සපදානචාරිකඞ්ගකථා
සපදානචාරිකංගයද ‘ලොලුප්පචාරං පටික්‍ඛිපාමි, සපදානචාරිකඞ්ගං සමාදියාමි (ලොල්බවින් ගෙපිළිවෙළ හැර හැසිරීම පිළිකෙව් කරමි, සපදානචාරිකංගය සමාදන් වෙමි) යන මේ පාඨයන් අතුරෙන් එක් පාඨයෙකින් සමාදානය සිදුවේ.
එම සපදානචාරිකයා විසින් ගම්දොරදී උවදුරු නැති බව නිශ්චය කළයුතුය. යම් වීදියෙක හෝ ගමෙක හෝ උවදුරක් ඇතොත් එය හැර වෙන’තෙක හැසිරීම යෝග්‍ය වේ. යම් ගෙදොරකදී හෝ වීදියෙකදී හෝ ගමෙකදී හෝ කිසිවක් නොලැබෙතොත් නොගමෙකැ’යි හැඟ හැර යායුතුය. යම් ගමෙක කිසිවක් හෝ ලැබේනම් එය හැරයනු නොවටී. මේ සපදානචාරික භික්‍ෂුව විසින් වේලාසනින් ගමට පිවිසිය යුතුය. මෙසේ වූ කල්හි අපහසු තැන් හැර අන් තැනෙක යා හැකිවේ. ඉදින් විහාරයට ගෙනවුත් දන් දෙන හෝ අතරමගදී හමුවන හෝ මිනිසුන් පාත්‍රය ගෙන පිණ්ඩපාතය දෙතහොත් පිළිගනු වටී. මග බැස යන මොහු විසින් පිඩු පිණිස හැසිරෙන වේලෙහි පිවිසි ගම නොඉක්මවා හැසිරිය යුතුය. එහිදී නොලැබෙතොත් හෝ, මදක් ලැබ හෝ ගම් පිළිවෙළින්ම හැසිරිය යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. ඔවුනතුරෙන් උත්කෘෂ්ට තෙමේ පෙරටු කොටගෙන ආ භික්‍ෂාවද, පසුව ගෙනා භික්‍ෂාවද, බොජුන්හලට ගෙනවුත් දෙන භික්‍ෂාවද නොපිළිගනියි. පැමිණි දොරකඩදී පාත්‍රය හරියි. මේ ධූතාංගයෙහි මහ කසුප් තෙරුන් හා සම වූවෙක් නම් නැත. ඔවුන් විසින්ද පාත්‍රය හැරි තැනක් පෙනේ. මධ්‍යම තෙමේ පෙරටුව හෝ පසුව ගෙනා භික්‍ෂාවද, බොජුන්හලට ගෙනා භික්‍ෂාවද පිළිගනියි, පැමිණි දොරකඩදී ද පාත්‍රය හරියි. එහෙත් භික්‍ෂාව ගෙනඑනු බලා නොහිඳියි. මෙහිදී හේ තෙමේ උත්කෘෂ්ට පිණ්ඩපාතිකයාහට අනුලොම් වේ. මෘදුක තෙමේ එදවස පමණක් හිඳ බලාපොරොත්තු වේ.
මේ තිදෙනාගේම ධූතාංගය ගෙපිළිවෙළ සිඳීම සිදු වූ කෙණෙහි බිඳේ. මේ මෙහි භේදයයි.
මෙහි ආනිසංස මෙසේය: කුලයනට නිරතුරුවම අමුත්තකු වීම, (කිසිතැනෙක නොඇලෙන හෙයින්) සඳට උපමා කළ හැකි වීමය, කුලයන් කෙරෙහි (ආශාවෙන් යුතුව) ඇලෙන බව දුරුවීමය, සැමට එකසේ අනුකම්පා ඇතිබවය, කුලයන් කෙරෙහි බැදීමෙන් වන ආදිනවයෙන් මිදුණබවය, ඇරියුම් නොඉවසනබවය, ගෙනවුත් දෙන භික්‍ෂාවෙන් ප්‍රයෝජනයක් නැතිබවය, අල්පේච්ඡතාදියට අනුලොම් යැපීම් ඇතිබවය යන මේය.
