පිණ්ඩපාතිකඞ්ගකථා
පිණ්ඩපාතිකාංගයද, ‘අතිරෙක ලාභං පටික්‍ඛිපාමි, පිණ්ඩපාතිකඞ්ගං සමාදියාමි’ (අමතර ලැබීම් පිළිකෙව් කරමි, පිණ්ඩපාතිකංගය සමාදන් වෙමි)’. යන මේ පාඨ දෙකින් එක්තරා පාඨයෙකින් සමාදානය වේ.
එම පිණ්ඩපාතිකයා විසින් සංඝයා වෙනුවෙන් දෙන බතය, භික්‍ෂූන් කිහිප දෙනකුන් උදෙසා දෙන බතය, ආරාධනාකොට දෙන බතය, සලාක බතය, පක්‍ෂයකට වරක් දෙන බතය, පොහොයට දෙන බතය, පෑළවියට දෙන බතය, ආගන්තුකයනට දෙන බතය, ගමන් යන්නවුනට දෙන බතය, ගිලනුනට දෙන බතය, ගිලානෝපස්ථානයකයනට දෙන බතය, විහාරයෙක්හි වෙසෙන භික්‍ෂූන් උදෙසා දෙන බතය, නිත්‍ය වශයෙන් දෙන බතය, ගම් කිහිපයක් විසින් වාරයෙන් වාරයට දෙන බතය, යන මේ තුදුස් බත නොඉවසිය යුතුය. ඉදින් සංඝයාහට දෙන බත පිළිගනු මැනවැ’යි නොකියා, අපගේ ගෙහි සංඝයා භික්‍ෂාව ගනිති, ඔබවහන්සේද භික්‍ෂාව ගනු මැනවැ’යි කියා දෙනු ලබන බත පිළිගනු වටී. සංඝයා කෙරෙන් කාලනියමයක් නැතිව එදිනෙදා ලැබෙන ලහබතද, විහාරය තුළ පිස දෙනු ලබන බතද පිළිගනු වටීමය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් මෙයද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ට තෙමේ ඉදිරියෙන්ද පසුපසින්ද එළවනු ලබන භික්‍ෂාව පිළිගනී. පැමිණි දොරකඩ සිටද පාත්‍රය ගන්නවුනට දේ. බොජුන්හලට ගෙනවුත් දෙන භික්‍ෂාවද පිළිගනී. එදිනෙදා පිඩු සිඟා නොගොස් විහාරයට එළවනලද භික්‍ෂාව නොපිළිගනී. මධ්‍යම තෙමේ එදිනෙදා එළවනු ලබන භික්‍ෂාව පිළිගනී. එහෙත් හෙට දවස සඳහා නොඉවසයි. මෘදුක තෙමේ හෙට දවස පිණිසද අනිද්දා දවස පිණිසද භික්‍ෂාව ඉවසයි. (පසුව කී) දෙදෙනාම අපරායත්ත (නිදහස්) දිවිපෙවෙතෙහි සුවය නොලබති, උත්කෘෂ්ට තෙමේම එය ලබයි. එක්තරා ගමෙක අරියවංස දේශනාව පැවැත්වේ, උත්කෘෂ්ට තෙමේ අනෙක් දෙදෙනාට, ‘ඇවැත්නි, දහම් ඇසීමට යන්නමෝදැ’යි කීය. ඔවුනතුරෙන් එක් කෙනෙක්, ‘ස්වාමීනි, එක්තරා කෙනකුන් විසින් (විහාරයෙහි) රඳවනු ලද්දෙමි’යි කිය, අනෙකා ස්වාමීනි, මවිසින් හෙට දවස පිණිස එක්තරා කෙනකුගේ භික්‍ෂාව ඉවසන ලදි’යි කීය. මෙසේ ඒ දෙදෙනාම (ධර්ම ලාභයෙන්) පිරිහුන්හ. අනෙක් භික්‍ෂු තෙමේ උදෑසනක් සේ පිඬු පිණිස හැසිර ඉක්බිති එහි ගොස් දහම්රස විඳියේය.
මේ (උත්කෘෂ්ට, මධ්‍යම, මෘදුක යන) තිදෙනා විසින්ම සංඝභත්ත ආදී අතිරේක භික්‍ෂා ලාභයක් ඉවසන ලද කෙණෙහිම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.
මෙහි ආනිසංස මෙසේය: ‘පිණ්ඩපාත භෝජනය නිසා පැවිදි බව පවත්නේය’යි කී හෙයින් නිස්සයට අනුරූපවූ පිළිවෙත් ඇති බවය, දෙවන අරියවංස ප්‍රතිපදාවෙහි පිහිටි බවය, අපරායත්ත යැපීම් ඇති බවය, ‘අගයෙන් අඩුවූද සුලබවූද එය නිරවද්‍යද වේ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට පසස්නා ලද ප්‍රත්‍යයක් වනබවය, කුසීත බව මැඩලන බවය, පිරිසුදු ජීවිකා ඇති බවය, සේඛියා පිළිවෙත් පිරෙන බවය, පරපෝෂණ රහිත බවය, පරහට අනුග්‍රහ කරන බවය, මානය පහ කෙරෙන බවය, රස තෘෂ්ණාව වැලකෙන බවය, ගණභොජන, පරම්පරභොජන පිළිබඳ චාරිත්‍ර ශික්‍ෂාපදවලින් ඇවැත් සිදුවීමක් නැතිබවය, අල්පෙච්ඡතාදී ගුණයනට අනුරූප වූ පැවතුම් ඇති බවය, යහපත් පිළිවෙත් වැඩෙන බවය, මතු පරම්පරාවන් කෙරෙහි අනුකම්පා කිරීමය යන මේය.
