3. කම්මට්ඨානගහන නිද්දේසය
ඉක්බිති යම්හෙයකින් මෙසේ ධුතංගපරිහරණයෙන් සම්පාදිත වූ අල්පේච්ඡතාදී ගුණයෙන් පිරිසිදු කරන ලද මේ ශීලයෙහි පිහිටියහු විසින්, ‘සිලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං’ යන වචනයෙන් චිත්ත ශීර්ෂයෙන් නිර්දිෂ්ට සමාධිය වැඩිය යුතු වේද, එයද ඉතා සැකෙවින් දෙසනලද බැවින් දැනගැනීම පවා සුකර නොවේ, වැඩීම ගැන කියනු කිම? එහෙයින්, එය පිළිබඳ විස්තරයද, වැඩීමේ ක්‍රමයද, දක්වනු පිණිස මේ ප්‍රශ්න කිරීම වේ.
සමාධි යනු කිමෙක්ද? කවර අරුතෙකින් සමාධි නම් වේද? එහි ලක්‍ඛණ-රස-පච්චුපට්ඨාන-පදට්ඨානයෝ කවරහුද? සමාධිය කී ආකාර වේද, එහි කිලුටුවීම කවරේද? පිරිසුදු වීම කවරේද? කෙසේ වැඩියයුතු වේද? සමාධි භාවනාවෙහි ආනිශංස කවරේද?
මේ එහි විසඳීමයි: සමාධි යනු කිමෙක්දැ’යි යතහොත්: සමාධිය බොහෝ ආකාර ඇත්තේ වේ, නොයෙක් ආකාර ඇත්තේය, ඒ සියල්ල පැහැදිලි කරනු වස් විසදීම ආරම්භ කළහොත් එය අභිප්‍රේතාර්ත්‍ථය සාධනය නොකරයි. එමතුද නොව, වික්ෂේපය පිණිස පවත්නේය. එහෙයින් මෙහි අභිප්‍රේතයම සලකා කුසල් සිතෙහි එකඟබව සමාධියයි පවසමු.
කවර අරුතකින් සමාධියයි කියනු ලැබේදයත්, සමාධානාර්ත්‍ථයෙන් සමාධි නම්වේ, මේ සමාධාන නම් කිමෙක්දයත්, එක් අරමුණෙක්හි චිත්ත චෛතසිකයන් සමසේද මනාසේද පිහිටුවීමැයි, තැබීමැයි කියනලදි. එහෙයින් යම් ධර්මයෙක අනුහසින් චිත්ත චෛතසිකයෝ එක් අරමුණෙක්හි සමසේ මනාසේ නොවිසිර, නිරවුල්වී සිටිත්ද මෙය සමාධානයයි දතයුතුය.
එහි ලක්‍ෂණ-රස-පච්චුපට්ඨාන -පදට්ඨානයෝ කවරහුද? මෙහි වනාහි සමාධිය නොවිසිර සිටීම ලක්‍ෂණකොට ඇත්තේය. විසිරීම නැතිකරන බව රස හෙවත් කෘත්‍ය කොට ඇත්තේය. නොසැලීම මෙහි වැටහීම නොහොත් ආසන්න කාරණය කොට ඇත්තේය. ‘සුඛිනො චිත්තං සමාධියති’යි කී හෙයින් සුවය මෙහි පදට්ඨාන (පදනම) යි.
සමාධිය කී ආකාර වන්නේද? නොවිසිරීම් ලක්‍ෂණයෙන් එක්ම ආකාර වේ. උපචාර අර්පණා වශයෙන් දෙ-ආකාර වේ, එසේම ලෞකික ලෝකෝත්තර වශයෙන්ද, පීති සහිත, පීති රහිත වශයෙන්ද, සුඛසහගත උපේක්‍ෂා සහගත වශයෙන්ද, දෙආකාර වේ. හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් තුන් ආකාර වේ. එසේම සවිතක්ක සවිචාරාදි වශයෙන්ද, පීතිසහගතාදී වශයෙන්ද, පරිත්ත, මහග්ගත, අප්පමාණ වශයෙන්ද තුන් ආකාර වේ. දුක්ඛපටිපදා, දන්‍ධාභිඤ්ඤාදී වශයෙන්ද, පරිත්ත, පරිත්තාරම්මණාදී වශයෙන්ද, චතුඣානාංග වශයෙන්ද, හානභාගියාදී වශයෙන්ද, කාමාවචරාදී වශයෙන්ද, අධිපති වශයෙන්ද, සිවු ආකාර වේ. පඤ්චකනය අනුව පංචඣානාංග වශයෙන් පස් ආකාර වේ.
සමාධිඑකකදුකවණ්ණනා
එහි එක් ආකාර වූ කොටස පැහැදිලි අරුත් ඇත්තේම වේ. දෙආකාර කොටසෙහි: අනුස්සති සයද, මරණසති උපසමානුස්සති, ආහාරෙ පටික්කූල සඤ්ඤා, චතුධාතුවවත්‍ථාන යන මේ කර්මස්ථානයන්ගේ වශයෙන් ලබනලද චිත්තයෙහි ඒකාග්‍රතාව, අර්පණා සමාධියට පෙරාතුව ඇතිවන සමාධිය, උපචාර සමාධියයි. ‘පඨමස්ස ඣානස්ස පරිකම්මං පඨමස්ස ඣානස්ස අනන්නරපච්චයෙන පච්චයො’ (ප්‍රථම ධ්‍යානය පිළිබඳ පරිකර්මය ප්‍රථමධ්‍යානයට අනන්තරප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ) යන ආදී වචනයෙන් පරිකර්මයට අනතුරුව යම් ඒකාග්‍රතාවක් වේනම්, එය අර්පණා සමාධියයි. මෙසේ උපචාර, අර්පණා වශයෙන් දෙආකාර වේ.
