සොසානිකඞ්ගකථා
සොසානිකංගයද, ‘න සුසානං පටික්‍ඛිපාමි, සොසානිකඞ්ගං සමාදියාමි’ (සොහොන් නොවන තන්හි විසීම පිළිකෙව් කරමි, සොසානිකංගය සමාදන්වෙමි) යන මේ දෙපාඨයෙන් එකෙකින් සමාදන්වීම සිදුවේ.
ඒ සෝසානිකයා විසින්, මිනිසුන් ගමක් පිහිටුවා ‘මේ සොහොනය’යි වෙන්කළ පමණින් එය සොහොනැයි ගෙන නොවිසිය යුතුය. මළ සිරුරක් දවා නැතිනම් එය සොහොනක් නම් නොවේ. දවනලද තැන් පටන්, ඉදින් දොළොස් හවුරුද්දක් හැරදමන ලදුයේ නමුදු එය සොහොනක්ම වේ.
එහි වෙසෙන්නහු විසින් සක්මන්මලු මණ්ඩප ආදිය තනවා, ඇඳ පුටු ආදිය පනවා, කෑම් බීම් එළවාගෙන දහම් දෙසමින් නොවිසිය යුතුය. මේ වනාහි ගරුක වූ ධූතංගයකි. එහෙයින් උපන් උවදුරු නසනු පිණිස ගණදෙටු තෙරුන්හට හෝ රජු විසින් පත්කොට ඇති නිලධාරීන්හට දන්වා ප්‍රමාදයෙන් තොරව විසිය යුතුය. සක්මන් කරමින් ඔබ මොබ යනවිට අඩනෙතින් සොහොන බලබලා සක්මන් කළයුතුය.
සොහොනට යන කල්හිද මහමග බැස නොගොස් අප්‍රකට අතුරු මඟෙකින් යා යුතුය. දහවල්හි මං සලකුණු නිශ්චය කළයුතුය, මෙසේ රැයෙහිදී එම සලකුණු ඔහුට බිය උපදවන්නේ නොවේ. මෙසේ රැයෙහිදී අමනුෂ්‍යයන් හඬ හඬා ඇවිදිතත් ඔවුනට කිසිවකින් නොගැසිය යුතුය. එක් දිනයකුදු සොහොනට නොගොස් සිටිනු නොවටනේය. මැදියම සොහොනෙහි ගෙවා අළුයම පෙරළා යනු වටීයයි අංගුත්තරභාණකයෝ කියති. අමනුෂ්‍යයනට ප්‍රිය වූ තල, පිටි, උඳුබත්, මත්ස්‍යමාංස, කිරි, තෙල්, සකුරු ආදී කැවිලි පෙවිලි නොගතයුතුය, කුල ගෙවලට නොපිවිසිය යුතුය, යන මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් නිරතුරු දැවීම්, නිරතුරු මළ සිරුරු දැමීම්, නිරතුරු හැඬීම් වැලපීම් ඇති තැනෙකම විසිය යුතුය. මධ්‍යමයාහට මේ තුනෙන් එකක් හෝ ඇති තැනක් සුදුසු වේ. මෘදුකයාහට කියනලද නයින් සොහොන් ලකුණු පමණක් ඇති තැනක් වුවද සෑහේ.
මේ තිදෙනාගේම ධුතංගය නොසොහොන් තැනෙක විසීමෙන් බිඳේ. සොහොනට නොගොස් සිටි දවස්හියයි අංගුත්තර භාණකයෝ කියති. මේ මෙහි භේදයයි.
ආනිසංස වනාහි මෙසේයි: මරණය පිළිබඳ සිහිය ලැබෙන බවය, අප්‍රමාද විහරණ ඇතිබවය, අසුභ නිමිති පිළිබඳ අවබෝධය ලැබෙන බවය, කාමරාගය පහවීමය, නිරතුරුව කයෙහි ස්වභාවය දක්නට ලැබීමය, සංවේග බහුල බවය, ආරෝග්‍යමද ආදිය පහවන බවය, බිය බියකරු දෙය ඉවසිය හැකි බවය, අන්‍යයන්ගේ ගෞරව සම්මානයට භාජනවන බවය, අල්පේච්ඡතාදියට අනුරූප පැවතුම් ඇති බවය යන මේයි.
සොසානිකඤ්හි මරණානුසතිප්පභාවා
නිද්දාගතම්පි න ඵුසන්ති පමාදදොසා
සම්පස්සතො ච කුණපානි බහූනි තස්ස
කාමානුරාගවසගම්පි න හොති චිත්තං
සංවෙගමෙති විපුලං න මදං උපෙති
සම්මා අථො නිබ්බුතිමෙසමානො
සොසානිකඞ්ගමිති නෙකගුණාවහත්තා
නිබ්බාණනින්නහදයෙන නිසෙවිතබ්බන්ති
නිද්‍රාගතවුවත් ඒ සෝසානිකයාහට ප්‍රමාද දෝෂයෝ සිද්ධ නොවෙති. බොහෝ මළ සිරුරු දක්නා ඔහුගේ සිත කාමරාගයෙහි වසඟයට නොයන්නේය.
(සෝසානික තෙමේ) නොමඳ සංවේගයට පත් වනුයේ (මාන) මදයට නොපැමිණෙන්නේය, තවද මැනවින් නිවන් සොයමින් (සම්‍යග්ව්‍යායාමයෙහි) යෙදෙන්නේය, මෙසේ නොයෙක් ගුණ ගෙනදෙන හෙයින් නිවණට නැඹුරු හදවත් ඇත්තහු විසින් සෝසානිකංගය වෙසෙසින් සේවනය කටයුතුය.
