දසපලිබොධවණ්ණනා
කථං භාවෙතබ්බො (කෙසේ වැඩිය යුතුදැයි) යන මෙහි ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාර වේ යන ආදියෙහි ආර්යමාර්ග සම්ප්රයුක්ත වූ යම් මේ සමාධියක් පළමු කියන ලද්දේ ද, එය වැඩීමේ ක්රමය ප්රඥාභාවනා ක්රමයෙහිම සංගෘහීත වේ, ප්රඥාව වැඩීමෙන්ම එය වඩනා ලද්දේ වේ, එහෙයින් එය සඳහා මෙසේ වැඩිය යුතුයයි කිසිවක් වෙන්කොට නොකියමු.
යම් මේ ලෞකික සමාධියක් වේද, එය යට කියනලද සෙයින් ශීලය පිරිසුදු කොටගෙන සුපිරිසුදු ශීලයෙහි පිහිටා දශපලිබෝධයන් අතුරෙන් යම් පලිබෝධයක් ඇතොත්, එය පසිඳගෙන කමටහන් දෙන කල්යාණමිත්රයකු කරා එළඹ සතළිස් කමටහන් අතුරෙන් තමාගේ චරිතයට අනුකුලවූ යම්කිසි කමටහනක් ගෙන, සමාධි භාවනාවට නොසුදුසු විහාරය අත්හැර සුදුසු විහාරයෙක්හි වෙසෙමින්, සුලු පලිබෝධ කිසිවක් ඇතොත් එයද සිඳලා සියලු භාවනාවිධි නොපිරිහෙළා වැඩිය යුතුය යනු මෙහි සංක්ෂිප්ත අර්ත්ථයි.
විශේෂ විස්තරාර්ත්ථ මෙසේය: දශ පලිබෝධයන් අතුරෙන් යම් පලිබොධයක් ඇතොත් එය පසිඳ ගෙනැ’යි යමක් පළමු කියන ලද්දේ ද, මෙහි,
ආවාසො ච කුලං ලාභො ගණො කම්මඤ්ච පඤ්චමං
අද්ධානං ඤාති ආබාධො ගන්ථො ඉද්ධීති තෙ දස
අද්ධානං ඤාති ආබාධො ගන්ථො ඉද්ධීති තෙ දස
අවාසයද, කුලයද, (ප්රත්යය) ලාභයද, (සුත්තන්තික ආදී) ගණයද, පස්වැනිවූ නවකම්ද, (දුෂ්කර) ගමන් මාර්ගයද, (ආචාර්ය උපාධ්යාය ආදී) ඥාතීහුද, රෝගාබාධද, (පර්යාප්ති ආදී) ග්රන්ථද, (ලෞකික) සෘද්ධියද
යන මේ දශය පලිබොධ නම් වේ. එහි ආවාස පලිබොධ නම් ආවාසයමැයි, කුල ආදියෙහිද මෙම න්යායයි.
එහි ආවාස යනු, එක් කුටියක් හෝ, එක් පිරිවෙණක් හෝ මුළු සංඝාරාමයම හෝ ආවාසයයි කියනු ලැබේ. ඒ මේ ආවාසය සියල්ලනටම පලිබොධ නොවේ. යමෙක් වනාහි මේ ආවාසයෙහි නවකම් ආදිය කෙරෙහි උත්සුකබවට පත් වේනම්, බොහෝ භාණ්ඩයන් රැස් කරන්නේ හෝ වේනම්, යම් කරුණක් හේතුකොට අපේක්ෂා ඇත්තේ, එය වෙත නැඹුරු සිත් ඇත්තේ වේනම්, එවැන්නහුටම පලිබොධ වේ, අන් කෙනකුට නොවේ.
