සමාධිචතුක්කවණ්ණනා
චතුෂ්කයන් අතුරෙන් ප්‍රථම චතුෂ්කයෙහි දුඃඛප්‍රතිපදා හා අවිශද ප්‍රඥා සහිත සමාධියෙක් ඇත, දුඃඛ ප්‍රතිපදා හා තීක්‍ෂණ ප්‍රඥා සහිත සමාධියෙක්ද ඈත, සුඛප්‍රතිපදා හා අවිශදප්‍රඥා සහිත සමාධියෙක්ද ඇත. සුඛප්‍රතිපදා හා තීක්‍ෂණ ප්‍රඥා සහිත සමාධියෙක්ද ඇත.
එහි පළමුවර පිවිසීමෙහි පටන් ඒ ඒ ධ්‍යානයෙහි යම්තාක් උපචාරය උපදියිද ඒතාක් පවත්නා සමාධිභාවනාව පටිපදා යයි කියනු ලැබේ. උපචාරයෙහි පටන් යම්තාක් අර්පණාව වේද ඒතාක් පවත්නා ප්‍රඥාව අභිඤ්ඤා යයි කියනු ලැබේ. එහි ප්‍රතිපදාව ඇතැමකුට දුක්සහිත වේ. නීවරණ ආදී ප්‍රතිපක්‍ෂ ධර්මයන්ගේ පරිචය හා ග්‍රහණය හේතුකොටගෙන ආයාසකර වේ. ඇතැමකුට එසේ නොවීමෙන් සුඛසහිත වේ. අභිඥාවද ඇතැමකුට අවිශද (දන්‍ධ) වේ, මන්‍ද වූ ශීඝ්‍ර නොවූ පැවතුම් ඇත්තේ වේ. ඇතැමකුට ක්‍ෂණික වූ අමන්‍ද වූ ශීඝ්‍ර වූ පැවතුම් ඇත්තේ වේ.
එහිලා සප්පාය අසප්පායයන්ද, පලිබෝධ නාශනාදී පූර්ව කෘත්‍යයන්ද, අර්පණා කුශලතාවන්ද මතු විස්තර කරන්නමු. ඔවුන් අතුරෙන් යමෙක් අසප්පායයන් සේවනය කරන්නේද ඔහුට දුඃඛප්‍රතිපදා ද අවිශදප්‍රඥා ද වන්නේය, සප්පායයන් සෙවුනාහට සුඛප්‍රතිපදා ද විශදප්‍රඥා ද වන්නේය. යමෙක් වනාහි පූර්වභාගයෙහි අසප්පායයන් සේවනය කොට අපරභාගයෙහි සප්පායයන් සේවනය කරන්නේද, පූර්වභාගයෙහි සප්පායයන් සේවනය කොට අපරභාගයෙහි අසප්පායයන් සේවනය කරන්නේද, ඔහුට මිශ්‍රඵල වන්නේ යයි දතයුතුය. එසේම පලිබොධනාශනාදී පූර්වකෘත්‍යයන් නොසපයා භාවනාවෙහි යෙදෙන්නහුට දුඃඛප්‍රතිපදා වේ, එහි විපර්යය හේතුකොටගෙන සුඛප්‍රතිපදා වේ. අර්පණා කුශලතාවන් නොසපයන්නහුට අවිශද අභිඥා වේ, සපයන්නහුට ශීඝ්‍ර අභිඥා වේ, තවද තෘෂ්ණා අවිද්‍යා වශයෙන්ද සමථ විපස්සනාධිකාර වශයෙන්ද මෙම ප්‍රතිපදා අභිඥාවන් පිළිබඳ ප්‍රභේදය දතයුතුය:
තෘෂ්ණාවෙන් මඩනා ලද්දහුට දුඃඛ ප්‍රතිපදා වේ, නොමඩනා ලද්දහුට සුඛප්‍රතිපදා වේ, අවිද්‍යාවෙන් මඩනා ලද්දහුට අවිශද අභිඥා වේ, නොමඩනා ලද්දහුට ශීඝ්‍ර අභිඥා වේ. යමෙක් සමථ භාවනාවෙහි පෙර (අත්බැව්හි කළ) පුරුදු නැත්තේ වේද, ඔහුට දුඃඛ ප්‍රතිපදා වේ, පෙර පුරුදු ඇත්තහුට සුඛ ප්‍රතිපදා වේ, යමෙක් වනාහි විදර්ශනා විෂයෙහි පෙර පුරුදු නැත්තේ වේද, ඔහුට අවිශද අභිඥා වේ, පෙරපුරුදු ඇත්තහුට ශීඝ්‍ර අභිඥා වේ. ක්ලේශ හා ඉන්‍ද්‍රිය වශයෙන්ද මෙම ප්‍රතිපදා අභිඥාවන් පිළිබඳ ප්‍රභේදය දතයුතුය. තීව්‍ර ක්ලේශ හා මෘදු ඉන්‍ද්‍රිය ඇත්තහුට දුඃඛ ප්‍රතිපදාද අවිශද අභිඥාද වේ. තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇත්තහුට ශීඝ්‍ර අභිඥා වේ, මන්‍ද ක්ලේශ හා මෘදු ඉන්‍ද්‍රිය ඇත්තහුට සුඛප්‍රතිපදාද අවිශද අභිඥා ද වේ, තීක්‍ෂණ ඉන්‍ද්‍රිය ඇත්තහුට ශීඝ්‍ර අභිඥා වේ.
මෙසේ මෙම ප්‍රතිපදා අභිඥාවන් විෂයෙහි යම් පුද්ගලයෙක් තෙමේ දුඃඛප්‍රතිපදාවෙන් හා අවිශද අභිඥාවෙන් සමාධියට පැමිණේද ඔහුගේ එම සමාධිය දුඃඛ ප්‍රතිපදා හා අවිශද අභිඥා සහිතයයි කියනු ලැබේ. සෙසු තුන් තන්හිද මෙම ක්‍රමය වේ. මෙසේ දුක්‍ඛපටිපදා දන්‍ධාභිඤ්ඤා ආදී වශයෙන් චතුර්විධ වේ.
දෙවන චතුෂ්කයෙහි: නොවැඩුණු, නොවඩනලද අරමුණු ඇති සමාධියෙක් ඇත, නොවැඩුණු පමණ කළ නොහැකි අරමුණු ඇති සමාධියෙක් ඇත. පමණ කළ නොහැකි නොවඩනා ලද අරමුණු ඇති සමාධියෙක් ඇත. පමණ කළ නොහැකි අරමුණුද ඇති සමාධියෙක් ඇත. එහි යම් සමාධියක් ප්‍රගුණ නොකරන ලද්දේ ද, මතුධ්‍යානයට හේතුවීමටද නොහැක්කේද, මේ නොවැඩුණු (පරිත්ත) ධ්‍යානයයි, යම් ධ්‍යානයක් නොවඩනාලද අරමුණෙහි පවතී නම්, මේ පරිත්තාරම්මණ හෙවත් නොවඩනාලද අරමුණු ඇති ධ්‍යානයයි, යම් ධ්‍යානයක් ප්‍රගුණ කරනලදුයේ මනාව වැඩුණේ මතු ධ්‍යානයට හේතුවියහැක්කේද මේ අප්පමාණ හෙවත් මනාව වැඩුණු ධ්‍යානයයි, යම් ධ්‍යානයක් වඩනාලද අරමුණෙහි පවතී නම්, මේ අප්පමාණාරම්මණ හෙවත් මනාසේ වඩනාලද අරමුණු සහිත සමාධියයි. මෙකී ලක්‍ෂණ මුසුවීම හේතුකොටගෙන වොමිස්සක නය හෙයත් මිශ්‍රවීමේ ක්‍රමය (න්‍යායය) දතයුතුය. මෙසේ පරිත්ත, පරිත්තාරම්මණ ආදී වශයෙන් චතුර්විධ වේ.