දෙවන ද්විකයෙහි කාම, රූප, අරූප යන භූමිත්‍රය විෂයෙහි කුශල චිත්තෛකාග්‍රතාව ලෞකික සමාධියයි, ආර්යමාර්ගය පිළිබඳ ඒකාග්‍රතාව ලෝකෝත්තර සමාධියයි. මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාර වේ.
තුන්වන ද්විකයෙහි: චතුෂ්කනයෙහි (ධ්‍යාන සතරක් වශයෙන් ඇති නයෙහි) ප්‍රථම ද්විතීය ධ්‍යාන දෙකෙහිද, පංචකනයෙහි (ධ්‍යාන පසක් ලෙස ගැනෙන ක්‍රමයෙහි) ප්‍රථම ද්විතීය තෘතීය යන ධ්‍යාන තුනෙහිද ඇති වන ඒකාග්‍රතාව සප්පීතික (පීති සහිත) සමාධියයි, ඉතිරි ධ්‍යාන විෂයෙහි වන ඒකාග්‍රතාව නිප්පීතික (පීති රහිත) සමාධියයි. උපචාර සමාධිය වනාහි සප්පීතිකද නිප්පීතිකද වන්නේය. මෙසේ සප්පීතික, නිප්පීතික වශයෙන් දෙ-ආකාර වේ.
සිවුවන ද්විකයෙහි: චතුෂ්කනයෙහි ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යාන තුනෙහිද, පංචකනයෙහි ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ත්‍ථ යන ධ්‍යාන සතරෙහිද, වන ඒකාග්‍රතාව සුඛසහගත සමාධියයි. (චතුෂ්කනයෙහි චතුර්ත්‍ථධ්‍යානය හා පංචකනයෙහි පංචමධ්‍යානයද යන) මේ ඉතිරි ධ්‍යානයෙහි වන ඒකාග්‍රතාව උපේක්‍ෂා සහගත සමාධියයි. උපචාර සමාධිය වනාහි සුඛ සහගතද උපේක්‍ෂා සහගතද වන්නේය. මෙසේ සුඛසහගතය උපේක්‍ෂා සහගතය යනුවෙන් දෙආකාර වේ.
සමාධිතිකවණ්ණනා
ත්‍රිකයන් අතුරෙන් ප්‍රථම ත්‍රිකයෙහි, ලබා නොබෝකල්වූයේ හීන නමි, බෝකල් නොවඩනා ලදුයේ මධ්‍යම නමි, මැනවින් වඩනා ලදුයේ, වසීභාවයට පත්වූයේ ප්‍රණීත නමි; මෙසේ හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් ත්‍රිවිධ වේ.
දෙවන ත්‍රිකයෙහි ප්‍රථම ධ්‍යාන සමාධිය උපචාර සමාධියත් සමග ගෙන සවිතක්ක-සවිචාර නම් වේ, පංචකනයෙහි ද්විතීය ධ්‍යාන සමාධිය අවිතක්ක-විචාර මාත්‍ර වේ, යමෙක් වනාහි විතර්ක මාත්‍රයෙහිම ආදීනව දැක විචාරයෙහි ආදීනව නොදැක, හුදෙක් විතර්කප්‍රහාණයම අපේක්‍ෂා කරමින් ප්‍රථමධ්‍යානය ඉක්මවයිද, හේ තෙමේ අවිතර්ක විචාරමාත්‍ර වූ සමාධිය ලබයි, මෙය ඒ සඳහා කියන ලදි. චතුෂ්කනයෙහි වනාහි ද්විතීයාදී වූද, පංචකනයෙහි තෘතීයාදීවූද ධ්‍යානත්‍රයයෙහි වන ඒකාග්‍රතාව අවිතක්ක අවිචාර නම් වේ. මෙසේ සවිතක්ක-සවිචාරාදී (සවිතක්ක-සවිචාර, අවිතක්ක-සවිචාර, අවිතක්ක-අවිචාර- වශයෙන් ත්‍රිවිධ වේ.
තුන්වන ත්‍රිකයෙහි, චතුෂ්කනයෙහි මුල පටන් ධ්‍යාන දෙකෙකද, පංචකනයෙහි තුනෙකද වන ඒකාග්‍රතාව පීති සහගත සමාධියයි, එහිම (පිළිවෙළින්) තෘතීය හෝ චතුර්ත්‍ථ ධ්‍යානයෙහි වන ඒකාග්‍රතාව සුඛසහගත සමාධියයි, එහිම (පිළිවෙළින්) අවසන්හි වන (චතුර්ත්‍ථ හෝ පංචම) ධ්‍යනයෙහි වන ඒකාග්‍රතාව උපේක්‍ෂා සහගත සමාධියයි, උපචාර සමාධිය පීති සුඛ සහගත හෝ උපෙක්ඛා සහගත හෝ වේ. මෙසේ පීති සහගතාදී (පීති-සහගත, සුඛ-සහගත, උපෙක්ඛා සහගත) වශයෙන් තුන් ආකාර වේ.
සිවුවන ත්‍රිකයෙහි උපචාර භූමියෙහි වන ඒකාග්‍රතාව පරිත්ත සමාධියයි, රූපාවචර අරූපාවචර කුශල විෂයෙහි වන ඒකාග්‍රතාව මහග්ගත සමාධියයි, ආර්යමාර්ග පිළිබඳ ඒකාග්‍රතාව අප්පමාණ සමාධියයි. මෙසේ පරිත්ත, මහග්ගත, අප්පමාණ වශයෙන් තුන් ආකාර වේ.