කම්මට්ඨානදායකවණ්ණනා
කම්මට්ඨානදායකං කල්යාණමිත්තං උපසඞ්කමිත්වා (කමටහන් දෙන කල්යාණ මිත්රයකු වෙත එළඹ) යනු මෙහි වනාහි කමටහන් දෙආකාර වේ. සබ්බත්ථක හෙවත් සියලු තන්හි යුතු කර්මස්ථාන හා පාරිහාරිය හෙවත් තමාගේ චරිතයට අනුව පරිහරණය කළයුතු කර්මස්ථානයි. සියලු තන්හි යුතු කමටහන් නම්: භික්ෂුසංඝාදීන් කෙරෙහි මෛත්රී වැඩීමද, මරණානුස්මෘතියද යන මේවායි, ඇතැමෙක් අසුභසතියයිද කියති.
කමටහන් ගන්නා භික්ෂුව විසින් පළමුකොටම සීමාව ඇතුළත වෙසෙන භික්ෂු සංඝයා කෙරෙහි, සුවපත් වෙත්වා, වෛර නැත්තෝ වෙත්වායි මෙත් වැඩිය යුතුය. ඉක්බිති සීමාව ඇතුළත දේවතාවන් කෙරෙහි, ඉක්බිති ගොදුරු ගම්හි ප්රභූජනයා කෙරෙහි, ඉක්බිති එහි පොදු මහජනයා පටන් සියලු සත්ත්වයා කෙරෙහි වැඩිය යුතු වේ. ඒ භික්ෂු තෙමේ වනාහි භික්ෂු සංඝයා කෙරෙහි මෙත් වැඩීමෙන් සමග වසන්නවුන් තුළ මුදු සිත් ඇතිකරවයි, ඒ හේතුවෙන් ඔවුහු සුඛසහවාස (සැපවත් සහවාස) ඇත්තෝ වෙති. සීමාස්ථ දේවතාවන් කෙරෙහි මෙත් වැඩීමෙන් මුදු මොලොක් බවට පත් සිත්ඇති දේවතාවන් විසින් දැහැමි රැක්මෙන් මනාව පිහිටුවන ලද ආරක්ෂා ඇත්තේ වේ. ගොදුරු ගම්හි ප්රභූ ජනයා කෙරෙහි මෙත් වැඩීමෙන් මුදු මොලොක් බවට පත් සිත්ඇති ප්රභූන් විසින් දැහැමි රැක්මෙන් මනාව රක්නාලද පිරිකර ඇත්තේ වේ. එහි පොදු මහජනයා කෙරෙහි මෙත් වැඩීමෙන් පැහැදුණු සිත් ඇති ඔවුන් විසින් නින්දා නොකරනලදුව හැසිරේ. සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් වැඩීමෙන් සියලුතන්හි නොවලක්වනලද හැසිරීම් ඇත්තේ වේ. මරණානුස්මෘතිය හේතුකොටගෙන, අවශ්යයෙන්ම මා මරණයට පත්විය යුතුයයි සිතන්නේ ප්රත්යයාන්වේෂණය හැර, මතු මත්තේ වැඩෙන සංවේග ඇත්තේ පසු නොබස්නා සිත් ඇත්තේ වේ. අසුබ හැඟීම පුරුදු කළ සිත් ඇත්තහුට වනාහි දිව්යමය වූ අරමුණු පවා ලෝභ වශයෙන් සිත නොපාරයි.
මෙසේ බොහෝ උපකාර ඇති හෙයින් සියලු තන්හි සෙවිය යුතුය, කැමැති වියයුතුයයි. අභිප්රේත වූ යෝගාවචර කර්මයට පදස්ථානයයි යන අරුතින් කර්මස්ථානයයි කියනු ලැබේ.
සතළිස් කර්මස්ථානයන් අතුරෙන් යමක් යමකුගේ චරිතයට අනුකූලවේනම්, එය ඔහු විසින් නිතොරව පරිහරණ කළයුතුවන හෙයින් මතුමත්තෙහි භාවනා කිරීමට පදස්ථානවන හෙයින් පාරිහාරිය කර්මස්ථානයයි කියනු ලැබේ. මෙසේ මේ ද්විවිධ කර්මස්ථානයන් යමෙක් දෙන්නේ නම්, හේ තෙමේ කර්මස්ථානදායක නම් වේ. එවැනි කර්මස්ථාන දායකයායි.
කල්යාණමිත්තං යනු,
පියො ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො
ගම්භීරඤ්ච කථං කත්තා නොචට්ඨානෙ නියොජයෙ
ගම්භීරඤ්ච කථං කත්තා නොචට්ඨානෙ නියොජයෙ
ප්රියය, ගරුත්වයෙන් යුක්තය, සම්භාවනා කටයුතුය, කීමෙහි බිණීමෙහි දක්ෂය, වචන පිනවනසුලුය. ධර්මසංයුක්ත ගැඹුරු කථා ඇත්තේය. නොතැන්හි නොයොදවන්නේය.
