සමාධිඑකකදුකවණ්ණනා
එහි එක් ආකාර වූ කොටස පැහැදිලි අරුත් ඇත්තේම වේ. දෙආකාර කොටසෙහි: අනුස්සති සයද, මරණසති උපසමානුස්සති, ආහාරෙ පටික්කූල සඤ්ඤා, චතුධාතුවවත්ථාන යන මේ කර්මස්ථානයන්ගේ වශයෙන් ලබනලද චිත්තයෙහි ඒකාග්රතාව, අර්පණා සමාධියට පෙරාතුව ඇතිවන සමාධිය, උපචාර සමාධියයි. ‘පඨමස්ස ඣානස්ස පරිකම්මං පඨමස්ස ඣානස්ස අනන්නරපච්චයෙන පච්චයො’ (ප්රථම ධ්යානය පිළිබඳ පරිකර්මය ප්රථමධ්යානයට අනන්තරප්රත්යය වශයෙන් ප්රත්යය වේ) යන ආදී වචනයෙන් පරිකර්මයට අනතුරුව යම් ඒකාග්රතාවක් වේනම්, එය අර්පණා සමාධියයි. මෙසේ උපචාර, අර්පණා වශයෙන් දෙආකාර වේ.
දෙවන ද්විකයෙහි කාම, රූප, අරූප යන භූමිත්රය විෂයෙහි කුශල චිත්තෛකාග්රතාව ලෞකික සමාධියයි, ආර්යමාර්ගය පිළිබඳ ඒකාග්රතාව ලෝකෝත්තර සමාධියයි. මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාර වේ.
තුන්වන ද්විකයෙහි: චතුෂ්කනයෙහි (ධ්යාන සතරක් වශයෙන් ඇති නයෙහි) ප්රථම ද්විතීය ධ්යාන දෙකෙහිද, පංචකනයෙහි (ධ්යාන පසක් ලෙස ගැනෙන ක්රමයෙහි) ප්රථම ද්විතීය තෘතීය යන ධ්යාන තුනෙහිද ඇති වන ඒකාග්රතාව සප්පීතික (පීති සහිත) සමාධියයි, ඉතිරි ධ්යාන විෂයෙහි වන ඒකාග්රතාව නිප්පීතික (පීති රහිත) සමාධියයි. උපචාර සමාධිය වනාහි සප්පීතිකද නිප්පීතිකද වන්නේය. මෙසේ සප්පීතික, නිප්පීතික වශයෙන් දෙ-ආකාර වේ.
සිවුවන ද්විකයෙහි: චතුෂ්කනයෙහි ප්රථම ද්විතීය තෘතීය ධ්යාන තුනෙහිද, පංචකනයෙහි ප්රථම, ද්විතීය, තෘතීය, චතුර්ත්ථ යන ධ්යාන සතරෙහිද, වන ඒකාග්රතාව සුඛසහගත සමාධියයි. (චතුෂ්කනයෙහි චතුර්ත්ථධ්යානය හා පංචකනයෙහි පංචමධ්යානයද යන) මේ ඉතිරි ධ්යානයෙහි වන ඒකාග්රතාව උපේක්ෂා සහගත සමාධියයි. උපචාර සමාධිය වනාහි සුඛ සහගතද උපේක්ෂා සහගතද වන්නේය. මෙසේ සුඛසහගතය උපේක්ෂා සහගතය යනුවෙන් දෙආකාර වේ.
සමාධිතිකවණ්ණනා
ත්රිකයන් අතුරෙන් ප්රථම ත්රිකයෙහි, ලබා නොබෝකල්වූයේ හීන නමි, බෝකල් නොවඩනා ලදුයේ මධ්යම නමි, මැනවින් වඩනා ලදුයේ, වසීභාවයට පත්වූයේ ප්රණීත නමි; මෙසේ හීන, මධ්යම, ප්රණීත වශයෙන් ත්රිවිධ වේ.
