චත්තාලීසකම්මට්ඨානවණ්ණනා
එහෙයින්, චත්තාළීසාය කම්මට්ඨානෙසු අඤ්ඤතරං කම්මට්ඨානං ගහෙත්‍වා (සතළිස් කර්මස්ථාන අතුරෙන් එක්තරා කර්මස්ථානයක් ගෙන) යි යන මෙහි, සංඛ්‍යා නිර්දේශ වශයෙන්ද, උපචාරාවහ අර්පණාවහ ධ්‍යාන ප්‍රභේද වශයෙන්ද, සමතික්‍රමණ වශයෙන්ද, වැඩියයුතු නොවැඩියයුතු වශයෙන්ද, අරමුණු වශයෙන්ද, කාමාවචරාදී භූමි වශයෙන්ද, ග්‍රහණ ආකාර වශයෙන්ද, ප්‍රත්‍යයභාව වශයෙන්ද, චරිතානුකූල වශයෙන්දැයි යන මේ දශආකාරයෙන් පළමුකොට කර්මස්ථාන විනිශ්චය දතයුතුය.
එහි සංඛ්‍යා නිර්දේශ වශයෙන් යනු, සතළිස් කර්මස්ථානයන් අතුරෙනි’යි කියන ලදී, එම කර්මස්ථාන සතළිස මෙසේය: කසිණ භාවනා දශයෙකි, අසුභ භාවනා දශයෙකි, අනුස්සති භාවනා දශයෙකි, බ්‍රහ්මවිහාරභාවනා සතරෙකි, ආරුප්පභාවනා සතරෙකි, සඤ්ඤාභාවනා එකෙකි, වවත්‍ථානභාවනා එකෙකි.
එහි පඨවී කසිණය, ආපෝ කසිණය, තේජෝ කසිණය, වායෝ කසිණය, නීල කසිණය, පීත කසීණය, ලෝහිත කසිණය, අවදාත කසිණය, ආලෝක කසිණය, පරිච්ජින්නාකාස කසිණය යන මොහු දස කසිණයෝයි.
උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්‍ඛායිතකය, වික්ඛිත්තකය, හතවික්ඛිත්තකය, ලෝහිතකය, පුලවකය, අට්ඨිකය යන මොහු දස අසුභයෝයි.
බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, චාගානුස්සතිය, දේවතානුස්සතිය, මරණානුස්සතිය, කායගතා සතිය, ආනාපාන සතිය, උපසමානුස්සතිය යන මොහු දස අනුස්සතීහුය.
මෙත්තාය, කරුණා, මුදිතාය, උපෙක්ඛාය යන මොහු සතර බ්‍රහ්මවිහාරයෝය.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤයතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන මොහු සතර ආරුප්ප වෙති. ආහාරයෙහි පටික්කූලසඤ්ඤා යන මේ ඒක සඤ්ඤායි. චතුධාතුවවත්‍ථානය යන මේ ඒක වවත්‍ථානයි. මෙසේ සංඛ්‍යා වශයෙන් විනිශ්චය දතයුතුය.
උපචාරාවහ, අප්පණාවහ වශයෙන් යනු, කායගතාසති, ආනාපානසති යන මේ දෙක හැර ඉතිරි අනුස්සති අටද, ආහාරයෙහි පටික්කූලසඤ්ඤාව හා චතුධාතුවවත්‍ථාන යන මේ කර්මස්ථාන දශය උපචාර ධ්‍යාන එළවන්නේය. සෙසු කර්මස්ථාන තිහ අර්පණාධ්‍යාන එළවන්නේයයි මෙසේ උපචාරාවහ අප්පණාවහ වශයෙන් විනිශ්චය දතයුතුය.
ධ්‍යානප්‍රභේද වශයෙන් යනු, අර්පණාධ්‍යානයන් එළවන කර්මස්ථානයන් අතුරෙන් ආනාපානසතිය හා කසිණ භාවනා දශය (යන මේ එකොළස) සතර රූපාවචර ධ්‍යානයන් එළවන්නේ වේ, කායගතාසතිය හා දස අසුභය (යන මේ එකොළොස) ප්‍රථම ධ්‍යානය එළවන්නේ වේ, පළමු බ්‍රහ්මවිහාර තුන පළමු ධ්‍යාන තුන එළවන්නේ වේ, සිවුවන බ්‍රහ්මවිහාරයද, ආරූප්‍යභාවනා සතරද (යන මේ පස) සතරවන ධ්‍යානය එළවන්නේ වේ, මෙසේ ධ්‍යානප්‍රභේද වශයෙන් විනිශ්චය දතයුතුය.
