2. ධුතාංග නිර්දේශය
ඉක්බිති අපිස්බව, සතොස්බව ආදී යම් ගුණයන් කරණකොට කියනලද ප්රකාර ඇති ශීලයෙහි පිරිසුදුබව ඇති වේනම්, එම ගුණයන්ගේ සම්පාදනය පිණිස, සිල් සමාදන්වූ යෝගාවචරයා විසින් ධුතාංග සමාදානය කළයුතු වේ. මෙසේ අපිස්බව, සතොස්බව, කෙලෙස් තුනීවීම, කෙලෙසුන්ගෙන් දුරුවීම, කෙලෙසුන්ගෙන් වෙන්වීම, වීර්යාරම්භය, සුභරතාව (පහසුවෙන් පෝෂණය කළහැකිබව) ආදී ගුණ නමැති ජලයෙන් සෝදාහළ මල ඇති යෝගාවචරයාගේ ශීලයද සුපිරිසුදු වන්නේය; ව්රතයෝද සම්පාදිත වන්නාහුය. මෙසේ නිරවද්ය වූ ශීලව්රත ගුණයෙන් පිරිසුදුවූ සමාචාර ඇතිව, පළමුකොට පිහිටියයුතු (චීවරසන්තුට්ඨි, පිණ්ඩපාත සන්තුට්ඨි, සේනාසනසන්තුට්ඨි යන) ආර්යවංශ ගුණයන්හි පිහිටා භාවනාවෙහි නියැලීම නම් සිවුවෙනි ආර්යවංශ ගුණය පිළිබඳ අධිගමයට සුදුස්සෙක් වන්නේය. එහෙයින් ධුතාංගකථා ආරම්භ කරමු:
භාග්යවතුන්වහන්සේ විසින් ලෞකික ආමිෂයන් අත්හළ, කය හෝ ජීවිතය පිළිබඳ අපේක්ෂා රහිත, අනුලෝම ප්රතිපදාවම පුරනු කැමති, කුලපුතුන්හට ධුතාංගයන් තෙළෙසක් අනුමත කොට ඇත. එනම්: පංසුකූලිකංගය, තෙචීවරිකංගය, පිණ්ඩපාතිකාංගය, සපදානචාරිකංගය, ඒකාසනිකංගය, පත්තපිණ්ඩිකංගය, ඛලුපච්ඡාභත්තිකංගය, අරඤ්ඤිකංගය, රුක්ඛමූලිකංගය, අබ්භොකාසිකංගය, සොසානිකාංගය, යථාසන්ථතිකාංගය, නෙසජ්ජිකංගයයි යන මේවායි. එහි,
අත්ථතො ලක්ඛණාදීහි සමාදානවිධානතො
පභෙදතො භෙදතො ච තස්ස තස්සානිසංසතො
පභෙදතො භෙදතො ච තස්ස තස්සානිසංසතො
කුසලත්තිකතො චෙව ධුතාදීනං විභාගතො
සමාසව්යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො
සමාසව්යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො
වචනාර්ත්ථ වශයෙන්ද, ලක්ෂණාදීන්ගේ වශයෙන්ද, සමාදන් වන ආකාර වශයෙන්ද, පිළිපදනා විධිවශයෙන්ද, ප්රභේදවිභාග වශයෙන්ද, භේදය සිදුවන ආකාර වශයෙන්ද, ඒ ඒ ධුතාංගය පිළිබඳ ආනිසංස වශයෙන්ද, කුශලාදී ත්රික වශයෙන්ද, ධුතාදිය පිළිබඳ විභාග වශයෙන්ද සමස්ත වශයෙන් හා ප්රත්යෙක (වෙන්වෙන්) වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුය.
එහි පළමුකොට වචනාර්ත්ථ වශයෙන් විනිශ්චය මෙසේය: වීදි, සොහොන් බිම්, කසලගොඩ ආදී කිසි තැනක පස්වලින් උඩට මතුවී වැටිලෙසින් සිටි හෙයින් පංසුකුල නමි; නොහොත්, පස්මෙන් අවමන්කළයුතු බවට යෙතියි පංසුකූල නමි; මෙලෙසින් ලද අරුත් ඇති පංසුකූලය දැරීමද පංසුකූල නමි; පංසුකූලය දැරීම මොහුගේ ස්වභාවය වෙති’යි පංසුකූලික නමි; පංසුකූලිකයාගේ අංගය පංසුකූලිකංගයයි. අංග යනුවෙන් පැවසෙනුයේ කාරණයයි, එහෙයින් යම් අංගයක් සමාදන්වීමෙන් පංසුකූලික නම් වේද, එම අංගයට මේ අධිවචනයයි දතයුතුය.
මේ නයින්ම සඟල සිවුරය, පොරෝනා සිවුරය, අඳනකඩය යන තුන් සිවුරු පමණක් දැරීම මොහුගේ ස්වභාවය වෙතියි තෙචීවරිකයාගේ අංගය තෙචීවරිකාංගයයි.
