තෙචීවරිකඞ්ගකථා
ඉක්බිති, තෙචිවරිකංගයයි. ‘චතුත්ථකචීවරං පටික්ඛපාමි, තෙචීවරිකඞ්ගං සමාදියාමි’ (සිවුවන සිවුරක් පිළිකෙව් කරමි, තෙචීවරිකාංගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එක් පාඨයකින් එය සමාදන් වේ.
එම තෙචීවරිකයා (තුන්සිවුරු පමණක් දරන්නා) විසින් සිවුරු පිණිස රෙදි කඩක් ලැබ අපහසු කමෙකින් සිවුරු මසා ගැනීමට යම්තාක් නොහැකිවේද, නොහොත් සිවුරු කරන්නට දත් කෙනෙකු යම්තාක් නොලැබේද, නැතහොත් ඉදිකටු ආදී යම් කිසිවක් සපයාගැනීමට යම්තාක් නොහැකිවේද, ඒතාක් එම වස්ත්‍රය තමා ළඟ තබාගත හැකිය. එසේ තබාගැනීමෙහි දොසෙක් නැත. පඬු ගැන්වූ තැන් සිට එසේ ළඟ තබාගැනීම නොවටී, ධුතංගචොරයෙකු බවට පත්වේ. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් පඬුගන්වන අවස්ථාවෙහිදී පළමුකොට අඳනය හෝ පොරෝනය හෝ පඬුගන්වා හැඳ අනික පඬු ගැන්විය යුතුය. එය පෙරවාගෙන සඟළ සිවුර පඬුගැන්විය යුතුය. සඟළසිවුර හැඳීම නොවටී. මේ ඔහු විසින් ග්‍රාමාන්ත සේනාසනයෙහිදී පිළිපැදියයුතු වත්ය. ආරණ්‍යකයා විසින් වනාහි දෙකම එක් විට සෝදා පඬු ගැන්වීම වටී. කිසිවකු දුටහොත් සිවුර ඇද සිරුර මත රුවා ගැනීමට හැකිවන අයුරු අසල් තැනෙක හිඳගත යුතුය. මධ්‍යමයා විසින් වනාහි: රජනශාලාවෙහි රජනචීවර නම් සිවුරක් තිබේ, එය හැඳ හෝ පෙරවගෙන රජනය කිරීම සුදුසුය. මෘදුකයාහට සහාය භික්ෂූන්ගේ සිවුරු හැඳ හෝ පෙරවගෙන පඬුගැන්වීම සුදුසුය. ඇතිරිලි පිණිස එහි තබා ඇති සිවුරක් වුවද ඔහුට සුදුසුය, එහෙත් එය දිගටම පරිහරණය කිරීම සුදුසු නොවේ. සභාග භික්ෂූන්ගේ සිවුරුද අතරින් පතර පරිභෝග කිරීම සුදුසුය. ධුතංග තෙචීවරිකයාහට වනාහි සිවුවැන්නක් ලෙස අංසකඩක් සුදුසු වේ; එයද පළලින් වියතක්ද දිගින් දෙවියතක්ද වූයේ යෝග්‍යය.
මේ තිදෙනාගේම ධුතංගය සිවුවැනි සිවුරක් ඉවසූ කෙණහිම බිදේ.
මෙහි අනුසස් මෙසේය: තෙචීවරික භික්ෂු තෙමේ කයින් පරිහරණය කරනු ලබන සිවුරෙන් සන්තුෂ්ට වූ කෙනෙකි, එහෙයින් එය රැගෙන ඔහුට පක්ෂියකු මෙන් යාහැකි බවය, මඳකිස ඇති බවය, වස්ත්‍ර රැස් කිරීමෙන් වැලකුණ බවය, සැහැල්ලු පැවතුම් ඇති බවය, අතිරේක සිවුරු කෙරෙහි ලොල් බවින් වැලකුණ බවය, කැපවූ වස්ත්‍රයෙහි පවා පිරිමැසුම් ඇති බවය, කෙලෙස් සිඳින පැවතුම් ඇතිබවය, අල්පෙච්ඡතා ගුණයන් පල දරන බවය යන මේ ආදිය සම්පූර්ණ වේ.
අතිරෙකවත්ථතණ්හං පහාය සන්නිධිවිවජ්ජිතො ධීරො
සන්තොසසුඛරසඤ්ඤු තිචීවරධරො භවති යොගී.
සන්තොසසුඛරසඤ්ඤු තිචීවරධරො භවති යොගී.