පිණ්ඩියාලොපසන්තුට්ඨො අපරායත්තජීවිකො
පහීණාහාරලොලුප්පො හොති චාතුද්දිසො යති.
විනොදයති කොසජ්ජං ආජීව’ස්ස විසුජ්ඣති
තස්මාභි නාතිමඤ්ඤෙය්‍ය භික්‍ඛාචරියං සුමෙධසො
පිඩු සිඟා ලත් අහරින් තෘප්ත වූ භික්‍ෂු තෙමේ අනුන් පිහිට නොකළ යැපීම් ඇත්තේ, පහවූ ආහාරතෘෂ්ණා ඇත්තේ, සිවුදිශාවටම යෝග්‍ය යතිවරයෙක් වන්නේය.
කුසීතබව දුරුකරන්නේය, ඔහුගේ ආජීවය පිරිසුදු වන්නේය, එහෙයින් යහපත් ප්‍රඥා ඇත්තේ භික්‍ෂාචර්යාව සුළුකොට නොතකන්නේය.
මෙබඳු වූ,
පිණ්ඩපාතිකස්ස භික්‍ඛුනො අත්තභරස්ස අනඤ්ඤපොසිනො
දෙවා පිහයන්ති තාදිනො නො චෙ ලාභසිලොකනිස්සිතො
තමා විසින්ම යැපෙන, අනුන් විසින් පෝෂණය කරනු නොලබන, එවන් ගුණ ඇති භික්‍ෂුවට, ඉදින් ලාභ කීර්ති කෙරෙහි නොරැදී ඇත්නම්, එබඳු තාදී ගුණයෙන් යුතු ඔහු කෙරෙහි දෙවියෝ ආශා ඇති කෙරෙති.
මේ පිණ්ඩපාතිකංගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
සපදානචාරිකඞ්ගකථා
සපදානචාරිකංගයද ‘ලොලුප්පචාරං පටික්‍ඛිපාමි, සපදානචාරිකඞ්ගං සමාදියාමි (ලොල්බවින් ගෙපිළිවෙළ හැර හැසිරීම පිළිකෙව් කරමි, සපදානචාරිකංගය සමාදන් වෙමි) යන මේ පාඨයන් අතුරෙන් එක් පාඨයෙකින් සමාදානය සිදුවේ.
එම සපදානචාරිකයා විසින් ගම්දොරදී උවදුරු නැති බව නිශ්චය කළයුතුය. යම් වීදියෙක හෝ ගමෙක හෝ උවදුරක් ඇතොත් එය හැර වෙන’තෙක හැසිරීම යෝග්‍ය වේ. යම් ගෙදොරකදී හෝ වීදියෙකදී හෝ ගමෙකදී හෝ කිසිවක් නොලැබෙතොත් නොගමෙකැ’යි හැඟ හැර යායුතුය. යම් ගමෙක කිසිවක් හෝ ලැබේනම් එය හැරයනු නොවටී. මේ සපදානචාරික භික්‍ෂුව විසින් වේලාසනින් ගමට පිවිසිය යුතුය. මෙසේ වූ කල්හි අපහසු තැන් හැර අන් තැනෙක යා හැකිවේ. ඉදින් විහාරයට ගෙනවුත් දන් දෙන හෝ අතරමගදී හමුවන හෝ මිනිසුන් පාත්‍රය ගෙන පිණ්ඩපාතය දෙතහොත් පිළිගනු වටී. මග බැස යන මොහු විසින් පිඩු පිණිස හැසිරෙන වේලෙහි පිවිසි ගම නොඉක්මවා හැසිරිය යුතුය. එහිදී නොලැබෙතොත් හෝ, මදක් ලැබ හෝ ගම් පිළිවෙළින්ම හැසිරිය යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. ඔවුනතුරෙන් උත්කෘෂ්ට තෙමේ පෙරටු කොටගෙන ආ භික්‍ෂාවද, පසුව ගෙනා භික්‍ෂාවද, බොජුන්හලට ගෙනවුත් දෙන භික්‍ෂාවද නොපිළිගනියි. පැමිණි දොරකඩදී පාත්‍රය හරියි. මේ ධූතාංගයෙහි මහ කසුප් තෙරුන් හා සම වූවෙක් නම් නැත. ඔවුන් විසින්ද පාත්‍රය හැරි තැනක් පෙනේ. මධ්‍යම තෙමේ පෙරටුව හෝ පසුව ගෙනා භික්‍ෂාවද, බොජුන්හලට ගෙනා භික්‍ෂාවද පිළිගනියි, පැමිණි දොරකඩදී ද පාත්‍රය හරියි. එහෙත් භික්‍ෂාව ගෙනඑනු බලා නොහිඳියි. මෙහිදී හේ තෙමේ උත්කෘෂ්ට පිණ්ඩපාතිකයාහට අනුලොම් වේ. මෘදුක තෙමේ එදවස පමණක් හිඳ බලාපොරොත්තු වේ.