නාමරූපපච්චයාසළායතනපදවිත්ථාරකථා
“නාමරූප පච්චයා සළායතනං’’ යන පදයෙහි:-
නාමං ඛන්‍ධත්තයං රූපං භූතවත්‍ථාදිකං මතං
කතෙකසෙසං තං තස්ස තාදිසස්සෙව පච්චයො
‘නාමං’ යනු (වේදනා ආදී) ස්කන්‍ධත්‍රයයිද, ‘රූපං’ යනු, මහාභූත හා වස්තු ආදියයිද දන්නා ලදි. ඒකශේෂ කරන ලද යම් (නාමයක් හෝ රූපයක්) වේද, එය එවැනිම වූ ආයතනයට ප්‍රත්‍යය වේ.
සළායතනයට ප්‍රත්‍යයවූ යම් මේ නාමරූපයක් වේද, එහි, ‘නාම’ යනු වේදනා ආදීවූ ස්කන්‍ධත්‍රයයයි. ‘රූප’ නම් ස්ව-සන්තතියෙහි ඇතුළත් සතර මහාභූතය, ෂඩ්-වස්තුය, ජීවිතේන්‍ද්‍රියය යන මේ භූත වස්තු ආදිය වශයෙන් දන්නාලදැයි දතයුතුය. එය වනාහි නාමය, රූපය, නාම-රූපයයි මෙසේ ඒකශේෂ කරන ලද ෂෂ්ටායතනයද ෂඩායතනයටම ප්‍රත්‍යය වෙති’යි දතයුතුය. කවර හෙයින්ද යත්, අරූපභවයෙහි හුදෙක් නාමයම ප්‍රත්‍යය වන හෙයින් හා එසේ ප්‍රත්‍යය වනුයේද ෂෂ්ටායතනයටම මිස අනෙකකට නොවන හෙයිනි. ‘නාම පච්චයා ඡට්ඨායතනං’ (නාමය ප්‍රත්‍යය කොට ගෙන සවැනි ආයතනය වෙති’යි’) විභඞ්ගයෙහි කියන ලදමැයි.
එහිලා මෙවන් පැනයක් නැගිය හැකිය:- නාමරූපය ෂඩායතනයට ප්‍රත්‍යය වෙති’යි යන මෙය කෙසේ දතහැකිද? යනුවෙනි. නාමරූපයන් ඇති කල්හිම (සළායතනයන්) වන හෙයිනි. ඒ ඒ නාමයද රූපයද ඇති කල්හි මිස අන් ලෙසකින් ඒ ඒ ආයතනය, නොවන හෙයිනි. (ෂඩායතනයන් පිළිබඳ වූ) එම තද්භාව භාවිතාව (නාමරූපයන් ඇතිවිටම ආයතනයන් පහළ වීම පිළිබඳ විනිශ්චයය) මතු පච්චයනයයෙහිම පළට වන්නේය. එහෙයින්:-
පටිසන්‍ධියං පවත්තෙවා හොති යං යස්ස පච්චයො
යථා ච පච්චයො හොති තථා නෙය්‍යං විභාවිනා
ප්‍රතිසන්‍ධියෙහි හෝ වේවා, පැවැත්මෙහි හෝ වේවා, යමක් යමකට ප්‍රත්‍යය වීමද, එසේ ප්‍රත්‍යය වන ආකාරයද නුවණැත්තහු විසින් විමසා දතයුතුය.
එහි අර්ත්‍ථ ප්‍රකාශනය මෙසේයි:-
නාමමෙවහි ආරුප්පෙ පටිසන්‍ධි පවත්තිසු
පච්චයො සත්තධා ඡද්ධා හොති තං අවකංසතො
අරූප භවයෙහි වනාහි ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති යන දෙක්හිම හුදු නාමයම සත් ආකාරයෙකින් හෝ අවම වශයෙන් ස-ආකාරයෙකින් හෝ (ආයතනයනට) ප්‍රත්‍යය වේ.