සමතික්කම වශයෙන් යනු සමතික්කමය ධ්‍යානාංගයන්ගේ ඉක්මීමද ආරම්මණයන්ගේ ඉක්මීමදැයි ද්විවිධ වේ. එහි සියලු ත්‍රික-චතුෂ්කධ්‍යානික කර්මස්ථානයන් විෂයෙහි අංගසමතික්කම හෙවත් ධ්‍යානාංගයන් පිළිබඳ ඉක්මීම සිදුවේ. විතක්ක විචාර ආදීවූ ධ්‍යානාංගයන් ඉක්මවීමෙන්ම එම අරමුණෙහිම සිට ද්විතීයාදී (ඉහළ) ධ්‍යානයනට පැමිණිය යුතු හෙයිනි. සිවුවන බ්‍රහ්මවිහාරයෙහිද එසේය, එය වනාහි මෙත්තා ආදී අරමුණෙහිම සෝමනස්සය ඉක්මවීමෙන් පැමිණිය යුතු වන හෙයිනි. ආරුප්ප සතරෙහි වනාහි ආරම්මණ අතික්කම හෙවත් අරමුණු ඉක්මවීම සිදුවේ. පළමු කසිණ නවය අතුරෙන් එකක් ඉක්මවීමෙන් ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණිය යුතුය, ආකාසානඤ්චායතනාදීන් ඉක්මවා විඤ්ඤාණඤ්චායතනාදියට පැමිණිය යුතුය, සෙසු කර්මස්ථානයන් විෂයෙහි සමතික්ක්‍රමයෙක් නැතැ’යි මේ සමතික්කම වශයෙන් මෙහි විනිශ්චයයි.
වඩ්ඪනාවඩ්ඪන (හෙවත් වැඩීම් නොවැඩීම්) වශයෙන් යනු, මේ සතළිස් කර්මස්ථානයන් අතුරෙන් හුදෙක් දස කසිණයෝම වැඩියයුත්තාහු වෙති, යම්තාක් අවකාශය කසිණයෙන් පතුරුවනු ලැබේද, ඒතාක් අවකාශය ඇතුළත දිවකණින් ශබ්දයක් ඇසීමට, දිව ඇසින් රූපයන් බැලීමට, තම සිතින් පරසිත් දැනීමට සමත් වෙයි. කායගතාසති හා අසුභ කර්මස්ථානයෝ නොවැඩියයුත්තාහු වෙති, කවර හෙයින්දයත්, අවකාශ වශයෙන් පිරිපුන් (සීමිත) හෙයින් හා ආනිසංසයක් නැති හෙයිනි, අවකාශ වශයෙන් මේ කර්මස්ථානයන්ගේ පිරිසුන්බව භාවනානයෙහිදී මතු ප්‍රකාශ වන්නේය. එම කර්මස්ථානයන් වැඩීම කළවිට කුණප රාශියෙක්ම වැඩේ, කිසි ආනිසංසයෙක්ද, නැත. (නොවැඩුවද කාමරාගය යටපත්වන හෙයිනි). කියන ලදමැයි සෝපාකපඤ්හ විවරණයෙහි විභුතා භගවා රූපසඤ්ඤා අවිභූතා අට්ඨිකසඤ්ඤා (භාග්‍යවතුන් වහන්ස, රූපසඤ්ඤාව (වඩනාලද හෙයින්) ප්‍රකටය, අට්ඨිකසඤ්ඤාව (නොවඩනා ලද හෙයින්) අප්‍රකටය, එහි වනාහි නිමිති වැඩීම් වශයෙන් රූපසඤ්ඤාව විභූතයයි කියනලදි. අට්ඨිකසඤ්ඤාව නොවඩනාලද හෙයින් අවිභූත යයි කියන ලදී.