චන්‍දූපමො නිච්චනවො කුලෙසු අමච්ඡරී සබ්බසමානුකම්පො
කුලූපගාදීනවවිප්පමුත්තො හොතීධ භික්‍ඛු සපදානචාරී
ලොලුප්පචාරඤ්ච පහාය තස්මා ඔක්‍ඛිතචක්‍ඛු යුගමත්තදස්සී
ආකඞ්ඛමානො භූවි සෙරිචාරං චරෙය්‍ය ධීරො සපදානචාරං
මේ සස්නෙහි සපදානචාරී භික්‍ෂු තෙමේ කිසි තැනෙක්හි හෝ (ආශාවෙන් යුතුව) නොඇලීමෙන් චන්‍ද්‍රයා වැනි වූයේ, සැම කල්හිම අලුතින් ආ අමුත්තෙක් වූයේ, කුලයන් කෙරෙහි මසුරු බවින් තොර වූයේ, සැමටම එකසේ අනුකම්පා ඇත්තේ, කුලයන් කෙරෙහි ඇලීමේ ආදීනවයෙන් මිදුණෙක් වන්නේය.
එහෙයින් නුවණැත්තේ ලොල්බවින් පිළිවෙළ සිඳ හැසිරීමෙන් වෙන්ව, මේ ලෝකයෙහි ස්වාධීන විහරණයෙහි රිසිවූයේ, පහතට නැඹුරු ඇස් ඇතිව, වියදඬු පමණ බලමින් ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේය.
මේ සපදානචාරිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
එකාසනිකඞ්ගකථා
ඒකාසනිකංගයද, ‘නානාසනභොජනං පටික්‍ඛිපාමි, එකාසනිකඞ්ගං සමාදියාමි’ (නොයෙක් වර හිඳ අනුභව කිරීම පිළිකෙව් කරමි, ඒකාසනිකංගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.
එම ඒකාසනික භික්‍ෂුව විසින් ආසන ශාලාවෙහි හිඳගන්නාවිට ථෙරාසනයෙහි නොහිඳ, මේ අසුන මට ලැබෙන්නේයයි සලකා යෝග්‍ය වූ අසුනෙක හිඳගත යුතුය. ඉදින් ඔහුගේ අහර කිස නොනිමී තිබියදී ආචාර්යවරයා හෝ උපාධ්‍යායවරයා පැමිණියහොත්, නැගිට වත් පිළිපදිනු වටී. ත්‍රිපිටකධර චූලාභය තෙරණුවෝ ‘අසුන හෝ භෝජනය හෝ රකින්නේය, එහෙයින් අඩහල බොජුන් ඇති මේ තෙමේ වත් පිළිපදීවා, බොජුන් නොබුදීවා’යි කීහ. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මෙයද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා මඳවූ හෝ බොහෝවූ හෝ යම් බොජුනකට අත තැබුවේ නම් එය හැර අන්කිසිවක් නොපිළිගන්නේය, ඉදින් මිනිසුන් ‘තෙරුන් කිසිවක් නොවැළදූහ’යි ගිතෙල් ආදිය ගෙන එතොත් බෙහෙත් වශයෙන් පිළිගනු වටී, අහර වශයෙන් නොවටී. මධ්‍යමයා යම්තාක් පාත්‍රයෙහි බත් ඉතිරිව තිබේනම්, ඒතාක් එයට සෑහෙන තරම් සූප ආදී අන් අහරක් පිළිගන්නේය. මේ තෙමේ ‘භෝජනපරියන්තික’ නම්වේ. මෘදුක තෙමේ යම්තාක් හිඳ වැළඳූ අසුනෙන් නොනැගිටියේද ඒතාක් වැළදීම කරන්නේය. මේ තෙමේ ‘උදපරියන්තික’ නම්වේ. පාත්‍රය ධෝවනය කරන තෙක් අනුභව කරන හෙයිනි, නැතහොත් ‘ආසනපරියන්තික’ නම්වේ. යම්තාක් අසුනෙන් නොනැගිටියේද ඒතාක් අනුභව කරන හෙයිනි.
මේ තිදෙනාගේම ධුතංගය නැවත හිඳ වැලඳූ කෙණෙහි බිඳේ, මේ මෙහි බිඳීමයි.
මෙහි ආනිසංස මෙසේය: නිරෝගබවය, මඳපීඩා ඇති බවය, සැහැල්ලු ඉරියවු ඇති බවය, සිරුරු බල ඇති බවය, පහසු විහරණ ඇතිබවය, ඉතිරි නොවූ ප්‍රත්‍යය ඇති හෙයින් ඇවැත් සිදුවීමට ඇති ඉඩ මඳබවය, රස තෘෂ්ණා දුරුවීමය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලොම් වූ යැපීම් ඇති බවය යන මේය.
එකාසනභොජනෙ රතං න යතිං භොජනපච්චයා රුජා
විසහන්ති රසෙ අලොලුපො පරිහාපෙති න කම්මමත්තනො