මේ ආදී ගුණයෙන් සමන්විත වූ, ඒකාන්තයෙන් හිත කැමති වූ, වෘද්ධිපක්ෂයෙහි සිටි කල්යාණමිත්රයායි,
‘ආනන්දය, කල්යාණමිත්ර වූ මා වෙත පැමිණ ඉපදීම ස්වභාවකොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙති.’ මේ ආදී වචනයෙන් සම්මාසම්බුදුන් වහන්සේම සියලු ලක්ෂණයෙන් හෙබි කල්යාණමිත්රයෙකි. එහෙයින් බුදුන් දිවමන් කල ඔවුන්ගෙන්ම ලබාගත් කමටහන් මනාකොට ගන්නා ලද්දේ වේ. ඔවුන් පිරිනිවි කල, අසූ මහසව්වන්ගෙන් යම් කෙනෙක් දිවමන් වෙත්නම් ඔවුන් වෙතින් ලබාගැනීම වටනේය. ඔවුන්ද දිවමන් නොවූ කල්හි යම් කර්මස්ථානයක් ගනු කැමැත්තේද, එම කර්මස්ථානයම වැඩීම් වශයෙන් චතුර්ත්ථ පංචමධ්යානයන් උපදවා එම ධ්යානය පාදකකොට විදර්ශනා වඩා රහත්ඵලයට පත් ක්ෂීණාශ්රව කෙනකු වෙතින් ගතයුතුය.
කිමෙක්ද? ක්ෂීණාශ්රවයෙක් තෙමේ මම් ක්ෂීණාශ්රවයෙක්මියි තමා හඳුන්වා ගන්නේද? මෙහි කිවයුත්තක් ඇත්ද? භාවනා කරන්නකු බව දතහොත් (තමා ක්ෂිණාශ්රවයකු බව) ප්රකාශ කරන්නේමය. අස්සගුත්ත තෙරණුවෝ මේ භික්ෂුව විසින් කමටහන් අරඹන ලද්දේය, මේ තෙමේ කාර්යය කරන්නෙකියි දැන, අහස්හි පත්කඩ එලා එහි පලක් බැඳ හිඳ කමටහන් නොකීවාහුද?
එහෙයින් ක්ෂීණාශ්රව කෙනකුම ලබතොත් යෙහෙකි, ඉදින් නොලබතොත්, අනාගාමී, සකෘදාගාමී ශ්රොතාපත්තිලාභී, ධ්යානලාභී පෘථග්ජන, ත්රිපිටකධර, ද්විපිටකධර, එකපිටකධර යන මොවුන් අතුරෙන් පළමු කියන ලද්දහු සමීපයෙන් ලබාගත යුතුය. එකපිටකධරයකුද නැතිවිට, යමකු විසින් එක් සඟියක් හෝ අටුවා සහිතව ප්රගුණ කරන ලද්දේනම්, තෙමේද, ලජ්ජී වේනම්, ඔහු වෙතින් (කමටහන්) ලබාගත යුතුය. පර්යාප්තිධර වූ, වංශානුරක්ෂක වූ, ආචාර්යවාදය රක්නා වූ මෙබඳු වූ ආචාර්ය තෙමේ ආචාර්ය මතයෙහි පිහිටියේම වේ, තමාගේ මතයෙහි සිටියේ එසේ නොවේ. එහෙයින්ම පුරාතන තෙරවරයෝ (ථේරවාදීහු) ලජ්ජී රක්ඛිස්සති, ලජ්ජී රක්ඛිස්සති’ (ලජ්ජි තෙමේ රකියි, ලජ්ජි තෙමේ රකියි) යයි කීහ.
පෙර කී ක්ෂීණාශ්රවාදීහුද මෙහිලා තමා විසින් අවබෝධ කළ මාර්ගයම කියන්නාහුය, බහුශ්රැත තෙමේ වනාහි ඒ ඒ ආචාර්යවරයන් වෙත එළඹ, උග්ගහ, පරිපුච්ඡා වශයෙන් දහම් අරුත් විවරණ පිරිසුදුකර ගන්නාලද හෙයින් ඒ ඒ තැන සූත්රයද, කාරණයද සැලකිල්ලට ගෙන කමටහනට යෝග්ය සප්පාය අසප්පාය යොදා ගහන තන්හි යන මහ ඇතකු සෙයින් කමටහන් විධි නමැති මහමඟ දක්වමින් කමටහන් කියති. එහෙයින් කමටහන් දෙන කල්යාණමිත්රයකු වෙත එළඹ ඔහුට වත්පිළිවෙත් කොට කමටහන් ගත යුතුය.
ඉදින් ඔහු (කමටහන් දෙන්නා) එකම විහාරයෙහි ලැබෙතොත් මැනවි, නොලැබෙතොත්, ඔහු යම් තැනෙක වෙසේනම් එහි යායුතුය, එසේ යනවිට, සෝදා තෙල් ගැල්වූ පා සහිතව වහන්නැඟී, කුඩය ගෙන, තෙල්නල, මීපැණි ආදිය ගෙන්වාගෙන අත වැසියන් පිරිවරාගෙන නොයා යුතුය. ගමිකවත් පුරා තමාගේ පාසිවුරු තමාම ගෙන, අතරමඟ යම් විහාරයකට පිවිසේනම් ඒ ඒ සියලු තන්හිදීම වත්පිළිවෙත් කරමින්, සැහැල්ලු පිරිකර ඇතිව, පරම සල්ලේඛ පැවතුම් ඇතිව යායුතුය.