යථාසන්ථතිකඞ්ගකථා
යථාසන්ථතිකංගයද ‘සේනාසනලොලුප්පං පටික්ඛිපාමි, යථාසන්ථතිකඞ්ගං සමාදියාමි’ (සෙනසුන් කෙරෙහි ලොල් බව පිළිකෙව් කරමි, යථාසන්ථතිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එකකින් සමාදන් වීම සිද්ධ වේ.
එම යථාසන්ථතිකයා විසින් තමාහට යම් සෙනසුනක් ‘මෙය ඔබට පැවරේය’යි පමුණුවන ලද නම් එයින්ම තෘප්ත වියයුතුය. අනෙකකු නොනැගිටවිය යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්රභේද වශයෙන් වනාහි මොහුද ත්රිවිධ වේ. එහි උත්කෘෂ්ට තෙමේ තමාහට පැමිණි සේනාසනය දුරද? ඉතා ළඟද? අමනුෂ්ය සර්ප ආදීන්ගෙන් උපද්රව ඇත්ද? උණුසුම්ද? සිහිල්දැ’යි විමසන්නට නොහැකි වේ, මධ්යම තෙමේ විමසන්නට හැකිවේ, එහෙත් ගොස් බලන්නට නොහැකි වේ. මෘදුක තෙමේ තමාට නොරිසි නම් අනෙකක් ගන්නට හැකිවේ.
මේ තිදෙනාගේම ධුතංගය සෙනසුන් කෙරෙහි ලොල්බවක් උපන් කෙණෙහිම බිඳේ. මේ මෙහි භේදයයි.
ආනිසංස මෙසේයි: ‘යමක් ලැබිණි නම්, එයින් සතුටු වියයුතුය’ යන අවවාදය පිළිපදනා බවය, සබ්රම්සරුන් කෙරෙහි හිත කැමති බවය, හීනය ප්රණීතය යන විකල්පය අත් හැරීමය, වාදවිවාදයෙන් වැලකීමය, අතීච්ඡතාවට දොර වැසීමය, අල්පේච්ඡතාදියට අනුකුල පැවතුම් ඇතිබවය යන මේයි.
යං ලද්ධං තෙන සන්තුට්ඨො යථාසන්ථතිකො යති
නිබ්බකප්පො සුඛං සෙති තිණසන්ථරකෙසු පි.
නිබ්බකප්පො සුඛං සෙති තිණසන්ථරකෙසු පි.
න සො රජ්ජති සෙට්ඨම්හි හීනං ලද්ධා න කුප්පති
සබ්රහ්මචාරීනවකෙ හිතෙන අනුකම්පති.
සබ්රහ්මචාරීනවකෙ හිතෙන අනුකම්පති.
තස්මාරියසතාචිණ්ණං මුනිපුංගවවණ්ණිතං
අනුයුඤ්ජෙථ මෙධාවී යථාසන්ථතරාමතං.
අනුයුඤ්ජෙථ මෙධාවී යථාසන්ථතරාමතං.
යථා සන්ථතික භික්ෂු තෙමේ ලද දෙයින් සතුටුවූයේ විකල්ප පිළිබඳ අපේක්ෂා රහිත වූයේ තණ ඇතිරිවල පවා සුවසේ හෝනේය. හේ තෙමේ ප්රණීත දෙය කෙරෙහි නොඇලේ, හීනවූ යමක් ලැබ නොකිපේ, නවක සබ්රම්සරුන් කෙරෙහි හිතවත්ව අනුකම්පා කරයි.
එහෙයින් නුවණැත්තේ සියගණන් ආර්යයන් විසින් පුරුදු කරනලද, මුනි (පුංගවවූ) උතුමන් විසින් වර්ණනා කරන ලද යථාසන්ථතිකංගයෙහි යෙදෙන්නේය.
