පංසුකූලිකඞ්ගකථා
ඉක්බිති එක් එක් ධුතංගය පිළිබඳ සමාදාන-විධාන-ප්රභේද-භේද ආනිසංසයන් විස්තර කරම්හ. පළමුකොට පංසුකූලිකංගයයි: ගහපතිදානචීවරං පටික්ඛපාමි, පංසුකූලිකඞ්ගං සමාදියාමි (ගෘහස්ථ දායකයන් විසින් දෙනු ලබන සිවුරු පිළිකෙව් කරමි, පංසුකූලිකාංගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදන් වියයුතුය. මෙහි පළමුකොට දක්වන ලද්දේ මෙය සමාදන්වන ආකාරයයි.
මෙසේ මේ ධුතංගය සමාදන් වූවහු විසින් සොහොනෙහි හළ පිළීය, අවන්දොර ඉවත දැමූ පිළීය, වීදියෙහි හළ පිළීය, කසලගොඩෙහි දැමූ පිළීය, වැදූ ගෙයින් ඉවත දමා පිළීය, ආතුරයන් නහවා ඉවත දමා පිළිය, නහන තොටෙහි හළ පිළීය, සොහොනට ගියවුන් පෙරළා අවුත් නහා ඉවත දැමූ පිළීය, ගින්නෙන් දැවුණු පිළීය, ගවයන් කෑ පිළීය, වේයන් කෑ පිළීය, මීයන් කෑ පිළීය, කොණකින් ඉරුණු පිළීය, වාටියෙන් ඉරුණු පිළීය, නැව්වල කොඩි පිණිස ගෙනා පිළීය, බිලියම් පිණිස තුඹස් වටා එතූ පිළීය, පැවිද්දන් පොරවා ඉවත දැමූ පිළීය, අභිෂේකයෙහිදී ඉවත දැමූ පිළීය, ඒහිභික්ෂූභාවයෙන් ලත් පිළීය, මහමග දැමූ පිළීය, සුළඟට ගසා ආ පිළීය, දෙවියන් දුන් පිළීය, මුහුදු රළපහරට ගසා ආ පිළීය, යන මෙතෙක් දෑ අතුරෙන් එක්තරා රෙදිකඩක් ගෙන, කැබලිවලට කපා දිරාපත් තැන් ඇතොත් වෙන් කොට, සවි ඇති කොටස් ගෙන, සෝදා සිවුරු කොට දායකයන් දුන් පැරණි සිවුරු ඉවත තබා පරිභෝග කළ යුතුය.
එහි සොසානික නම් සොහොනෙහි හළ පිළීය, පාපණික නම් අවන්දොර වැටුණු පිළීය, රථියචොළ නම් පින් කැමැත්තවුන් විසින් කවුළු දොරින් වීදියට හෙළු පිළීය, සඞ්කාරචොළ නම් කසල ගොඩට දැමූ පිළීය, සොත්ථිය නම් ගබ්මල පිස ඉවත දැමූ පිළීය. තිස්ස නම් ඇමතියාගේ මව් තොමෝ සියයක් අගනා වස්ත්රයෙකින් ගබ්මල පිස දමවා පංසුකූලිකයෝ ගන්නාහුයයි කාළවේලි මාර්ගයෙහි ඉවත දමවා ලීය. භික්ෂූහු දිරාපත් තැන් පිළිසකර පිණිස එය ගනිති. නහානචොළ නම් යකැදුරන් විසින් ආතුරයන් හිස පටන් නහවනු ලැබීමෙන් පසු කාලකණ්ණි වස්ත්රයයි හැරදමා ගිය පිළීය,
තිත්ථචොළ නම් නහනතොටෙහි හැරදමා ගිය පිළීය, ගතපච්චාගත නම් මිනිසුන් සොහොන්බිමට ගොස් පෙරළා අවුත් නහා හැරදැමූ පිළීය. අග්ගිදඩ්ඪ නම් ගින්නෙන් දා ගොස් මිනිසුන් ඉවත දැමූ වස්ත්රයි, ගොඛායිත යන ආදිය පැහැදිලිය, එවන් පිළීද මිනිස්සු ඉවත දමති. ධජාහට නම්, නැව් නගින්නෝ කොඩියක් බැඳ දමා නගිති, එය ඔවුනට පෙනෙන මානය ඉකුත්වූ පසු ගනු වටී, එසේම යුදබිමෙහි බැඳි ධ්වජයක් දෙසෙනඟම බැහැර ගිය කල ගනු වටී,
ථූපචීවර නම් තුඹස් වටා ඔතා බිලියම් කළ පිළිය. සමණචීවර නම් භික්ෂූන් සතු සිවුරය, ආභිසෙකික නම් රජුන් අභිෂේක කළ ස්ථානයෙහි හැර දමා වස්ත්රයි, ඉද්ධිමය නම් ඒහිභික්ෂුභාවයෙන් ලද සිවුරුයි, පන්ථික නම් හිමියන් විසින් සිහි මඳව අතරමග හලා ගිය වස්ත්රයි, එය මඳ කලක් රකිමින් සිට ගනු වටී, වාතාහත නම් සුළඟට ගසා ගොස් ඈත වැටුණු පිළීය, හිමියන් දක්නට නැතොත් එය ගනු වටී, දෙවදත්තිය නම් අනුරුද්ධ තෙරුන්හට මෙන් දෙවියන් දුන් වස්ත්රය, සාමුද්දිය නම් මුහුදු රළට ගසා අවුත් ගොඩටවන් පිළීය.
‘සඞ්ඝස්ස දෙම’යි කියා දෙන ලද වස්ත්ර හෝ චීවර භික්ෂාවෙහි හැසිරීමෙන් ලද වස්ත්ර හෝ පාංසුකූල නොවේ. භික්ෂූන් විසින් දෙන ලද්දේ වුවද, යම් චීවරයක් වස් අවසන්හි පවරා දෙන ලද්දේ නම් හෝ සෙනසුනෙහි භික්ෂූන් උදෙසා දෙන ලද්දේ නම් හෝ එය පංසුකූල නොවේ. (සඞ්ඝස්ස දෙම යයි) නොපවරා දෙන ලද්දේම පංසුකුල වේ. එහිද යම් සිවුරක් දායකයන් විසින් භික්ෂුවකගේ පාමුල තබා එම භික්ෂුව විසින් පංසුකුලික භික්ෂුවකගේ අත්හි තබා දෙන ලද්දේ නම් එය ‘එකතොසුද්ධික’ (එක් පසෙකින් පිරිසුදු) නමි, යම් සිවුරක් භික්ෂුවකගේ අත්හි තබා දෙනලදුව, එම භික්ෂුව විසින් (පංසුකූලික භික්ෂුවකගේ) පාමුල තබන ලද්දේ නම් එයද ‘එකතොසුද්ධික’ නමි, යම් සිවුරක් භික්ෂුවකගේ පාමුල තබන ලදුව එම භික්ෂුව විසින් එසේම පාමුල තබා දෙන ලද්දේ නම් එය ‘උභතොසුද්ධික’ (දෙපසින්ම පිරිසුදු) නමි, යම් සිවුරක් අත්හි තබා දෙනලදුව අත්හිම තබන ලද්දේ නම් එය ‘අනුක්කට්ඨ’ (උත්කෘෂ්ට නොවූ) චීවර’ නම් වේ. මෙසේ මේ පංසුකූල ප්රභේදයන් දැන පංසුකුලිකයා විසින් සිවුරු පරිභෝගය කළ යුතුය යන මේ මෙහි පිළිපදනා විධියි.