තස්මා සපත්තචරණො පක්ඛීව සචීවරොව යොගිවරො
සුඛමනුවිචරිතුකාමො චීවරනියමෙ රතිං කයිරා
සුඛමනුවිචරිතුකාමො චීවරනියමෙ රතිං කයිරා
ත්රිචීවරධර යෝගාවචර තෙමේ අතිරේක වස්ත්‍ර කෙරෙහි තෘෂ්ණාව හැරපියා රැස්කිරීමෙන් වැලකුණේ, නුවණැත්තේ සතොස් සුවයෙහි රස හඳුනන්නේ වේ.
එහෙයින් සිය පියාපතින් හැසිරෙන පක්ෂියකු සෙයින් තුන්සිවුරු සහිත වූයේම උතුම් යෝගාවචරතෙමේ සුවසේ හැසිරෙනු රිසිවූයේ, සිවුරු පිරිමැස්මෙහි ඇලුම් කරන්නේය.
මේ තෙචීවරිකාංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
පිණ්ඩපාතිකඞ්ගකථා
පිණ්ඩපාතිකාංගයද, ‘අතිරෙක ලාභං පටික්ඛිපාමි, පිණ්ඩපාතිකඞ්ගං සමාදියාමි’ (අමතර ලැබීම් පිළිකෙව් කරමි, පිණ්ඩපාතිකංගය සමාදන් වෙමි)’. යන මේ පාඨ දෙකින් එක්තරා පාඨයෙකින් සමාදානය වේ.
එම පිණ්ඩපාතිකයා විසින් සංඝයා වෙනුවෙන් දෙන බතය, භික්ෂූන් කිහිප දෙනකුන් උදෙසා දෙන බතය, ආරාධනාකොට දෙන බතය, සලාක බතය, පක්ෂයකට වරක් දෙන බතය, පොහොයට දෙන බතය, පෑළවියට දෙන බතය, ආගන්තුකයනට දෙන බතය, ගමන් යන්නවුනට දෙන බතය, ගිලනුනට දෙන බතය, ගිලානෝපස්ථානයකයනට දෙන බතය, විහාරයෙක්හි වෙසෙන භික්ෂූන් උදෙසා දෙන බතය, නිත්‍ය වශයෙන් දෙන බතය, ගම් කිහිපයක් විසින් වාරයෙන් වාරයට දෙන බතය, යන මේ තුදුස් බත නොඉවසිය යුතුය. ඉදින් සංඝයාහට දෙන බත පිළිගනු මැනවැ’යි නොකියා, අපගේ ගෙහි සංඝයා භික්ෂාව ගනිති, ඔබවහන්සේද භික්ෂාව ගනු මැනවැ’යි කියා දෙනු ලබන බත පිළිගනු වටී. සංඝයා කෙරෙන් කාලනියමයක් නැතිව එදිනෙදා ලැබෙන ලහබතද, විහාරය තුළ පිස දෙනු ලබන බතද පිළිගනු වටීමය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් මෙයද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ට තෙමේ ඉදිරියෙන්ද පසුපසින්ද එළවනු ලබන භික්ෂාව පිළිගනී. පැමිණි දොරකඩ සිටද පාත්‍රය ගන්නවුනට දේ. බොජුන්හලට ගෙනවුත් දෙන භික්‍ෂාවද පිළිගනී. එදිනෙදා පිඩු සිඟා නොගොස් විහාරයට එළවනලද භික්ෂාව නොපිළිගනී. මධ්‍යම තෙමේ එදිනෙදා එළවනු ලබන භික්ෂාව පිළිගනී. එහෙත් හෙට දවස සඳහා නොඉවසයි. මෘදුක තෙමේ හෙට දවස පිණිසද අනිද්දා දවස පිණිසද භික්ෂාව ඉවසයි. (පසුව කී) දෙදෙනාම අපරායත්ත (නිදහස්) දිවිපෙවෙතෙහි සුවය නොලබති, උත්කෘෂ්ට තෙමේම එය ලබයි. එක්තරා ගමෙක අරියවංස දේශනාව පැවැත්වේ, උත්කෘෂ්ට තෙමේ අනෙක් දෙදෙනාට, ‘ඇවැත්නි, දහම් ඇසීමට යන්නමෝදැ’යි කීය. ඔවුනතුරෙන් එක් කෙනෙක්, ‘ස්වාමීනි, එක්තරා කෙනකුන් විසින් (විහාරයෙහි) රඳවනු ලද්දෙමි’යි කිය, අනෙකා ස්වාමීනි, මවිසින් හෙට දවස පිණිස එක්තරා කෙනකුගේ භික්ෂාව ඉවසන ලදි’යි කීය. මෙසේ ඒ දෙදෙනාම (ධර්ම ලාභයෙන්) පිරිහුන්හ. අනෙක් භික්ෂු තෙමේ උදෑසනක් සේ පිඬු පිණිස හැසිර ඉක්බිති එහි ගොස් දහම්රස විඳියේය.