මේ යථාසන්ථතිකංගයෙහි සමාදාන-විධාන-ප්රභේද-භේද- ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
නෙසජ්ජිකඞ්ගකථා
නෙසජ්ජිකංගයද ‘සෙය්යං පටික්ඛිපාමි, නෙසජ්ජිකඞ්ගං සමාදියාමි’ (වැතිරීමේ ඉරියව්ව පිළිකෙව් කරමි. නේසජ්ජිකංගය සමාදන්වෙමි) යන මේ දෙපාඨයෙන් එකෙකින් සමාදන් වීම සිදුවේ.
ඒ නේසජ්ජික යතිවරයා විසින් රාත්රියෙහි තුන් යමින් එක් යමක් නැගිට සක්මන් කළයුතුය. ඉරියව් අතුරින් වැදහෙවීම පමණක් නොවටී. මේ මෙහි පිළිපදනා විධියි.
ප්රභේද වශයෙන් වනාහි මොහුද, ත්රිවිධ වේ. එහි උත්කෘෂ්ටයාහට පිටි ඇඳි සහිත අසුන් හෝ, පිළීයෙන් කළ අකවටු (දෙදණ හා ඉඟටිය වටා ඔතා ගෙන හිඳීම) හෝ ආයොගපට්ට නම් එල්ලී හිදිනු සඳහා යොදාගනු ලබන පටි හෝ යෝග්ය නොවේ. මධ්යමයාහට මේ තුනෙන් එකක් පමණක් යෝග්ය වේ. මෘදුකයාහට වනාහි පිටි ඇඳිද, පිළියෙන් කළ අකවටුද, එල්ලී හිදින පටිද, මෙට්ටද පසඟින් යුත් පුටුද, සතඟින් යුත් පුටුද යෝග්ය වේ. පසඟපුටු නම් පිටි ඇන්දක් සහිත පාසතරක් ඇති පුටුය. සතඟපුටු නම් පිටි ඇන්දක් හා දෑල ඇඳි සහිත පුටුය. එම සතඟපුටුව පිඨාභය තෙරුන් උදෙසා කළාහුය. තෙරණුවෝ අනාගාමීව පිරිනිවියහ.
වැද හෙවීම කළ පමණින් මේ තිදෙනාගේම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.
ආනිසංස මෙසේය: ‘වැදහෙවීමේ සුවය, ඇලයෙන් ඇලයට වැද හෙවීමේ සුවය, නිදි සුවය, යන මෙහි යෙදී වාසය කරයි.’ යනුවෙන් කියනලද සිත් බැමි නසන බවය, සියලු කමටහන්වලට අනුකූල වනබවය, පහන් දනවන ඉරියව් ඇතිබවය, වීර්යාරම්භයට අනුකූල වනබවය, සම්යක්ප්රතිපත්ති වැඩෙනබවය යන මේයි.
ආභුජිත්වාන පල්ලඞ්කං පණිධාය උජුං තනුං
නිසීදන්තො විකම්පෙති මාරස්ස හදයං යති
නිසීදන්තො විකම්පෙති මාරස්ස හදයං යති
සෙය්යසුඛං මිද්ධසුඛං හිත්වා ආරද්ධවීරියො
නිසජ්ජාභිරතො භික්ඛු සොභයන්තො තපොවනං
නිසජ්ජාභිරතො භික්ඛු සොභයන්තො තපොවනං
නිරාමිසං පීතිසුඛං යස්මා සමධිගච්ඡති
තස්මා සමනුයුඤ්ජෙය්ය ධීරො නෙසජ්ජිකං වතන්ති.
තස්මා සමනුයුඤ්ජෙය්ය ධීරො නෙසජ්ජිකං වතන්ති.
සිරුර සෘජුව පිහිටුවාගෙන බද්ධ පර්යංකයෙන් හිඳින භික්ෂුතෙමේ මාරයාගේ හෘදය දෙදරවයි.
ඇරඹි වීර්ය ඇති භික්ෂු තෙමේ වද හෙවීමේ සුවය, නිදි සුවය හැර නේසජ්ජිකංගයෙහි නියැලියේ තපෝවනය හොබවනුයේ,
යම් හෙයකින් නිරාමිස ප්රීතිසුඛයට පැමිණෙන්නේද, එහෙයින් නුවණැත්තේ නේසජ්ජික ව්රතයෙහි යෙදෙන්නේය.