එහිලා මේ කථා වස්තුවෙකි: කුලපුත්හු දෙදෙනෙක් අනුරාධපුරයෙන් නික්ම ථූපාරාමයෙහි පැවිදි වූහ. ඔවුනතුරෙන් එක් කෙනෙක් මාතෘකා දෙකක් ප්රගුණ කොට උපසපන් පස්වස් ඇතිව පවාරණ කොට පාචීනඛණ්ඩරාජියට ගියේය, අනෙක් භික්ෂු තෙමේ එහිම වාසය කළේය. පාචීනඛණ්ඩරාජීයට ගිය භික්ෂු තෙමේ එහි බොහෝ කලක් වැස ස්ථවිර කෙනකු බවට පත්ව මෙසේ සිතීය. මෙතන විවේක විහරණයට සරුප් වේ, එහෙයින් සහායකයා හටද ඒ බව දන්වමි. මෙසේ සිතා එතැනින් නික්ම පිළිවෙළින් ථූපාරාමයට සැපත් විය. සමවයක වූ යහළු භික්ෂු තෙමේද පිවිසෙන විටම දැක පෙරගමන් ගොස් පාසිවුරු පිළිගෙන වත්පිළිවෙත් කළේය. ආගන්තුක භික්ෂු තෙමේ සෙනසුනට පිවිස මෙසේ සිතීය: ‘දැන් මාගේ යහළු තෙමේ ගිතෙල් හෝ පැණි හෝ පානයක් හෝ එවන්නේය, මේ තෙමේ මේ නගරයෙහි බොහෝ කලක් වාසය කළේය’. හේ තෙමේ රාත්රියෙහි කිසිවක් නොලැබ පහන් වූ කල, ‘දැන් උපස්ථායකයන් විසින් එවනලද හුළුකැඳ හා අවුලුපත් එවන්නේය’යි සිතීය. එයද නොදැක, ‘එවන්නට කෙනකු නැතුවා විය යුතුය, පිවිසි විට දෙන්නාහුයයි සිතා උදෑසනින්ම සහායක භික්ෂුව හා සමග ගමට පිවිසියේය. ඔවුහු දෙදෙනා එක් වීදියෙක හැසිර සරළුවක් (හැන්දක්) පමණ හුළුකැඳ ලැබ ආසනශාලාවෙහි හිඳ වැළඳූහ. ඉක්බිති ආගන්තුක ස්ථවිර තෙමේ ‘නිබඳව දෙන හුළුකැඳක් නැතැයි සිතමි, දැන් බත් වේලාවෙහි මිනිස්සු ප්රණීත ලෙස බත් දෙන්නාහුය’යි සිතීය. ඉක්බිති බත් වේලාවෙහිද පිඬු පිණිස හැසිර ලද දෙයක්ම වළඳා, ‘කිමෙක්ද ස්වාමීනි, හැමදාම මෙසේ යැපෙන්නහුදැ’යි ඇසීය. ‘එසේය ඇවැත්නි’යි කීය. ‘ස්වාමීනි, පාචීනඛණ්ඩරාජිය පහසුය එහි යම්හයි කීය. ස්ථවිර තෙමේ දකුණු දොරටුවෙන් නගරයෙන් නික්ම කුඹල්ගමට යන මඟට පිවිසියේය. අනෙක් ස්ථවිර තෙමේ, ‘කිමෙක්ද, ස්වාමීනි, මේ මඟට පිළිපන්නහුදැයි කීය. ‘ඇවැත්නි, ඔබ පාචීනඛණ්ඩරාජියෙහි වරුණ කීවා නොවේද?’ ‘කිමෙක්ද ස්වාමීනි, මෙපමණ කල් වාසය කළ තැන ඔබවහන්සේට (ගෙනයායුතු) අතිරේක පිරිකර කිසිවක් නැද්ද? එසේය ඇවැත්නි, ඇඳ හා පුටුව සඟ සතුය, එය සකස්කොට තබා ඇත. අන් කිසිවක් නැත. ‘ස්වාමීනි, මාගේ වනාහි සැරයටියද, තෙල්නලයද, වහන්පසුම්බියද එහි යයි කීය. ‘ඇවැත්නි, ඔබ එක් දිනක් වැස මෙතෙක් දෑ තබා ආවහුදැයි කීය. ‘එසේය ස්වාමීනියි කියා, හේ (ආගන්තුක ස්ථවිර) තෙමේ පහන් සිත් ඇතිව, තෙරුන් වැඳ, ‘ස්වාමීනි, ඔබවහන්සේ වැන්නවුනට සියලු තන්හිම අරණ්යවාසය වේ. ථූපාරාමය සිවු බුදුවරයන්ගේම ධාතූන් නිදහන්කළ තැනෙකි, ලෝහ ප්රාසාදයෙහි සප්පාය වූ ධර්මශ්රවණය ඇත, මහසෑය දැකීමද, ස්ථවිර භික්ෂූන් දැකීමද ලැබේ, බුද්ධකාලය මෙන් පවතී, ඔබ වහන්සේ මෙතන්හිම වසනු මැනවැයි දෙවන දවස්හි පාසිවුරු ගෙන තනිවම ගියේය. මෙවැන්නහුට ආවාසය පලිබෝධ නොවේ.