ඛලුපච්ඡාභත්තිකඞ්ගකථා
ඛලුපච්ඡාභත්තිකංගයද, අතිරිත්තභොජනං පටික්‍ඛිපාමි, ඛලුපච්ඡාභත්තිකඞ්ගං සමාදියාමි (අමතර බොජුන් පිළිකෙව් කරමි. ඛලුපච්ඡාභත්තිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එක්පාඨයෙකින් සමාදන්විය හැකිය.
ඒ ඛලුපච්ඡාභත්තිකයා විසින් වනාහි බොජුන් පවරාගැනීමෙන් පසු නැවත කැප කරවාගෙන වැළදීම නොකළයුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
ප්‍රභේද වශයෙන් වනාහි මෙයද, තුන්ආකාර වේ. එහි උත්කෘෂ්ට තෙමේ පළමු පිඬෙහි පවාරණයක් නැති හෙයින්, එය වළදමින් සිටියදී වෙනත් අහරක් පිළිකෙව් කළහොත් පවාරණය සිදුවන හෙයින් පළමුවන පිඬ වළඳා ඉක්බිති (පළමුව කැප කරවාගත් අහරෙහි වුවද) දෙවන පිඬ අනුභව නොකරයි. මධ්‍යම තෙමේ මෙසේම වෙනත් අහරක් පිළිකෙව් කෙරෙමින් නමුදු පළමුව පවරාගත් බොජුනෙහි දෙවන පිඬ අනුභව කරයි. මෘදුක තෙමේ අසුනෙන් නොනැඟිට සිටිතාක් පිඬු අනුභව කරයි.
බොජුන් පවාරණය කිරීමෙන් පසු වෙනත් අහරක් කැපකරවාගෙන වැළඳූ කෙණෙහි මේ තිදෙනාගේම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.
ආනිසංස මෙසේය: අමතර බොජුන් වැළදීමේදී සිදුවිය හැකි ඇවැත් දුරුවීමය, කෑදරකමින් දුරුවීමය, පසුව කැප කරවාගෙන වළදනු පිණිස ළඟ තබාගත් ආමිෂයක් නැතිබවය යළි අහර සෙවීමක් නැති බවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුකුල පැවතුම් ඇති බවය යන මේය.
පරියෙසනාය ඛෙදං න යාති න කරොති සන්නිධිං ධීරො
ඔදරිකත්තං පජහති ඛලුපච්ඡාභත්තිකො යොගී.
තස්මා සුගතප්පසත්‍ථං සන්තොසගුණාදිවුද්ධිසඤ්ජනනං
දොසෙ විධුනිතුකාමො භජෙය්‍ය යොගී ධුතඞ්ගමිදං
බුද්ධිමත් වූ ඛලුපච්ඡාභත්තික යෝගී තෙමේ (නැවත) ආහාර සෙවීමේ ආයාසයට නොපැමිණේ, අහර රැස්කොට ළඟ තබා ගැනීමද නොකරයි, අහරෙහි ගිජුකම් අත්හරියි.
එහෙයින් බුදුන් විසින් පසස්නාලද සතොස් ගුණාදියෙහි වැඩීම ඇතිකරවන මේ ධුතංගය කෙලෙස් දොෂයන් පලවාහරිනු කැමැති රෝගී තෙමේ භජනය කරන්නේය.
මේ ඛලුපච්ඡාභත්තිකංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.
ආරඤ්ඤිකඞ්ගකථා
ආරඤ්ඤිකංගයද ‘ගාමන්තසෙනාසනං පටික්‍ඛිපාමි, අරඤ්ඤිකඞ්ගං සමාදියාමි’ (ග්‍රාම සේනාසන පිළිකෙව් කරමි, ආරඤ්ඤිකංගය සමාදන් වෙමි යන මේ දෙපදයෙන් එකෙකින් සමාදානය සිදුවේ.
එම ආරණ්‍යකයා විසින් ග්‍රාමාන්ත සේනාසනය හැර ආරණ්‍යයෙහි අරුණු නැංවිය යුතුය. උපචාරය සමග ගෙන ගමම ග්‍රාමාන්ත සේනාසන නමි.
ගම නම්, එක්ගෙයක් හෝ බොහෝ ගෙවල් ඇති වැටපවුරුවලින් අවුරනලද හෝ නොලද, මිනිසුන් ඇති හෝ නැති යටත් පිරිසෙයින් සිවුමසකට වැඩි කලක් තවලමක් හෝ වාසය කළ කිසියම් ස්ථානයෙකි.
ග්‍රාමෝපචාර නම්, ඉදින් ඇවුරුණු ගමෙක, අනුරාධපුරයෙහි මෙන් දොරටු එලිපතු දෙකක් වේනම්, ඇතුල් එලිපත සිට සාමාන්‍ය බල ඇති මිනිසකු ගැසූ කැටක් වැටෙන තැන්ය. යම්සේ තරුණ ජනයා තම ශක්තිය දක්වමින් අත දිගහැර ගල්කැට විසිකරත්ද, මෙසේ විසිකළ කැටක් වැටෙන තැනින් ඇතුළතයයි විනයධරයෝද, කපුටන් වැලකීමට ගසනලද කැටක් වැටෙන තැන්යයි සෞත්‍රාන්තිකයෝද එහි ලක්‍ෂණ කියති. නොඇවුරුණු ගමෙක නම්, අන්තිම කෙළවර පිහිටි ගෙහි දොරකඩ සිටි ස්ත්‍රියක් බඳුනෙකින් ඉවත ලන දිය වැටෙන තැන ගෘහෝපචාර නම්වේ. එතැන් සිට යට කී නයින් එක් ලෙඩ්ඩුපාතයක් (කැටක් වැටෙන දුර) ගමයි. දෙවන ලෙඩ්ඩුපාතය ග්‍රාමෝපචාරයයි.