දෙවන ත්රිකයෙහි ප්රථම ධ්යාන සමාධිය උපචාර සමාධියත් සමග ගෙන සවිතක්ක-සවිචාර නම් වේ, පංචකනයෙහි ද්විතීය ධ්යාන සමාධිය අවිතක්ක-විචාර මාත්ර වේ, යමෙක් වනාහි විතර්ක මාත්රයෙහිම ආදීනව දැක විචාරයෙහි ආදීනව නොදැක, හුදෙක් විතර්කප්රහාණයම අපේක්ෂා කරමින් ප්රථමධ්යානය ඉක්මවයිද, හේ තෙමේ අවිතර්ක විචාරමාත්ර වූ සමාධිය ලබයි, මෙය ඒ සඳහා කියන ලදි. චතුෂ්කනයෙහි වනාහි ද්විතීයාදී වූද, පංචකනයෙහි තෘතීයාදීවූද ධ්යානත්රයයෙහි වන ඒකාග්රතාව අවිතක්ක අවිචාර නම් වේ. මෙසේ සවිතක්ක-සවිචාරාදී (සවිතක්ක-සවිචාර, අවිතක්ක-සවිචාර, අවිතක්ක-අවිචාර- වශයෙන් ත්රිවිධ වේ.
තුන්වන ත්රිකයෙහි, චතුෂ්කනයෙහි මුල පටන් ධ්යාන දෙකෙකද, පංචකනයෙහි තුනෙකද වන ඒකාග්රතාව පීති සහගත සමාධියයි, එහිම (පිළිවෙළින්) තෘතීය හෝ චතුර්ත්ථ ධ්යානයෙහි වන ඒකාග්රතාව සුඛසහගත සමාධියයි, එහිම (පිළිවෙළින්) අවසන්හි වන (චතුර්ත්ථ හෝ පංචම) ධ්යනයෙහි වන ඒකාග්රතාව උපේක්ෂා සහගත සමාධියයි, උපචාර සමාධිය පීති සුඛ සහගත හෝ උපෙක්ඛා සහගත හෝ වේ. මෙසේ පීති සහගතාදී (පීති-සහගත, සුඛ-සහගත, උපෙක්ඛා සහගත) වශයෙන් තුන් ආකාර වේ.
සිවුවන ත්රිකයෙහි උපචාර භූමියෙහි වන ඒකාග්රතාව පරිත්ත සමාධියයි, රූපාවචර අරූපාවචර කුශල විෂයෙහි වන ඒකාග්රතාව මහග්ගත සමාධියයි, ආර්යමාර්ග පිළිබඳ ඒකාග්රතාව අප්පමාණ සමාධියයි. මෙසේ පරිත්ත, මහග්ගත, අප්පමාණ වශයෙන් තුන් ආකාර වේ.
සමාධිචතුක්කවණ්ණනා
චතුෂ්කයන් අතුරෙන් ප්රථම චතුෂ්කයෙහි දුඃඛප්රතිපදා හා අවිශද ප්රඥා සහිත සමාධියෙක් ඇත, දුඃඛ ප්රතිපදා හා තීක්ෂණ ප්රඥා සහිත සමාධියෙක්ද ඈත, සුඛප්රතිපදා හා අවිශදප්රඥා සහිත සමාධියෙක්ද ඇත. සුඛප්රතිපදා හා තීක්ෂණ ප්රඥා සහිත සමාධියෙක්ද ඇත.
එහි පළමුවර පිවිසීමෙහි පටන් ඒ ඒ ධ්යානයෙහි යම්තාක් උපචාරය උපදියිද ඒතාක් පවත්නා සමාධිභාවනාව පටිපදා යයි කියනු ලැබේ. උපචාරයෙහි පටන් යම්තාක් අර්පණාව වේද ඒතාක් පවත්නා ප්රඥාව අභිඤ්ඤා යයි කියනු ලැබේ. එහි ප්රතිපදාව ඇතැමකුට දුක්සහිත වේ. නීවරණ ආදී ප්රතිපක්ෂ ධර්මයන්ගේ පරිචය හා ග්රහණය හේතුකොටගෙන ආයාසකර වේ. ඇතැමකුට එසේ නොවීමෙන් සුඛසහිත වේ. අභිඥාවද ඇතැමකුට අවිශද (දන්ධ) වේ, මන්ද වූ ශීඝ්ර නොවූ පැවතුම් ඇත්තේ වේ. ඇතැමකුට ක්ෂණික වූ අමන්ද වූ ශීඝ්ර වූ පැවතුම් ඇත්තේ වේ.
