අබ්භොකාසිකඞ්ගකථා
අබ්භොකාසිකංගයද ‘ඡන්නඤ්ච රුක්ඛමූලඤ්ච පටික්ඛිපාමි, අබ්භොකාසිකඞ්ගං සමාදියාමි’ (සෙවිලිකළ ගෙයද, රුක්මුලද පිළිකෙව් කරමි, අබ්හොකාසිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එක් පාඨයෙකින් සමාදන්වීම සිදුවේ.
එම අබ්හොකාසිකයා විසින් වනාහි දහම් ඇසීම පිණිස හෝ පොහෝ කිරීම පිණිස හෝ උපෝසථාගාරයට පිවිසීම වටනේය. එසේ පිවිසි කල වැසි වසී නම් වසිද්දී නොනික්ම වැසි නැවතුණු පසු යායුතුය, බොජුන්හලට හෝ ගිනිහලට පිවිස වත්පිළිවෙත් කිරීමට හෝ, බොජුන්හලෙහි වැඩිමහලු භික්ෂූන් බතින් පිළිවිසීමට හෝ, දහම් කියවාදෙන්නහු විසින් හෝ කියවාගන්නහු විසින් සෙවිලි කළ ගෙයක් තුළට පිවිසීම වටී. පිටත නොපිළිවෙළට තබනලද ඇඳ පුටු ආදියක් ඇතුළත තැබවීම පිණිස ගෙයක් තුළට පිවිසීමටද වටී. ඉදින් මග බැස යනවිට වැඩිමහලු භික්ෂූන්ගේ පිරිකර ගන්නා ලද නම්, වැසිවසිනවිට අතරමග පිහිටි ශාලාවකට පිවිසීම වටී. ඉදින් කිසිවක් ගෙන නැත්නම්, ශාලාවෙහි සිටිමි’යි යුහුගමනින් නොයායුතුය, පියවි ගමනින් ගොස් පිවිස වැසි නවතින තෙක් සිට යායුතුය. මේ මෙහි පිළිපදනා විධියි. රුක්ඛමූලිකයාහටද මෙම නයයි.
ප්රභේද වශයෙන් වනාහි මොහුද ත්රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් ගසක් හෝ පර්වතයක් හෝ ගෙයක් ඇසුරුකොට විසීම නොවටී. අභ්යවකාශයෙහිම සිවුරු කුටියක් තනාගෙන විසිය යුතුය. මධ්යමයා විසින් ගසක්, පර්වතයක් හෝ ගෙයක් ඇසුරුකොට ඇතුළට නොපිවිස වසනු යෝග්ය වේ. මෘදුකයාහට දියහිම් නොසුන් (කටාර නොකෙටූ) ගල්ලෙන්ද, කොළ අතු යෙදූ මඩුද, තලප ගැසූ රෙදි (ඉටිරෙදි) ද, කෙත් රක්නවුන් විසින් හැරදමනලද පැල්පත්ද යොදා ගැනීම යෝග්ය වේ.
මේ තිදෙනාගේම ධුතංගය, වාසය පිණිස සෙවිලිකළ ගෙයකට හෝ රුක්මුලකට පිවිසි කෙණහිම බිඳේ. දැන දැන එවන් තැනෙක අරුණු නැංවූ පමණෙකිනියි අංගුත්තරභාණකයෝ කියති. මේ මෙහි භේදයයි.
මෙහි ආනිසංස මෙසේය: ආවාස පළිබොධ නැති බවය, ථිනමිද්ධනීවරණ පහවන බවය, ‘භික්ෂූහු ඇලුම් නැතිව හැසිරෙන නිවෙස් නැති මුවන් මෙන් විහරණය කෙරෙති’යි යන මේ ප්රශංසා වචනයට යෝග්යවන බවය, ඇලුම් රහිත බවය, සිවුදිගට සාධාරණ බවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලෝම වූ පැවතුම් ඇති බවය යන මේයි.
අනගාරිකභාවස්ස අනුරූපෙ අදුල්ලභෙ
තාරාමණිවිතානම්හි චන්දදීපප්පභාසිතෙ
තාරාමණිවිතානම්හි චන්දදීපප්පභාසිතෙ
අබ්භොකාසෙ වසං භික්ඛු මිගභූතෙන චෙතසා
ථිනමිද්ධං විනොදෙත්වා භාවනාරාමතං සිතො
ථිනමිද්ධං විනොදෙත්වා භාවනාරාමතං සිතො
පවිවේකරසස්සාදං න චිරස්සෙව වින්දති
යස්මා තස්මා හි සප්පඤ්ඤො අබ්හොකාසෙ රතො සියා
යස්මා තස්මා හි සප්පඤ්ඤො අබ්හොකාසෙ රතො සියා
අනගාරිකභාවයට යෝග්ය වූ, දුර්ලභ නොවූ, තරු නමැති මිණියෙන් යුත් වියන් ඇති, සඳ නමැති පහනින් ආලෝකවත්වූ,
අභ්යවකාශයෙහි සිතින් මුවකු බවට පත්ව වසන භික්ෂුතෙමේ ථිනමිද්ධය පහකොට භාවනායෝගයෙහි යෙදුණේ,
යම්හෙයකින් නොබෝකලකින්ම විශිෂ්ට විවේකරසාස්වාදය විඳින්නේද, එහෙයින් නුවණැත්තේ අභ්යවකාශයෙහි ඇලුනෙක් වන්නේය.
