රුක්ඛමූලිකඞ්ගකථා
රුක්‍ඛමූලිකංගයද ‘ජන්නං පටික්‍ඛිපාමි, රුක්‍ඛමූලිකඞ්ගං සමාදියාමි’ (සෙවිලි කළ ආවාසය පිළිකෙව් කරමි, රුක්‍ඛමූලිකඞ්ගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.
ඒ රුක්ඛමූලිකයා විසින් දේශසීමාවෙක්හි වූ රුක්ය, ජනයා වැඳුම්පිදුම් කරන රුක්ය, ලහටු ගන්නා රුක්ය, පලගන්නා රුක්ය, වවුලන් වසන රුක්ය, සිදුරු සහිත රුක්ය, විහාරමධ්‍යයෙහි වූ රුක්ය, යන මේවා හැර ප්‍රත්‍යන්තයෙහි පිහිටි රුකක් තෝරාගත යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා රිසි පරිදි රුකක් තෝරාගත් පසු එය හෙළිපෙහෙළිකොට සකස්කරවා ගැනීමට නොලබයි, පයින් කොළ රොඩු ඉවත්කොට විසිය යුතුය. මධ්‍යමයා පැමිණි කෙනකු ලවාම එතැන හෙළිපෙහෙළි කරවා ගැනීමට සුදුසු වේ, මෘදුකයා විසින් විහාරයෙහි වසන සාමණේරයන් කැඳවා පිරිසුදු කරවා, බිම සමකරවා ප්‍රාකාරයකින් වටකරවා දොරක් යොදවාගෙන විසිය යුතුය. ජූජා උත්සව දිනයන්හි රුක්ඛමූලිකයා විසින් එහි නොහිඳ මුවහවූ වෙන ස්ථානයෙක්හි හිඳිය යුතුය.
මේ තිදෙනාගේම ධුතංගය සෙවිලිකළ ගෙයක වාසය කළ කෙණෙහිම බිඳේ. සෙවිලි කළ ගෙයක් තුළ දැන දැන අරුණු නැංවූ කෙණෙහියයි අංගුත්තරභාණකයෝ කියති. මේ මෙහි භේදයයි.
ආනිසංස මෙසේය: ‘රුක්ඛමූල සේනාසනය නිසා පැවිදි බව පවතී’ යයි කී හෙයින් නිස්සයට අනුරූප වූ ප්‍රතිපත්ති ඇතිබවය, ‘අගයෙන් අඩුවූද, සුලබවූද ඒවා නිරවද්‍ය වේ’ යයි භාග්‍යවතුන්වහන්සේ විසින් පසස්නා ලද ප්‍රත්‍යය වීමය, නිරන්තරයෙන් ගස්කොලන් වෙනස්වන අයුරු දැකීමෙන් අනිත්‍ය සංඥාව උපදින බවය, සේනාසන කෙරෙහි මසුරුකම (ගිජු බව) හා නවකම්හි ඇලීමක් නැතිබවය, අල්පේච්ඡතාදී ගුණයන් හා සමග සැසදෙන පැවතුම් ඇති බවය යන මේය.
වණ්ණිතො බුද්ධසෙට්ඨෙන නිස්සයොති’ච භාසිතො
නිවාසො පවිවිත්තස්ස රුක්‍ඛමූලසමො කුතො,
ආවාසමච්ඡෙරහරෙ දෙවතාපරිපාලිතෙ
පවිවිත්තෙ වසන්තො හි රුක්‍ඛමූලම්හි සුබ්බතො,
අභිරත්තානි නීලානි පණ්ඩූනි පතිතානි ච
පස්සන්තො තරුපණ්ණානි නිච්චසඤ්ඤං පනූදති.
තස්මා හි බුද්ධදායජ්ජං භාවනාභිරතාලයං
විචිත්තං නාතිමඤ්ඤෙය්‍ය රුක්‍ඛමූලං විචක්‍ඛණො
බුදුවරයන් විසින් වර්ණනා කරනලද නිශ්‍රයයි කියනලද රුක්‍ඛමූලය හා සමාන වූ නිවෙස්නක් විවේකී ජනයාහට වෙන කොයින්ද?
ආවාස කෙරෙහි මසුරු (ගිජු) බව දුරුකරන, දෙවියන් විසින් ආරක්‍ෂා කරනලද, විවේකී වූ රුක්මුල්හි වසනුයේ, මනාව්‍රත ඇත්තේ,
ඉතා රතුවූද, නිල්වන්වූද, පඬුවන්වූද, බිම වැටුණාවූද තුරුපත් දකිනුයේ නිත්‍ය සංඥාව අත් හරියි.
