ආරඤ්ඤිකඞ්ගකථා
ආරඤ්ඤිකංගයද ‘ගාමන්තසෙනාසනං පටික්‍ඛිපාමි, අරඤ්ඤිකඞ්ගං සමාදියාමි’ (ග්‍රාම සේනාසන පිළිකෙව් කරමි, ආරඤ්ඤිකංගය සමාදන් වෙමි යන මේ දෙපදයෙන් එකෙකින් සමාදානය සිදුවේ.
එම ආරණ්‍යකයා විසින් ග්‍රාමාන්ත සේනාසනය හැර ආරණ්‍යයෙහි අරුණු නැංවිය යුතුය. උපචාරය සමග ගෙන ගමම ග්‍රාමාන්ත සේනාසන නමි.
ගම නම්, එක්ගෙයක් හෝ බොහෝ ගෙවල් ඇති වැටපවුරුවලින් අවුරනලද හෝ නොලද, මිනිසුන් ඇති හෝ නැති යටත් පිරිසෙයින් සිවුමසකට වැඩි කලක් තවලමක් හෝ වාසය කළ කිසියම් ස්ථානයෙකි.
ග්‍රාමෝපචාර නම්, ඉදින් ඇවුරුණු ගමෙක, අනුරාධපුරයෙහි මෙන් දොරටු එලිපතු දෙකක් වේනම්, ඇතුල් එලිපත සිට සාමාන්‍ය බල ඇති මිනිසකු ගැසූ කැටක් වැටෙන තැන්ය. යම්සේ තරුණ ජනයා තම ශක්තිය දක්වමින් අත දිගහැර ගල්කැට විසිකරත්ද, මෙසේ විසිකළ කැටක් වැටෙන තැනින් ඇතුළතයයි විනයධරයෝද, කපුටන් වැලකීමට ගසනලද කැටක් වැටෙන තැන්යයි සෞත්‍රාන්තිකයෝද එහි ලක්‍ෂණ කියති. නොඇවුරුණු ගමෙක නම්, අන්තිම කෙළවර පිහිටි ගෙහි දොරකඩ සිටි ස්ත්‍රියක් බඳුනෙකින් ඉවත ලන දිය වැටෙන තැන ගෘහෝපචාර නම්වේ. එතැන් සිට යට කී නයින් එක් ලෙඩ්ඩුපාතයක් (කැටක් වැටෙන දුර) ගමයි. දෙවන ලෙඩ්ඩුපාතය ග්‍රාමෝපචාරයයි.
අරණ්‍යය වනාහි විනය නයින් ‘ග්‍රාමයද, ග්‍රාමෝපචාරයද හැර මේ සියල්ල ආරණ්‍යය’යි කියනලදී. අභිධර්ම නයින්, ‘එලිපත සිට පිටතට නික්මුණු තැන් පටන් සියල්ල ආරණ්‍යය’යි කියනලදි. මෙහි සෞත්‍රාන්තික නයින් ‘ආරණ්‍ය සේනාසන නම් අවම වශයෙන් දුනු පන්සියයක් දුර වේ’ යන මේ ලක්‍ෂණයි. අවුරනලද ගමෙක නම් එලිපතෙහි සිටද, නොඇසුරුණු ගමෙක නම් ප්‍රථම ලෙඩ්ඩුපාතයෙහි සිටද විහාර ප්‍රාකාරය දක්වා මැන එය නිශ්චය කරගත යුතුය.
ඉදින් විහාරයද නොඇවුරන ලදනම්, එහි පළමුවැනි සෙනස්න හෝ බත්හල හෝ, නිතර රැස්වන තැන හෝ, බෝධි වෘක්‍ෂය හෝ, චෛත්‍යය හෝ, සියල්ලට පෙරටුව පිහිටි සෙනස්නෙහි සිට යමක් දුරින්ම පිහිටියේද එය හිමි කොට ගැනීම කළ යුතුයයි විනය අටුවාවන්හි කියනලදි. මැදුම්සඟි අටුවායෙහි වනාහි විහාරයටද ග්‍රාමඋපචාරයට මෙන්ම ගෙන ලෙඩ්ඩුපාතයන් දෙක අතර දුර මිනිය යුතුයයි කියනලදි. මේ මෙහි ප්‍රමාණයි.
ඉදින් අසල ගමක් ඇත්නම්, විහාරයෙහි සිටිනවුන්හට මිනිසුන්ගේ කටහඬ ඇසේනම්, පර්වත, නදී ආදිය නිසා කෙළින්ම යා නොහැකිනම්, එහි යාහැකි ස්වාභාවික මාර්ගයක් ඇත්නම් එයද, ඉදින් නැවෙන් යායුතු නම් එම මාර්ගයෙන් පන්සියයක් දුනු ගත යුතුය. යම් කිසිවකු වනාහි අසල්ගමට අවශ්‍ය මෙකී අංග (කෘත්‍රිමව) ඇති කරනු පිණිස ඒ ඒ තැන ඇති මංපෙත් වැසුවහොත් මේ තෙමේ ධුතංගචෝරයෙක් වේ.
ඉදින් ආරණ්‍යක භික්‍ෂූහුගේ උපාධ්‍යායයන් හෝ ආචාර්යයන් ගිලන් වුවහොත්, වනයෙහි සප්පාය නොලැබෙතොත් ග්‍රාමාන්ත සේනාසනයට ගෙන අවුත් උපස්ථාන කළයුතුය. වේලාසනින් නික්ම ගොස් නියමිත අංග සහිත ස්ථානයෙහිදී අරුණු නැංවිය යුතුය. ඉදින් අරුණු නැගෙන අවස්ථාවෙහිදී ඔවුන්ගේ ආබාධය උත්සන්නවේනම් ඔවුන් කළයුතු කාර්යයම කළයුතුය. එහිදී ධුතංගය පිරිසුදු කරන්නකු නොවිය යුතුය. මේ මෙහි පිළිපදනා විධිය.
ප්‍රභේද වශයෙන් වනාහි මෙයද තුන් වැදෑරුම් වේ. එහි උත්කෘෂ්ටයා විසින් සියලු කල්හිම අරණ්‍යයෙහි අරුණු නැංවිය යුතුය. මධ්‍යමයාට වස් සාරමස ග්‍රාමාන්තයෙහි විසීමට අවසර ඇත. මෘදුක තෙමේ හේමන්ත කාලයෙහි විසීමටද අවසර ලබයි.
මේ තිදෙනාටම නියමිත කාලය තුළ අරණ්‍යයෙන් අවුත් ග්‍රාමාන්තයෙහි සිට දහම් අසන විටෙක අරුණු නැංගද ධුතංගය නොබිඳේ. දහම් අසා පෙරළා (අරණ්‍යයට) යන්නවුනටද අතරමඟදී අරුණු නැගියද නොබිඳේ. ඉදින් ධර්මකථිකයා නැගීසිටි පසුද මඳ වේලාවක් වැදහෙව යන්නෙමැ’යි නිදනවිට අරුණු නැංගහොත් හෝ, සිය කැමැත්තෙන් ග්‍රාමාන්තයෙහි (සිටියදී) අරුණු නැගෙන්නට දුනහොත් හෝ ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.