එහිලා සප්පාය අසප්පායයන්ද, පලිබෝධ නාශනාදී පූර්ව කෘත්යයන්ද, අර්පණා කුශලතාවන්ද මතු විස්තර කරන්නමු. ඔවුන් අතුරෙන් යමෙක් අසප්පායයන් සේවනය කරන්නේද ඔහුට දුඃඛප්රතිපදා ද අවිශදප්රඥා ද වන්නේය, සප්පායයන් සෙවුනාහට සුඛප්රතිපදා ද විශදප්රඥා ද වන්නේය. යමෙක් වනාහි පූර්වභාගයෙහි අසප්පායයන් සේවනය කොට අපරභාගයෙහි සප්පායයන් සේවනය කරන්නේද, පූර්වභාගයෙහි සප්පායයන් සේවනය කොට අපරභාගයෙහි අසප්පායයන් සේවනය කරන්නේද, ඔහුට මිශ්රඵල වන්නේ යයි දතයුතුය. එසේම පලිබොධනාශනාදී පූර්වකෘත්යයන් නොසපයා භාවනාවෙහි යෙදෙන්නහුට දුඃඛප්රතිපදා වේ, එහි විපර්යය හේතුකොටගෙන සුඛප්රතිපදා වේ. අර්පණා කුශලතාවන් නොසපයන්නහුට අවිශද අභිඥා වේ, සපයන්නහුට ශීඝ්ර අභිඥා වේ, තවද තෘෂ්ණා අවිද්යා වශයෙන්ද සමථ විපස්සනාධිකාර වශයෙන්ද මෙම ප්රතිපදා අභිඥාවන් පිළිබඳ ප්රභේදය දතයුතුය:
තෘෂ්ණාවෙන් මඩනා ලද්දහුට දුඃඛ ප්රතිපදා වේ, නොමඩනා ලද්දහුට සුඛප්රතිපදා වේ, අවිද්යාවෙන් මඩනා ලද්දහුට අවිශද අභිඥා වේ, නොමඩනා ලද්දහුට ශීඝ්ර අභිඥා වේ. යමෙක් සමථ භාවනාවෙහි පෙර (අත්බැව්හි කළ) පුරුදු නැත්තේ වේද, ඔහුට දුඃඛ ප්රතිපදා වේ, පෙර පුරුදු ඇත්තහුට සුඛ ප්රතිපදා වේ, යමෙක් වනාහි විදර්ශනා විෂයෙහි පෙර පුරුදු නැත්තේ වේද, ඔහුට අවිශද අභිඥා වේ, පෙරපුරුදු ඇත්තහුට ශීඝ්ර අභිඥා වේ. ක්ලේශ හා ඉන්ද්රිය වශයෙන්ද මෙම ප්රතිපදා අභිඥාවන් පිළිබඳ ප්රභේදය දතයුතුය. තීව්ර ක්ලේශ හා මෘදු ඉන්ද්රිය ඇත්තහුට දුඃඛ ප්රතිපදාද අවිශද අභිඥාද වේ. තීක්ෂණ ඉන්ද්රිය ඇත්තහුට ශීඝ්ර අභිඥා වේ, මන්ද ක්ලේශ හා මෘදු ඉන්ද්රිය ඇත්තහුට සුඛප්රතිපදාද අවිශද අභිඥා ද වේ, තීක්ෂණ ඉන්ද්රිය ඇත්තහුට ශීඝ්ර අභිඥා වේ.
මෙසේ මෙම ප්රතිපදා අභිඥාවන් විෂයෙහි යම් පුද්ගලයෙක් තෙමේ දුඃඛප්රතිපදාවෙන් හා අවිශද අභිඥාවෙන් සමාධියට පැමිණේද ඔහුගේ එම සමාධිය දුඃඛ ප්රතිපදා හා අවිශද අභිඥා සහිතයයි කියනු ලැබේ. සෙසු තුන් තන්හිද මෙම ක්රමය වේ. මෙසේ දුක්ඛපටිපදා දන්ධාභිඤ්ඤා ආදී වශයෙන් චතුර්විධ වේ.