එහෙයින් නුවණැත්තේ බුදුන්ගෙන් දායාදකොට ලැබුණ භාවනානුයෝගීන්හට නිවෙස්වූ විවේකීවූ රුක්ඛමූලය සුලුකොට නොතකන්නේය.
මේ රුක්ඛමූලිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
අබ්භොකාසිකඞ්ගකථා
අබ්භොකාසිකංගයද ‘ඡන්නඤ්ච රුක්‍ඛමූලඤ්ච පටික්‍ඛිපාමි, අබ්භොකාසිකඞ්ගං සමාදියාමි’ (සෙවිලිකළ ගෙයද, රුක්මුලද පිළිකෙව් කරමි, අබ්හොකාසිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එක් පාඨයෙකින් සමාදන්වීම සිදුවේ.
එම අබ්හොකාසිකයා විසින් වනාහි දහම් ඇසීම පිණිස හෝ පොහෝ කිරීම පිණිස හෝ උපෝසථාගාරයට පිවිසීම වටනේය. එසේ පිවිසි කල වැසි වසී නම් වසිද්දී නොනික්ම වැසි නැවතුණු පසු යායුතුය, බොජුන්හලට හෝ ගිනිහලට පිවිස වත්පිළිවෙත් කිරීමට හෝ, බොජුන්හලෙහි වැඩිමහලු භික්‍ෂූන් බතින් පිළිවිසීමට හෝ, දහම් කියවාදෙන්නහු විසින් හෝ කියවාගන්නහු විසින් සෙවිලි කළ ගෙයක් තුළට පිවිසීම වටී. පිටත නොපිළිවෙළට තබනලද ඇඳ පුටු ආදියක් ඇතුළත තැබවීම පිණිස ගෙයක් තුළට පිවිසීමටද වටී. ඉදින් මග බැස යනවිට වැඩිමහලු භික්‍ෂූන්ගේ පිරිකර ගන්නා ලද නම්, වැසිවසිනවිට අතරමග පිහිටි ශාලාවකට පිවිසීම වටී. ඉදින් කිසිවක් ගෙන නැත්නම්, ශාලාවෙහි සිටිමි’යි යුහුගමනින් නොයායුතුය, පියවි ගමනින් ගොස් පිවිස වැසි නවතින තෙක් සිට යායුතුය. මේ මෙහි පිළිපදනා විධියි. රුක්ඛමූලිකයාහටද මෙම නයයි.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් ගසක් හෝ පර්වතයක් හෝ ගෙයක් ඇසුරුකොට විසීම නොවටී. අභ්‍යවකාශයෙහිම සිවුරු කුටියක් තනාගෙන විසිය යුතුය. මධ්‍යමයා විසින් ගසක්, පර්වතයක් හෝ ගෙයක් ඇසුරුකොට ඇතුළට නොපිවිස වසනු යෝග්‍ය වේ. මෘදුකයාහට දියහිම් නොසුන් (කටාර නොකෙටූ) ගල්ලෙන්ද, කොළ අතු යෙදූ මඩුද, තලප ගැසූ රෙදි (ඉටිරෙදි) ද, කෙත් රක්නවුන් විසින් හැරදමනලද පැල්පත්ද යොදා ගැනීම යෝග්‍ය වේ.
මේ තිදෙනාගේම ධුතංගය, වාසය පිණිස සෙවිලිකළ ගෙයකට හෝ රුක්මුලකට පිවිසි කෙණහිම බිඳේ. දැන දැන එවන් තැනෙක අරුණු නැංවූ පමණෙකිනියි අංගුත්තරභාණකයෝ කියති. මේ මෙහි භේදයයි.
මෙහි ආනිසංස මෙසේය: ආවාස පළිබොධ නැති බවය, ථිනමිද්ධනීවරණ පහවන බවය, ‘භික්‍ෂූහු ඇලුම් නැතිව හැසිරෙන නිවෙස් නැති මුවන් මෙන් විහරණය කෙරෙති’යි යන මේ ප්‍රශංසා වචනයට යෝග්‍යවන බවය, ඇලුම් රහිත බවය, සිවුදිගට සාධාරණ බවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලෝම වූ පැවතුම් ඇති බවය යන මේයි.