එකාසනිකඞ්ගකථා
ඒකාසනිකංගයද, ‘නානාසනභොජනං පටික්‍ඛිපාමි, එකාසනිකඞ්ගං සමාදියාමි’ (නොයෙක් වර හිඳ අනුභව කිරීම පිළිකෙව් කරමි, ඒකාසනිකංගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.
එම ඒකාසනික භික්‍ෂුව විසින් ආසන ශාලාවෙහි හිඳගන්නාවිට ථෙරාසනයෙහි නොහිඳ, මේ අසුන මට ලැබෙන්නේයයි සලකා යෝග්‍ය වූ අසුනෙක හිඳගත යුතුය. ඉදින් ඔහුගේ අහර කිස නොනිමී තිබියදී ආචාර්යවරයා හෝ උපාධ්‍යායවරයා පැමිණියහොත්, නැගිට වත් පිළිපදිනු වටී. ත්‍රිපිටකධර චූලාභය තෙරණුවෝ ‘අසුන හෝ භෝජනය හෝ රකින්නේය, එහෙයින් අඩහල බොජුන් ඇති මේ තෙමේ වත් පිළිපදීවා, බොජුන් නොබුදීවා’යි කීහ. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මෙයද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා මඳවූ හෝ බොහෝවූ හෝ යම් බොජුනකට අත තැබුවේ නම් එය හැර අන්කිසිවක් නොපිළිගන්නේය, ඉදින් මිනිසුන් ‘තෙරුන් කිසිවක් නොවැළදූහ’යි ගිතෙල් ආදිය ගෙන එතොත් බෙහෙත් වශයෙන් පිළිගනු වටී, අහර වශයෙන් නොවටී. මධ්‍යමයා යම්තාක් පාත්‍රයෙහි බත් ඉතිරිව තිබේනම්, ඒතාක් එයට සෑහෙන තරම් සූප ආදී අන් අහරක් පිළිගන්නේය. මේ තෙමේ ‘භෝජනපරියන්තික’ නම්වේ. මෘදුක තෙමේ යම්තාක් හිඳ වැළඳූ අසුනෙන් නොනැගිටියේද ඒතාක් වැළදීම කරන්නේය. මේ තෙමේ ‘උදපරියන්තික’ නම්වේ. පාත්‍රය ධෝවනය කරන තෙක් අනුභව කරන හෙයිනි, නැතහොත් ‘ආසනපරියන්තික’ නම්වේ. යම්තාක් අසුනෙන් නොනැගිටියේද ඒතාක් අනුභව කරන හෙයිනි.
මේ තිදෙනාගේම ධුතංගය නැවත හිඳ වැලඳූ කෙණෙහි බිඳේ, මේ මෙහි බිඳීමයි.
මෙහි ආනිසංස මෙසේය: නිරෝගබවය, මඳපීඩා ඇති බවය, සැහැල්ලු ඉරියවු ඇති බවය, සිරුරු බල ඇති බවය, පහසු විහරණ ඇතිබවය, ඉතිරි නොවූ ප්‍රත්‍යය ඇති හෙයින් ඇවැත් සිදුවීමට ඇති ඉඩ මඳබවය, රස තෘෂ්ණා දුරුවීමය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලොම් වූ යැපීම් ඇති බවය යන මේය.
එකාසනභොජනෙ රතං න යතිං භොජනපච්චයා රුජා
විසහන්ති රසෙ අලොලුපො පරිහාපෙති න කම්මමත්තනො
ඉති ඵාසුවිහාරකාරණෙ සුචිසල්ලෙඛරතූපසෙවිතෙ
ජනයෙථ විසුද්ධමානසො රතිමෙකාසනභොජනෙ යති.
ඒකාසන භෝජනයෙහි ඇලුණ යතිවරයා ආහාර හේතුවෙන් ඇතිවන රෝගයෙන් නොපෙළේ, රසයෙහි ගිජු නොවූයේ ස්වකීය කාර්යයෙන් නොපිරිහෙයි.
මෙසේ සුඛවිහරණයට හේතු වූ, පිරිසිදු සල්ලේඛ ගුණයෙහි ඇලුණවුන් විසින් සෙවුනාලද, ඒකාසන භෝජනයෙහි පිරිසුදු සිත් ඇති යති තෙමේ ඇලුම් කරන්නේය.
