු, මෙහි ‘විරාග’ නම් කියනලද ආකාර ඇති පීතිය පිළිබඳව කලකිරීමයි, නොහොත් එය ඉක්මවීමයි. පීතියා, විරාගා යන මේ පද දෙක අතර ඇති ච-කාරය සම්පිණ්ඩනාර්ත්ථයෙහි වේ. එය ‘වූපසමා’ යනු හෝ ‘විතක්ක විචාරානං වූපසමා’ යනු සම්පිණ්ඩනය කෙරේ. එහි යම් කලෙක ‘වූපසමා’ යන්න පමණක් සම්පිණ්ඩනය කෙරේ නම්, එකල ‘පීතියා විරාගා ච’ යන්නට අමතරව ‘වූපසමා ච’ යනුවෙන්ද පද යෝජනා කටයුතුය. මෙම යෝජනාවෙහි ‘විරාග’ යනු ජුගුප්සා (කලකිරීම්) අර්ත්ථ ඇත්තේ වේ. එහෙයින් පීතිය ගැන කලකිරීමෙනැ’යි, එය සන්සිඳුවීමෙනැ’යි යන මේ අර්ත්ථය දතයුතුය. යම් කලෙක වනාහි ‘විතක්ක විචාරානං වූපසමා’ යන්න සම්පිණ්ඩනය කෙරේනම්, එකල ‘පීතියා ච විරාගා’ යන්නට අමතරව ‘විතක්ක විචාරානං වූපසමා’යයි මෙසේ පදයෝජනා කටයුතුය. මෙම යෝජනාවෙහි ‘විරාගය’ යනු සමතික්රමණාර්ත්ථ ඇත්තේ වේ. එහෙයින් පීතිය ඉක්මවීමෙන්ද විතක්ක විචාරයන් සංසිඳුවීමෙන්දැයි යන මේ අර්ත්ථය දතයුතුය.
ඒකාන්තයෙන්ම මේ විතක්ක විචාරයෝ ද්විතීයධ්යානයෙහිදීම සන්සිඳුවන ලද්දාහුය, මේ තෘතීය ධ්යානයට මාර්ගය දක්වනු පිණිසද, එහි ගුණ පවසනු පිණිසද මෙසේ කියනලදි. විතක්ක විචාරයන්ගේද ව්යුපශමනයෙහැ’යි කී කල මෙය ප්රකාශ වේ. ඒකාන්තයෙන් විතක්ක විචාරයන් සන්සිඳුවීම මේ තෘතීය ධ්යානයට මාර්ගය වේ. යම්සේ (ප්රථම ආර්යමාර්ගයෙන් මිස) තෘතීය ආර්යමාර්ගයෙන් ප්රහීණ නොකරනලද සක්කායදිට්ඨි ආදී පංච ඕරම්භාගීය සංයෝජනයන් ප්රහීණ කිරීමෙනැ’යි මෙසේ ප්රහාණය ගැන කීම එම තෘතීය ආර්යමාර්ගය පිණිස උත්සුකවූවන්ගේ උත්සාහජනනය සිදුවන ගුණ පැවසීමෙක් වේද, එසේම (ද්විතීය ධ්යානයෙහිදී මිස) මෙම තෘතීයධ්යානයෙහිදී සන්සිඳුවනු නොලද විතක්ක විචාරයන්ගේ සන්සිඳුවීම ගැන කීම ගුණ පැවසීමෙක් වේ. එහෙයින් පීතිය ඉක්මවීමෙන්ද, විතක්ක විචාරයන් සන්සිඳුවීමෙන්දැ’යි යන මේ අර්ත්ථය කියනලදි.
උපෙක්ඛකො ච විහරති යනු, මෙහි, සුදුසු පරිදි (උප්පත්ති වශයෙන්) බලති’යි උපෙක්ඛා නමි, සමසේ බලති’යි, අපක්ෂපාතීව බලති’යි යන අර්ත්ථයි. ව්යක්ත වූ මහත්වූ එම උපෙක්ෂා ගුණයෙන් සමන්විත වූ හෙයින් තෘතීයධ්යානයෙන් සමන්විත වූයේ ‘උපෙක්ඛක’ යයි කියනු ලැබේ.
උපෙක්ෂාව වනාහි දශආකාර වේ: ඡලංගඋපෙක්ඛාය, බ්රහ්මවිහාරඋපෙක්ඛාය, බොජ්ඣංගඋපෙක්ඛාය, විරියඋපෙක්ඛාය, සංඛාරඋපෙක්ඛාය, වෙදනාඋපෙක්ඛාය, විපස්සනාඋපෙක්ඛාය, තත්රමජ්ඣත්තුපෙක්ඛාය, ඣානඋපෙක්ඛාය, පාරිසුද්ධිඋපෙක්ඛාය යන මේ දශ ආකාර උපෙක්ඛායි.
එහි, ‘මේ ශාසනයෙහි ක්ෂීණාශ්රව භික්ෂු තෙමේ ඇසින් රූපයක් දැක සොම්නස් නොවෙයි, දොම්නස්ද නොවෙයි, සිහි ඇතිව මනා නුවණින් යුතුව, උපෙක්ෂකවද විහරණය කෙරේ’ යනුවෙන් යම් උපෙක්ෂාවක් මෙසේ දක්වන ලද්දේ ද, ක්ෂීණාශ්රවයාගේ ෂඩ්ද්වාරයෙහි ඉෂ්ටානිෂ්ට ෂඩාලම්බනයන් සම්මුඛ වීමෙහිදී පිරිසිදු පියවිබව නොහරනා ආකාරයෙන් සිටි මේ උපෙක්ෂාව ජළංගුපෙක්ඛා නම් වේ.
යම් උපෙක්ෂාවක්, ‘උපෙක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා විහරණය කෙරේ’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, සත්ත්වයන් කෙරෙහි මධ්යස්ථ ස්වභාවයෙන් වූ මේ උපේක්ෂාව බ්රහ්මවිහාරඋපෙක්ඛා නම් වේ.
යම් උපේක්ෂාවක්, ‘විටෙක නිශ්රිත වූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, සහජාත ධර්මයන් කෙරෙහි මධ්යස්ථාකාරයෙන් පවත්නා මේ උපේක්ෂාව බොජ්ඣංගුපෙක්ඛා නම් වේ.
යම් උපේක්ෂාවක්, ‘කලින් කල උපේක්ෂා නිමිත්ත මෙනෙහි කරයි’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, ඉතා දැඩි ලෙසින් හෝ ඉතා ලිහිල් ලෙසින් නො-ඇරඹි වීර්යය පවසන ලද්දේ ද, මේ උපෙක්ෂාව විරියඋපෙක්ඛා නම් වේ.
යම් උපේක්ෂාවක්, ‘සංස්කාර උපෙක්ෂා කීයක් සමාධි වශයෙන් උපදීද? සංස්කාරොපෙක්ෂා කීයක් විදර්ශනා වශයෙන් උපදීද? සංස්කාරොපෙක්ෂා අටක් සමාධි වශයෙන් උපදී, සංස්කාරොපෙක්ෂා දහයක් විදර්ශනා වශයෙන් උපදී’ යනුවෙන් මෙසේ දක්වන ලද්දේ ද, නීවරණාදිය පරීක්ෂාකොට සනිටුහන් ගැනීමෙහිදී මධ්යස්ථ වූ මේ උපෙක්ෂාව සංඛාරුපෙක්ඛා නම්වේ.