භික්ෂා යයි කියනු ලබන අහර පිඬුවල පාතය හෙවත් රැස්වීම පිණ්ඩපාත නමි, අනුන් විසින් දෙනලද අහරපිඬු පාත්රය තුළ එකතුවීම’යි කී නියායි. එම පිණ්ඩපාත භෝජනය එකතු කෙරෙති’යි, ගෙයක් ගෙයක් පාසා යමින් සොයති’යි පිණ්ඩපාතික නමි, පිඬු පිණිස හැසිරීම මොහුගේ ස්වභාවය වෙති’යි හෝ ‘පිණ්ඩපාතී’ නමි. පතිතුං යනු හැසිරෙනු පිණිසයි. ‘පිණ්ඩපාතී’ යනුම ‘පිණ්ඩපාතික’ නම් වේ, පිණ්ඩපාතිකයාගේ අංගය පිණ්ඩපාතිකංගයයි.
‘දාන’ යනු සිඳීමයයි කියනු ලැබේ, දානයෙන් ඉවත්වූයේ අපදානයි, අපදාන සහිතවූයේ සපදානයි - සිදීමක් නැතිව, අතරක් නැතිව ගෙපිළිවෙළිනියි කී නියායි, සපදානයෙහි හැසිරීම මොහුගේ ස්වභාවය වෙති’යි සපදානචාරී නමි, සපදානචාරී යනුම සපදානචාරිකයි, ඔහුගේ අංගය සපදානචාරිකංග නමි.
එක් අස්නෙක හිඳ බිදීම එකාසන නමි, එය මොහුගේ ස්වභාවය වෙතියි, ඒකාසනික නමි, ඔහුගේ අංගය ඒකාසනිකංග නමි,
දෙවන බඳුනක් පිළිකෙව් කරන හෙයින් හුදෙක් එක්ම පාත්රයක ඇති පිඬු පත්තපිණ්ඩ නමි, පාත්රයෙන් පිඬු ගැනීම පත්තපිණ්ඩයයි නම් කොට, පත්තපිණ්ඩය ඔහුගේ ස්වභාවය වෙති’යි පත්තපිණ්ඩික නමි ඔහුගේ අංගය පත්තපිණ්ඩිකංග නමි,
ඛලු යනු ප්රතිශෙධනාර්ත්ථයෙහි නිපාතයකි. අහර කිස නිමවීමෙන් පසු ලද අහර පච්ඡාභත්ත නමි, පච්ඡාභත්තය වැළදීම පච්ඡාභත්තභෝජන නමි. එම පච්ඡාභත්තභෝජනය පච්ඡාභත්තයයි ගෙන පච්ඡාභත්තය මොහුගේ ස්වභාවය වෙති’යි පච්ඡාභත්තික නමි පච්ඡාභත්තික නොවනුයේ ඛලු පච්ඡාභත්තික නමි; සමාදන්වීමෙන් ප්රතික්ෂිප්ත අතිරේක භෝජනයට මේ නමකි. අටුවාවෙහි වනාහි ‘ඛලු’ යනු එක්තරා පක්ෂියෙකි, උහු මුවින් ගත් ඵලයක් ගිලිහුණහොත් යළි අනෙකක් නොගනියි. මොහු එවැන්නෙකි’යි ඛලුපච්ඡාභත්තික නමි, ඔහුගේ අංගය ඛලුපච්ඡාභත්තිකංග නම් වේ.
අරණ්යයෙහි විසීම මොහුගේ ස්වභාවය වෙති’යි ආරඤ්ඤික නමි, ඔහුගේ අංගය ආරඤ්ඤිකංග නමි.
රුක්මුල්හි විසීම රුක්ඛමූල නමි, එය මොහුගේ ස්වභාවය වෙති’යි රුක්ඛමූලික නමි, රුක්ඛමූලිකයාගේ අංගය රුක්ඛමූලිකංග නමි. අබ්භොකාසික, සොසානික අංගයන් පිළිබඳවද මෙම නයයි.
යම් සෙනසුනක් පමුණුවන ලද්දේ ද එය ‘යථාසන්ථත’ නමි, මෙය ඔබට පැවරේය’යි පළමුකොට පමුණුවන ලද සෙනසුනට මේ අධිවචනයි, එම යථාසන්ථත සෙනසුනෙහි විසීම මොහුගේ ස්වභාවය වෙති’යි යථාසන්ථතික නමි, ඔහුගේ අංගය යථාසන්ථතිකංග නමි.
වැද හෙවීම (වැතිරීම) පිළිකෙව් කොට හිඳීම් පමණෙකින් විහරණය කිරීම මොහුගේ ස්වභාවය වෙති’යි නේසජ්ජික නමි, ඔහුගේ අංගය නෙසජ්ජිකංග නමි.