ධුතඞ්ගපකිණ්ණකකථා
ඉක්බිති,
කුසලත්තිකතො චෙව ධුතාදීනං විභාගතො
සමාසව්යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
සමාසව්යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
කුශල, අකුශල, අඛ්යාකත යන ත්රිකය වශයෙන්ද, ධුත, ධුතවාද ආදී විභාග වශයෙන්ද, සමස්ත වශයෙන් හා විග්රහ වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුය යන
මේ ගාථාවෙහි දක්වන ලද ආකාරයෙන් විස්තර වර්ණනාව වන්නේය.
එහි කුසලත්තිකතො යනු සියලුම ධුතංගයෝ ශෛක්ෂ්ය, පෘථග්ජන, ක්ෂීණාශ්රව වශයෙන් කුශලද, අඛ්යාකතද වන්නේය. අකුශල ධුතංගයෙක් නැත.
යමෙක් වනාහි ‘පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤිකො හොති’ (පවිටු අදහස් ඇත්තේ තෘෂ්ණාවෙන් මඩනා ලද්දේ ආරණ්යක වේද) යන ආදිය කියනලද හෙයින් අකුශල ධුතංගයෙක්ද ඇතැ’යි කියන්නේ නම්, ඔහුට මෙසේ කිවයුතුය. ‘අකුසල් සිතින් අරණ්යයෙහි නොවෙසෙතැ’යි නොකියමු, යමකුට අරණ්යය වාසස්ථානය වේනම් හෝ ආරණ්යකයෙකි, ඔහු පවිටු අදහස් ඇත්තකු හෝ අල්පේච්ඡයකු විය හැකිය, මොහු වනාහි ඒ ඒ ධුතංගය සමාදන්වීමෙන් සොල්වාලූ කෙලෙස් ඇති හෙයින් ධුත නම්වූ භික්ෂුවගේ අංගයෝය, කෙලෙස් සොල්වාලන හෙයින් ‘ධුත’ යන වහර ලැබූ ඤාණය මොවුනට අංග වෙති’යි හෝ ධුතංග නම් වෙති, නැතහොත් ධුතවූවෝද, ප්රතිපක්ෂ වූ කෙලෙස් සොල්වාලන හෙයින් ප්රතිපත්තියට අංග වූවෝද මොවුහු වෙති’යි ධුතංගයයි කියන ලද්දාහ. අකුසල හේතුවෙන් කිසිවෙක් ‘ධුත’ නම් නොවේ. යමකුට මේ අකුශල අංගයෝ වෙත්ද, හේ තෙමේ අකුශල වූ කිසිවක් ධුනනය නොකරයි. ධුනනය (සොල්වාලීම) අංගයයි ගෙන එම අකුශල අංගයෝ ධුතංගයයි කියනු නොලබති, අකුශලය චීවර ලෝභාදිය ධුනනය නොකරයි, ප්රතිපත්තියට අංගද නොවේ, එහෙයින් අකුශලධුතංගයෙක් නැතැයි යන මෙය මනාකොට කියන ලද්දෙකි.
යම් (අභයගිරිවැසි) කෙනෙකුන්හට කුශලත්රික විනිර්මුක්ත ධුතංගයෙක් වේද, ඔවුනට අර්ථ වශයෙන් ධුතංගයෙක් නැත්මය. අවිද්යමාන වූයේ කවරක් සොල්වා හරිති’යි ධුතංග නම් වන්නේද? ධුත ගුණයන් සමාදන්ව පවතීය යන වචන විරෝධයද ඔවුන් වෙත පැමිණේ. එහෙයින් ඒ (අභයගිරික) මතය නොපිළිගත යුතුය. කුශලත්රික වශයෙන් කැරෙන වර්ණනාව මෙතෙකි.
ධුතාදීනං විභාගතො යනු, ‘ධුත’ නම් වනුයේ කවරෙක්දැයි දතයුතුය, ධුතවාද යනු කිමෙක්දැයි දතයුතුය. ධුතධර්මයන් හඳුනාගත යුතුය. ධුතංග සේවනය කවරකුට සප්පායවේදැ’යි දතයුතුය.
එහි ධුත යනු, කෙලෙස් සොල්වා හළ පුද්ගලයා හෝ කෙලෙස් සොල්වා හරින ධර්මය හෝ වේ.
ධුතවාද යන මෙහි වනාහි, ධුතවාදී නොවන ධුතයෙක් ඇත, ධුත නොවන ධුතවාදියෙක් ඇත, ධුතද නොවූ ධුතාවාදීද නොවූවෙක් ඇත, ධුතද වන ධුතවාදීද වන කෙනෙක්ද ඇත.
