චරියාවණ්ණනා
ඉක්බිති අත්තනො චරියානුකූලං (තමාගේ චරිතයට අනුකූල වූ) යන මෙහි, චරියා නම් රාගචරියා, දොසචරියා, මොහචරියා, සද්ධාචරියා, බුද්ධිචරියා, විතක්කචරියායයි මෙසේ චර්යා සයෙකි. ඇතැමෙක් වනාහි, රාගාදී තුන එකින් එක මුසුවීමෙන් හා තුනම මෙසේ එක්වීමෙන් (රාග-ද්වේෂ, රාග-මෝහ, ද්වේෂ -මොහ, රාග-ද්වේෂ-මෝහ) යනුවෙන් සතරක්ද එසේ ශ්රද්ධාදී ඉතිරි තුන එකින් එක හා තුනම සමසේ මුසු වීමෙන් (ශ්රද්ධා-බුද්ධි, ශ්රද්ධා-විතර්ක, බුද්ධි-විතර්ක, බුද්ධා-බුද්ධි-විතර්ක) යනුවෙන් සතරක්දැයි තවත් අටක් හා සමග තුදුසක් කැමැති වෙති. මේ ආකාරයෙන් ප්රභේදයන් කියතොත් රාගාදිය හා ශ්රද්ධාදිය සමග මුසු කොටද බොහෝ චර්යාවෝ වෙති, එහෙයින් සංක්ෂේප වශයෙන් චර්යාවෝ සයක්ම වෙති’යි දතයුතුය. චර්යා, ප්රකෘති, උත්සන්නතා යන මේ වචන තුනම අරුත් වශයෙන් සමාන වේ. එම මූලචර්යාවන්ගේ වශයෙන් රාගචරිතයාය, ද්වේෂ චරිතයාය, මොහචරිතයාය, ශ්රද්ධා චරිතයාය, බුද්ධිචරිතයාය, විතර්කචරිතයා යයි පුද්ගලයෝ සදෙනෙක්ම වෙති.
එහි යම් හෙයකින් රාගචරිතයාහට කුසල් සිත් පවත්නා කල ශ්රද්ධාව බලවත් වේනම්, ඒ රාගයට ආසන්න ගුණ ඇති හෙයිනි. යම් හෙයකින් අකුශල පක්ෂයෙහි රාගය සිනිදු ගුණ ඇත්තේ වේද, රළු ස්වභාවයෙන් තොරවූයේ වේද, කුශල පක්ෂයෙහි ශ්රද්ධාවද එසේය. යම්සේ රාගය වස්තුකාමයන් සොයන්නේ වේද, එසේම ශ්රද්ධාව ශීලාදී ගුණයන් සොයන්නේ වේ. යම්සේ රාගය අහිත දෙය නොහරනේ වේද, එසේම ශ්රද්ධාව හිත දෙය නොහරනේ වේ, එහෙයින් රාගචරිතයා හා ශ්රද්ධාචරිතයා අනුකුල ස්වභාව ඇත්තාහු වෙති.
යම් හෙයකින් ද්වේශ චරිතයාහට කුසල් සිත් පවත්නා කල ප්රඥාව බලවත් වේද, ඒ ද්වේෂයට ආසන්න ගුණ ඇති හෙයිනි. යම්සේ වනාහි අකුශල පක්ෂයෙහි ද්වේෂය ඇලුම් නැතියේ අරමුණෙහි නොඇලේද, කුශල පක්ෂයෙහි ප්රඥාවද එසේය. යම්සේ ද්වේෂය නැති දොස් පවා සොයන්නේ වේද, එසේම ප්රඥාව ඇති දොස් සොයන්නේ වේ. යම්සේ ද්වේෂය සත්ත්වයන් නොරුස්නා ආකාරයෙන් පවතීද, එසේම ප්රඥාව සංස්කාරයන් නොරුස්නා ආකාරයෙන් පවතී. එහෙයින් ද්වේෂ චරිතයාහට බුද්ධචරිතයා අනුකූල ස්වභාව ඇත්තේ වේ.
යම් හෙයකින් මොහචරිතයාහට නූපන් කුසල් දහම් ඉපැදවීම පිණිස යත්න කරනවිට බොහෝසෙයින් අන්තරායකර විතර්කයෝ පහළ වෙත්ද, ඒ මෝහ චරිතයාහට ආසන්න ලක්ෂණ ඇති හෙයිනි. යම්සේ වනාහි මෝහය අවුල් සහගත ස්වභාව ඇති හෙයින් එක් අරමුණෙක නොසිටිනේ වේද, එසේම විතර්කය නානාආකාර විතර්කයන් හේතුකොට අරමුණෙහි නොසිටිනේය. යම්සේ මෝහය අරමුණෙහි ගැඹුරට බැස නොසිටින හෙයින් චංචල වූයේද එසේම විතර්කය ලුහු කල්පනා ඇති හෙයින් චංචල වේ. එහෙයින් මෝහචරිතයා විතර්ක චරිතයාහට අනුකුල ස්වභාව ඇත්තේ වේ.