මේ නේසජ්ජිකඞ්ගයෙහි සමාදාන-විධාන-ප්රභේද, භේද - ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
ධුතඞ්ගපකිණ්ණකකථා
ඉක්බිති,
කුසලත්තිකතො චෙව ධුතාදීනං විභාගතො
සමාසව්යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
සමාසව්යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
කුශල, අකුශල, අඛ්යාකත යන ත්රිකය වශයෙන්ද, ධුත, ධුතවාද ආදී විභාග වශයෙන්ද, සමස්ත වශයෙන් හා විග්රහ වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුය යන
මේ ගාථාවෙහි දක්වන ලද ආකාරයෙන් විස්තර වර්ණනාව වන්නේය.
එහි කුසලත්තිකතො යනු සියලුම ධුතංගයෝ ශෛක්ෂ්ය, පෘථග්ජන, ක්ෂීණාශ්රව වශයෙන් කුශලද, අඛ්යාකතද වන්නේය. අකුශල ධුතංගයෙක් නැත.
යමෙක් වනාහි ‘පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤිකො හොති’ (පවිටු අදහස් ඇත්තේ තෘෂ්ණාවෙන් මඩනා ලද්දේ ආරණ්යක වේද) යන ආදිය කියනලද හෙයින් අකුශල ධුතංගයෙක්ද ඇතැ’යි කියන්නේ නම්, ඔහුට මෙසේ කිවයුතුය. ‘අකුසල් සිතින් අරණ්යයෙහි නොවෙසෙතැ’යි නොකියමු, යමකුට අරණ්යය වාසස්ථානය වේනම් හෝ ආරණ්යකයෙකි, ඔහු පවිටු අදහස් ඇත්තකු හෝ අල්පේච්ඡයකු විය හැකිය, මොහු වනාහි ඒ ඒ ධුතංගය සමාදන්වීමෙන් සොල්වාලූ කෙලෙස් ඇති හෙයින් ධුත නම්වූ භික්ෂුවගේ අංගයෝය, කෙලෙස් සොල්වාලන හෙයින් ‘ධුත’ යන වහර ලැබූ ඤාණය මොවුනට අංග වෙති’යි හෝ ධුතංග නම් වෙති, නැතහොත් ධුතවූවෝද, ප්රතිපක්ෂ වූ කෙලෙස් සොල්වාලන හෙයින් ප්රතිපත්තියට අංග වූවෝද මොවුහු වෙති’යි ධුතංගයයි කියන ලද්දාහ. අකුසල හේතුවෙන් කිසිවෙක් ‘ධුත’ නම් නොවේ. යමකුට මේ අකුශල අංගයෝ වෙත්ද, හේ තෙමේ අකුශල වූ කිසිවක් ධුනනය නොකරයි. ධුනනය (සොල්වාලීම) අංගයයි ගෙන එම අකුශල අංගයෝ ධුතංගයයි කියනු නොලබති, අකුශලය චීවර ලෝභාදිය ධුනනය නොකරයි, ප්රතිපත්තියට අංගද නොවේ, එහෙයින් අකුශලධුතංගයෙක් නැතැයි යන මෙය මනාකොට කියන ලද්දෙකි.
යම් (අභයගිරිවැසි) කෙනෙකුන්හට කුශලත්රික විනිර්මුක්ත ධුතංගයෙක් වේද, ඔවුනට අර්ථ වශයෙන් ධුතංගයෙක් නැත්මය. අවිද්යමාන වූයේ කවරක් සොල්වා හරිති’යි ධුතංග නම් වන්නේද? ධුත ගුණයන් සමාදන්ව පවතීය යන වචන විරෝධයද ඔවුන් වෙත පැමිණේ. එහෙයින් ඒ (අභයගිරික) මතය නොපිළිගත යුතුය. කුශලත්රික වශයෙන් කැරෙන වර්ණනාව මෙතෙකි.