තුන්වන චතුෂ්කයෙහි: විසුරුවාහළ නීවරණ සහිත වූ විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා වශයෙන් අංග පසෙකින් යුත් ප්‍රථමධ්‍යානයද, ඉක්බිති මුලිනුපුටා දැමූ විතක්ක විචාර සහිතවූ අංග තුනෙකින් යුත් ද්විතීය ධ්‍යානයද, ඉක්බිති පීති රහිතවූ අංග දෙකෙකින් යුත් තෘතීය ධ්‍යානයද, ඉක්බිති සුඛවේදනා ප්‍රහීණ කළ, උපෙක්‍ඛාවෙදනා සහිතවූ අංග දෙකකින් යුත් චතුර්ත්‍ථ ධ්‍යානයද වේ. මෙසේ මේ ධ්‍යාන සතරෙහි අංග වූ සමාධි සතරෙක් වේ, මෙසේ චතුර්ධ්‍යාන වශයෙන් චතුර්විධ වේ.
සිවුවන චතුෂ්කයෙහි: හානභාගීය (පිරිහීමට නැඹුරු), සමාධියෙක් ඇත, ඨිතිභාගිය (නොවැඩී සිටි) සමාධියෙක් ඇත, විසෙසභාගීය විශේෂ අධිගමයන් පිණිස යන) සමාධියෙක් ඇත, නිබ්බෙධභාගීය (නිර්වේදයට නැඹුරු) සමාධියෙක්ද ඇත. එහි ප්‍රතිපක්‍ෂ ධර්මයන්ගේ පැළඹීමෙන් හානභාගීතාව වේ, අනුරූප වූ ස්මෘතිය පිහිටුවීම් වශයෙන් ඨිතිභාගිතාවද, මතු විශේෂාධිගම වශයෙන් විසෙසභාගිතාවද, ආදීනවදර්ශන සහිත සංඥා මනස්කාරයන්ගේ පැළඹීම් වශයෙන් නිබ්බෙධභාගිතාවද වෙතැ’යි දතයුතුය. යම්ස් කියන ලද්දේ ද: ‘ප්‍රථමධ්‍යාන ලාභියා කෙරෙහි කාමරාග සහගත සඤ්ඤාමනසිකාරයෝ පැළඹෙත් නම්, හානභාගීනි ප්‍රඥාවද, අනුරූප ස්මෘතිය පිහිටා නම් ඨිතිභාගිනී ප්‍රඥාවද අවිතර්ක සහගත සඤ්ඤා මනසිකාරයෝ පැළඹෙත් නම් විසේසභාගිනී ප්‍රඥාවද, නිර්වේද සහගත සඤ්ඤා මනසිකාරයෝ පැළඹෙත් නම් විරාගසහිත වූ නිබ්බෙධභාගිනී ප්‍රඥාවද වෙතැ’යි ඒ ප්‍රඥාව හා සම්ප්‍රයුක්ත වූ සමාධියද චතුර්විධ වේ. මෙසේ හානභාගීය ආදී වශයෙන් චතුර්විධ වේ.
පස්වන චතුෂ්කයෙහි කාමවචර සමාධිය, රූපාවචර සමාධිය, අරූපාවචර සමාධිය, අපරියාපන්න සමාධියයි මෙසේ සමාධි සතරෙක් වේ. එහි උපචාර එකග්ගතා සියල්ලම කාමාවචර සමාධි වේ, ඉතිරි තුන රූපාවචරාදී කුශලචිත්තයන් පිළිබඳ ඒකාග්‍රතාවයි. මෙසේ කාමාවචරාදී වශයෙන් චතුර්විධ වේ.
සවන චතුෂ්කයෙහි: ‘ඉදින් භික්‍ෂු තෙමේ ඡන්‍දය අධිපතිකොට සමාධියක්, චිත්තෛකාග්‍රතාවක් ලබන්නේද, මෙය ඡන්‍දසමාධියයි කියනු ලැබේ. -පෙ-වීර්යය අධිපති කොට-පෙ-චිත්තය අධිපතිකොට-පෙ-වීමංසය අධිපති කොට සමාධියක් ලබන්නේද, චිත්තෛකාග්‍රතාවක් ලබන්නේද, මෙය වීමංසාසමාධියයි කියනු ලැබේ’ යයි මෙසේ අධිපති වශයෙන් චතුර්විධ වේ.