ඇතැමෙක් තෘෂ්ණා මාන, දෘෂ්ටි වශයෙන් තවද චර්යාවන් තුනක් දක්වති. එහි තෘෂ්ණා නම් රාගය මැයි. මානයද රාගය හා සමග යෙදුණේ වේ, එහෙයින් ඒ දෙක රාගචරිතය ඉක්ම නොපවතී. දෘෂ්ටිය මෝහය නිදානකොට ඇතිහෙයින් දෘෂ්ටිචරිතය මෝහචරිතය තුළම වැටේ.
ඒ මේ චර්යාවෝ කුමක් නිදානකොට ඇත්තාහුද? මේ පුද්ගලයා රාගචරිතයෙකි, මේ පුද්ගලයා ද්වේෂාදී වශයෙන් එක්තරා චරිතයක් ඇත්තෙකි, කවර චරිතයක් ඇති පුද්ගලයාට කුමක් සප්පාය වේදැයි කෙසේ දතයුතුද?
එහි වනාහි රාගාදී ප්රථම චර්යා තුන පෙර අත්බව්හි පුරුදු කරන ලද දෙය නිදානකොට ඇත්තේයයිද, පෘථිවි ආදී ධාතුන් හෝ ශ්ලේෂ්මාදී දෝෂයන් මුල්කොට ඇත්තේයයිද ඇතැමෙක් පවසති. පෙර අත්බව්හි හිතකර ක්රියාවල හා යහපත් ක්රියාවල යෙදීම බහුල වූයේ හෝ දෙව්ලොවින් චුතව මෙහි උපන්නේ රාගචරිත ඇත්තෙක් වේ, පෙර අත්බව්හි කැපීම් කෙටීම් වධ බන්ධන වෛර කිරීම් බහුලවූයේ හෝ නිරයෙන්ද නාගයෝනියෙන්ද චුතව මෙහි උපන්නේ ද්වේෂ චරිත ඇත්තෙක් වේ, පෙර අත්බව්හි මද්යපානයෙහි බහුල වශයෙන් යෙදුණේ හෝ ඉගෙනීම් අරුත් ඇසීම් නොකළේ හෝ තිරිසන් යෝනියෙන් චුතව මෙහි උපන්නේ මොහචරිත ඇත්තේ වේ. මෙසේ පෙර පුරුද්ද නිදානකොට ඇත්තේයයි කියති. පෘථිවි ආපෝ යන උභයධාතුන් උත්සන්න වීමෙන් මොහචරිත ඇත්තේ වේ. සෙසු ධාතුන් දෙදෙනාගේ උත්සන්න වීමෙන් ද්වේෂ චරිත ඇත්තේ වේ, සියලු ධාතූන් සමවීමෙන් රාගචරිත ඇත්තේ වේ. තුන් දොස් අතුරෙන් සෙම අධික වූයේ රාගචරිත ඇත්තේ වේ, වාතය අධික වූයේ මොහචරිත ඇත්තේ වේ, නැතහොත්, සෙම් අධිකවූයේ මෝහ චරිත ඇත්තේ වේ, වාතය අධික වූයේ රාගචරිත ඇත්තේ වේ, මෙසේ ධාතුන් හා දොෂයන් නිදානකොට ඇත්තේයයි කියත්.
එහි යම්හෙයකින් පෙර අත්බව්හි හිතකර ක්රියා යහපත් ක්රියා බහුල ඇත්තාවූද, දෙව්ලොවින් චුතව මෙහි උපන්නාවූද සියලු දෙනා රාගචරිත ඇත්තෝ නොවෙති. ද්වේශ හෝ මොහචරිත ඇත්තෝ යයි දක්වනලද සියල්ලෝම එසේ ද්වේෂ හෝ මොහචරිත ඇත්තෝ නොවෙති. එසේම ධාතුන්ගේද කියනලද ආකාරයෙන් උත්සන්න වීමේ ඒකාන්ත නියමයෙක් නැත්තේය, දොෂ නියමයෙහිද රාග මෝහ යන දෙක පමණක් කියන ලද්දේ වේ. (ද්වේෂය ගැන සඳහනෙක් නැත) එයද පරස්පර විරෝධී වේමය. ශ්රද්ධාදීන් අතුරෙන් එකද චරිතයක් පිළිබඳ නිදාන නොකියන ලදි. එහෙයින් මේ සියල්ල නොපිරික්සා කියනලද වචනයි.
මේ වනාහි මෙහිලා අර්ථකථාචාර්යයන්ගේ මතයනට අනුව කැරෙන විනිශ්චයයි: උත්සන්නතා විස්තරයෙහි කියනලද මැයි: මේ සත්ත්වයෝ පෙර අත්බව්හි හේතු නියායෙන් ලෝභය උත්සන්නකොට ඇත්තාහුද, ද්වේෂය උත්සන්නකොට ඇත්තාහුද, මොහය උත්සන්නකොට ඇත්තාහුද, අලොභය උත්සන්නකොට ඇත්තාහුද, අද්වේෂය උත්සන්නකොට ඇත්තාහුද, අමෝහය උත්සන්නකොට ඇත්තාහුද වෙති.