මේ සෝසානිකාංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
යථාසන්ථතිකඞ්ගකථා
යථාසන්‍ථතිකංගයද ‘සේනාසනලොලුප්පං පටික්‍ඛිපාමි, යථාසන්‍ථතිකඞ්ගං සමාදියාමි’ (සෙනසුන් කෙරෙහි ලොල් බව පිළිකෙව් කරමි, යථාසන්‍ථතිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එකකින් සමාදන් වීම සිද්ධ වේ.
එම යථාසන්‍ථතිකයා විසින් තමාහට යම් සෙනසුනක් ‘මෙය ඔබට පැවරේය’යි පමුණුවන ලද නම් එයින්ම තෘප්ත වියයුතුය. අනෙකකු නොනැගිටවිය යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ට තෙමේ තමාහට පැමිණි සේනාසනය දුරද? ඉතා ළඟද? අමනුෂ්‍ය සර්ප ආදීන්ගෙන් උපද්‍රව ඇත්ද? උණුසුම්ද? සිහිල්දැ’යි විමසන්නට නොහැකි වේ, මධ්‍යම තෙමේ විමසන්නට හැකිවේ, එහෙත් ගොස් බලන්නට නොහැකි වේ. මෘදුක තෙමේ තමාට නොරිසි නම් අනෙකක් ගන්නට හැකිවේ.
මේ තිදෙනාගේම ධුතංගය සෙනසුන් කෙරෙහි ලොල්බවක් උපන් කෙණෙහිම බිඳේ. මේ මෙහි භේදයයි.
ආනිසංස මෙසේයි: ‘යමක් ලැබිණි නම්, එයින් සතුටු වියයුතුය’ යන අවවාදය පිළිපදනා බවය, සබ්‍රම්සරුන් කෙරෙහි හිත කැමති බවය, හීනය ප්‍රණීතය යන විකල්පය අත් හැරීමය, වාදවිවාදයෙන් වැලකීමය, අතීච්ඡතාවට දොර වැසීමය, අල්පේච්ඡතාදියට අනුකුල පැවතුම් ඇතිබවය යන මේයි.
යං ලද්ධං තෙන සන්තුට්ඨො යථාසන්‍ථතිකො යති
නිබ්බකප්පො සුඛං සෙති තිණසන්‍ථරකෙසු පි.
න සො රජ්ජති සෙට්ඨම්හි හීනං ලද්ධා න කුප්පති
සබ්‍රහ්මචාරීනවකෙ හිතෙන අනුකම්පති.
තස්මාරියසතාචිණ්ණං මුනිපුංගවවණ්ණිතං
අනුයුඤ්ජෙථ මෙධාවී යථාසන්‍ථතරාමතං.
යථා සන්‍ථතික භික්‍ෂු තෙමේ ලද දෙයින් සතුටුවූයේ විකල්ප පිළිබඳ අපේක්‍ෂා රහිත වූයේ තණ ඇතිරිවල පවා සුවසේ හෝනේය. හේ තෙමේ ප්‍රණීත දෙය කෙරෙහි නොඇලේ, හීනවූ යමක් ලැබ නොකිපේ, නවක සබ්‍රම්සරුන් කෙරෙහි හිතවත්ව අනුකම්පා කරයි.
එහෙයින් නුවණැත්තේ සියගණන් ආර්යයන් විසින් පුරුදු කරනලද, මුනි (පුංගවවූ) උතුමන් විසින් වර්ණනා කරන ලද යථාසන්‍ථතිකංගයෙහි යෙදෙන්නේය.
මේ යථාසන්‍ථතිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද- ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
නෙසජ්ජිකඞ්ගකථා
නෙසජ්ජිකංගයද ‘සෙය්‍යං පටික්‍ඛිපාමි, නෙසජ්ජිකඞ්ගං සමාදියාමි’ (වැතිරීමේ ඉරියව්ව පිළිකෙව් කරමි. නේසජ්ජිකංගය සමාදන්වෙමි) යන මේ දෙපාඨයෙන් එකෙකින් සමාදන් වීම සිදුවේ.
ඒ නේසජ්ජික යතිවරයා විසින් රාත්‍රියෙහි තුන් යමින් එක් යමක් නැගිට සක්මන් කළයුතුය. ඉරියව් අතුරින් වැදහෙවීම පමණක් නොවටී. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද, ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයාහට පිටි ඇඳි සහිත අසුන් හෝ, පිළීයෙන් කළ අකවටු (දෙදණ හා ඉඟටිය වටා ඔතා ගෙන හිඳීම) හෝ ආයොගපට්ට නම් එල්ලී හිදිනු සඳහා යොදාගනු ලබන පටි හෝ යෝග්‍ය නොවේ. මධ්‍යමයාහට මේ තුනෙන් එකක් පමණක් යෝග්‍ය වේ. මෘදුකයාහට වනාහි පිටි ඇඳිද, පිළියෙන් කළ අකවටුද, එල්ලී හිදින පටිද, මෙට්ටද පසඟින් යුත් පුටුද, සතඟින් යුත් පුටුද යෝග්‍ය වේ. පසඟපුටු නම් පිටි ඇන්දක් සහිත පාසතරක් ඇති පුටුය. සතඟපුටු නම් පිටි ඇන්දක් හා දෑල ඇඳි සහිත පුටුය. එම සතඟපුටුව පිඨාභය තෙරුන් උදෙසා කළාහුය. තෙරණුවෝ අනාගාමීව පිරිනිවියහ.