මේ ඒකාසනිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
පත්තපිණ්ඩිකඞ්ගකථා
පත්තපිණ්ඩිකංගයද, ‘දුතියකභාජනං පටික්‍ඛිපාමි, පත්තපිණ්ඩිකඞ්ගං සමාදියාමි’ (දෙවන බඳුනක් පිළිකෙව් කරමි, පත්තපිණ්ඩිකංගය සමාදන් වෙමි.) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.
එම පත්තපිණ්ඩිකයා විසින් වනාහි හුළුකැන් (කැඳ) බොනවිට භාජනයෙක තබා අවුළුපත් ලදහොත් අවුළුපත් හෝ පළමුකොට බිදිය යුතුය, හුළුකැන් හෝ පළමුකොට පිය යුතුය, ඉදින් එම අවුළුපත් හුළුකැන්හි ලූවහොත් පිලීමසුන් සහිත අවුළු ආදිය ලූ විට හුළුකැන් පිළිකුල් වේ. පිළිකුල් නොවන සේ කොට අනුභව කරනු වටී. එහෙයින් එබඳු වූ අවුළුපත් ගැන සලකා මෙසේ කියනලදි, ‘මී සකුරු ආදී යම් කිසිවක් පිළිකුල් නොවේනම් එය හුළුකැන්හි ලිය යුතුය, පිළිගන්නාවිටද සුදුසු පමණට පිළිගත යුතුය. අතින් ගෙන කෑයුතු අමුරිකිලි පවා එසේ නොකොට පාත්‍රයෙහිම බැහිය යුතුය. දෙවන බඳුනක් පිළිකෙව් කරනලද හෙයින් කොළපතක් තරම් වූද අන් බඳුනක් පරිභෝග කරනු නොවටී’ යනුවෙනි. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් උක්දඬු සැපීමේදී හැර, රොඩු පවා ඉවත දැමීම නොවටී. බත්පිඬු, මත්ස්‍යමාංස, කැවුම් ආදිය පවා අතින් කඩා කෑම නොවටී, මධ්‍යමයා විසින් එක් අතෙකින් කඩා කෑම වටී, මේ තෙමේ හත්‍ථයෝගී’ නමි. මෘදුක තෙමේ ‘පත්තයෝගී’ නමි, ඔහු විසින් පාත්‍රය තුළ බැහිය හැකි සියලුම දෑ අතින් හෝ දතින් කඩා කෑම වටී.
මේ තිදෙනාගේම ධුතංගය දෙවන බඳුනක් ඉවසූ කෙණෙහිම බිදේ. මේ මෙහි භේදයයි.
ආනිසංස මෙසේයි: නොයෙක් රසයන් කෙරෙහි ඇති තෘෂ්ණාව දුරුවීමය, ආහාරයෙහි ගිජු බව දුරලීමය, ආහාරයෙහි ප්‍රයෝජනය පමණක් දන්නාබවය, තලි තැටි ආදී බඳුන් පරිහරණයෙන් ඇතිවන ගැහැට නැති බවය, නොවිසුරුණු බොජුන් ඇතිබවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලෝම පැවතුම් ඇතිබවය යන මේය.
නානාභාජනවිකෙඛපං - භිත්‍වා ඔක්‍ඛිත්තලොචනො
ඛණන්තෙවිය මූලානි රසතණ්හාය සුබ්බතො
සරූපං විය සන්තුට්ඨිං ධාරයන්තො සුමානසො
පරිභුඤ්ජෙය්‍ය ආහාරං කො අඤ්ඤො පත්තපිණ්ඩිකා
නොයෙක් බඳුන් පරිහරණයෙහි ඇති ගැහැට දුර හැර පහතට නැඹුරු ඇස් ඇතිව රස තෘෂ්ණාවෙහි මුල් උදුරන සෙයින් මනාව්‍රත ඇතිව,
මූර්තිමත් සන්තුෂ්ටිය දරමින් මෙන් සොඳුරු සිත් ඇතිව ආහාර අනුභව කරනුයේ පත්තපිණ්ඩිකයා හැර අන් කවරෙක්ද?
මේ පත්තපිංඩිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
ඛලුපච්ඡාභත්තිකඞ්ගකථා
ඛලුපච්ඡාභත්තිකංගයද, අතිරිත්තභොජනං පටික්‍ඛිපාමි, ඛලුපච්ඡාභත්තිකඞ්ගං සමාදියාමි (අමතර බොජුන් පිළිකෙව් කරමි. ඛලුපච්ඡාභත්තිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එක්පාඨයෙකින් සමාදන්විය හැකිය.