එහි යමෙක් තෙමේ ධුතංග බලයෙන් තමාගේ කෙලෙස් සොල්වා හළේද, බක්කුල තෙරුන් මෙන් දුතංගයන් පිළිබඳව අනුන්හට අවවාද නොකෙරේද, අනුශාසනා නොකෙරේද, මොහු ධුතවාදී නොවන ධුතයෙකි. කියනලද මැයි, ‘මේ ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ‘ධුත’ වෙති, ධුතවාදී නොවෙති.’ යමෙක් වනාහි ධුතංගයෙන් තමාගේ කෙලෙස් සොල්වා නොහළේද, උපනන්ද තෙරුන් මෙන් හුදෙක් ධුතංගයන් ගැන අනුනට අවවාද අනුශාසනා කෙරේද මොහු ධුත නොවන ධුතවාදියෙකි. කියන ලද මැයි: මේ ආයුෂ්මත් උපනන්ද තෙරණුවෝ ධුත නොවෙති, ධුතවාදී වෙති.’ යමෙක් වනාහි ලාලුදායී තෙරුන් මෙන් දෙකින්ම තොර වූයේද හේ තෙමේ ධුත නොවන්නකු මෙන්ම ධූතවාදීද නොවන්නෙකි. කියන ලදමැයි: ‘මේ ආයුෂ්මත් ලාලුදායී තෙරණුවෝ ධුතද නොවෙති, දුතවාදීද නොවෙති.’ යමෙක් වනාහි ධම්මසේනාපති සැරියුත් තෙරුන් මෙන් දෙකින්ම යුතුවූයේද, මේ තෙමේ ධුතද ධුතවාදීද වූවෙකි. කියනලද මැයි: ‘මේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධුතද වෙති, ධුතවාදීද වෙති.’
ධුතධම්මා වෙදිතබ්බා යනු, අල්පේච්ඡතාව, සන්තුෂ්ටතාව සල්ලේඛතාව (කෙලෙස් මැඩීමෙහි යෙදුණු බව), පවිවෙකතා (විවේකී බව) ඉදමට්ඨිතා (මෙයම ප්රයෝජනකොට ඇතිබව) යන මේ ධුතංග චේතනාවට පරිවාර වූ ධර්මයෝ ‘අප්පිච්ඡං යෙව නිස්සාය’ යන ආදිය කී හෙයින් ධුතධම්ම නම් වෙති. එහි අල්පේච්ඡතාව හා සන්තුෂ්ටතාව ආලෝභයෙහි ඇතුළත් වේ, සල්ලේඛතාව හා පවිවෙකතාව අලෝහ අමෝහ යන ධර්ම දෙකෙහිම ඇතුළත් වේ. ඉදමට්ඨිතා යනු ඥානයමැයි. එහි අලෝහයෙන් ප්රතිපක්ෂ වස්තූන් කෙරෙහි ලෝභයද, අමෝහයෙන් එම වස්තූන් කෙරෙහිම වූ ආදිනවයන් මුවහ කරන මෝහයද තුරන් කරයි. අලෝභයෙන්ම අනුඥාත වස්තූන් පරිහරණය කිරීම් වශයෙන් පවත්නා කාමසුඛානුයෝගයද, අමෝහයෙන් ධුතංග විෂයෙහි අතිසල්ලේඛ වශයෙන් පවත්නා අත්තකිලමථානුයෝගයද තුරන් කරයි. එහෙයින් මේ ධර්මයෝ ධුතධම්මයයි දතයුතුය.
ධුතඞ්ගානි වෙදිතබ්බානි යනු, තෙළෙස් ධුතංගයෝ-පංසුකුලිකංගය-පෙ-නෙසජ්ජිකංගයයි යන තෙළෙස් ධුතංගයෝ දතයුත්තාහ. ඒ ධුතංගයෝ අර්ත්ථ වශයෙන්ද ලක්ෂණාදි වශයෙන්ද කියන ලද්දාහුමය.
කස්ස ධුතඞ්ගසේවනා සප්පායා? යනු, කවරකුහට ධුතංගසේවනය ශුභඵලදායක වේදැයි යතහොත්, රාගචරිතයාට හා මෝහචරිතයා හටයි. කවර හෙයින්දයත්, ධුතංග සේවනය වනාහි දුක් සහිත ප්රතිපදාවක් මෙන්ම කෙලෙස් මඩින විහරණයක්ද වේ, දුක්සහිත ප්රතිපදාවක් වන හෙයින් රාගය සන්සිඳේ. කෙලෙස් මැඩීමේ උපායක් වනහෙයින් එහි අප්රමාද වූවහුගේ මෝහය පහවීයයි. මෙහි ආරඤ්ඤිකංග, රුක්ඛමූලිකංග යන දෙක සේවනය කිරීම දොසචරිතයාහට ශුභඵලදායක වේ. එහි වනාහි ගැටීමෙකින් තොරව වාසය කරන ඔහුගේ ද්වේෂය සන්සිදේ. මේ ධුතාදීන් පිළිබඳ විභාග වශයෙන් කරන ලද විස්තරයයි.