මේ අබ්භොකාසිකංගයෙහි සමාදාන-විධාන-ප්රභේද-භේද ආනිශංසයන් පිළිබඳ වර්ණනායි.
සොසානිකඞ්ගකථා
සොසානිකංගයද, ‘න සුසානං පටික්ඛිපාමි, සොසානිකඞ්ගං සමාදියාමි’ (සොහොන් නොවන තන්හි විසීම පිළිකෙව් කරමි, සොසානිකංගය සමාදන්වෙමි) යන මේ දෙපාඨයෙන් එකෙකින් සමාදන්වීම සිදුවේ.
ඒ සෝසානිකයා විසින්, මිනිසුන් ගමක් පිහිටුවා ‘මේ සොහොනය’යි වෙන්කළ පමණින් එය සොහොනැයි ගෙන නොවිසිය යුතුය. මළ සිරුරක් දවා නැතිනම් එය සොහොනක් නම් නොවේ. දවනලද තැන් පටන්, ඉදින් දොළොස් හවුරුද්දක් හැරදමන ලදුයේ නමුදු එය සොහොනක්ම වේ.
එහි වෙසෙන්නහු විසින් සක්මන්මලු මණ්ඩප ආදිය තනවා, ඇඳ පුටු ආදිය පනවා, කෑම් බීම් එළවාගෙන දහම් දෙසමින් නොවිසිය යුතුය. මේ වනාහි ගරුක වූ ධූතංගයකි. එහෙයින් උපන් උවදුරු නසනු පිණිස ගණදෙටු තෙරුන්හට හෝ රජු විසින් පත්කොට ඇති නිලධාරීන්හට දන්වා ප්රමාදයෙන් තොරව විසිය යුතුය. සක්මන් කරමින් ඔබ මොබ යනවිට අඩනෙතින් සොහොන බලබලා සක්මන් කළයුතුය.
සොහොනට යන කල්හිද මහමග බැස නොගොස් අප්රකට අතුරු මඟෙකින් යා යුතුය. දහවල්හි මං සලකුණු නිශ්චය කළයුතුය, මෙසේ රැයෙහිදී එම සලකුණු ඔහුට බිය උපදවන්නේ නොවේ. මෙසේ රැයෙහිදී අමනුෂ්යයන් හඬ හඬා ඇවිදිතත් ඔවුනට කිසිවකින් නොගැසිය යුතුය. එක් දිනයකුදු සොහොනට නොගොස් සිටිනු නොවටනේය. මැදියම සොහොනෙහි ගෙවා අළුයම පෙරළා යනු වටීයයි අංගුත්තරභාණකයෝ කියති. අමනුෂ්යයනට ප්රිය වූ තල, පිටි, උඳුබත්, මත්ස්යමාංස, කිරි, තෙල්, සකුරු ආදී කැවිලි පෙවිලි නොගතයුතුය, කුල ගෙවලට නොපිවිසිය යුතුය, යන මේ මෙහි පිළිපදනා විධියි.
ප්රභේද වශයෙන් මොහුද ත්රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් නිරතුරු දැවීම්, නිරතුරු මළ සිරුරු දැමීම්, නිරතුරු හැඬීම් වැලපීම් ඇති තැනෙකම විසිය යුතුය. මධ්යමයාහට මේ තුනෙන් එකක් හෝ ඇති තැනක් සුදුසු වේ. මෘදුකයාහට කියනලද නයින් සොහොන් ලකුණු පමණක් ඇති තැනක් වුවද සෑහේ.
මේ තිදෙනාගේම ධුතංගය නොසොහොන් තැනෙක විසීමෙන් බිඳේ. සොහොනට නොගොස් සිටි දවස්හියයි අංගුත්තර භාණකයෝ කියති. මේ මෙහි භේදයයි.
ආනිසංස වනාහි මෙසේයි: මරණය පිළිබඳ සිහිය ලැබෙන බවය, අප්රමාද විහරණ ඇතිබවය, අසුභ නිමිති පිළිබඳ අවබෝධය ලැබෙන බවය, කාමරාගය පහවීමය, නිරතුරුව කයෙහි ස්වභාවය දක්නට ලැබීමය, සංවේග බහුල බවය, ආරෝග්යමද ආදිය පහවන බවය, බිය බියකරු දෙය ඉවසිය හැකි බවය, අන්යයන්ගේ ගෞරව සම්මානයට භාජනවන බවය, අල්පේච්ඡතාදියට අනුරූප පැවතුම් ඇති බවය යන මේයි.