කෙසේද? යත්:- පළමුකොට, ප්‍රතිසන්‍ධියෙහිදී අවම වශයෙන් සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, විපාක, අත්‍ථි හා අවිගත වශයෙන් සත් ආකාරයෙකින් නාමය සවන (මන) ආයතනයට ප්‍රත්‍යය වේ. මෙම නාමයන් අතුරෙන් කිසිවක් හේතු ප්‍රත්‍යය වශයෙන්ද, කිසිවක් ආහාර ප්‍රත්‍යය වශයෙන්දැ’යි මෙසේ අන් ආකාරයෙකින්ද ප්‍රත්‍යය වේ. ඒ අනුසාරයෙන් උත්කර්ෂාවකර්ශය (උපරිම -අවමය) දතයුතුය.
[missing trans]
අඤ්ඤස්මිම්පි භවෙ නාමං තථෙව පටිසන්‍ධියං
ඡට්ඨස්ස ඉතරෙසං තං ඡහාකාරෙහි පච්චයො
අන්‍යවූ පංචවෝකාර භවයෙහිද, ප්‍රතිසන්‍ධියෙහිදී එම විපාක නාමය එසේම (සත් ආකාරයෙකින්) සවැන්නටද, ෂඩාකාරයෙකින් සෙසු ආයතන පසටද ප්‍රත්‍යය වේ.
අරූපභවය හැර සෙසු පංචවෝකාර භවයෙහි එම විපාක නාමය හදය වත්‍ථු රූපයට සහායවීමෙන්, අරූප භව විෂයයෙහි සවන (මන) ආයතනය පිළිබඳව කී නයින්ම අවම වශයෙන් සත් ආකාරයෙකින් ප්‍රත්‍යය වේ. චක්‍ඛු ආදී වූ සෙසු (ආයතන) පස විෂයයෙහි සතර මහාභූතයනට සහායව සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත අත්‍ථි හා අවිගත වශයෙන් ෂඩාකාරයෙකින් ප්‍රත්‍යය වේ; එම නාමයන් අතුරෙන් කිසිවක් හේතු ප්‍රත්‍යය වශයෙන්ද, කිසිවක් ආහාර ප්‍රත්‍යය වශයෙන්දැ’යි මෙසේ අන් අයුරකින්ද ප්‍රත්‍යය වේ. ඒ අනුසාරයෙන් උපරිම අවමය දතයුතුය.
පවත්තෙපි තථා හොති පාකං පාකස්ස පච්චයො,
අපාකමවිපාකස්ස ඡධා ඡට්ඨස්ස පච්චයො
ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) ද එම ආකාරයෙන්ම විපාක නාමය විපාක වූ (මන) ආයතනයට ප්‍රත්‍යය වේ; අවිපාක නාමය අවිපාක වූ සවන (මන) ආයතනයට සය ආකරයෙකින් ප්‍රත්‍යය වේ.
ප්‍රවෘත්තියෙහිදී- වනාහි, පංචවෝකාර භවයෙහි ප්‍රතිසන්‍ධියෙහිදී යම් සේද, එසේම විපාක නාමය විපාක වූ සවන ආයතනයට අවම වශයෙන් සත් ආකාරයෙකින් ප්‍රත්‍යය වේ; අවිපාක නාමය වනාහි අවිපාක වූ සවන ආයතනයට එයින් (එකී සත් ආකාරයෙන්) විපාක ප්‍රත්‍යය හැර, අවම වශයෙන් ස-ආකාරයෙකින් ප්‍රත්‍යය වේ. මෙහි උපරිම-අවම ආකාරය කියන ලද නයින්ම දතයුතුය.
තත්‍ථෙව සෙඩපඤ්චන්නං විපාකං පච්චයො භවෙ
චතුධා අවිපාකම්පි එවමෙව පකාසිතං
එහි (පැවැත්මෙහි) දීම, සෙසු චක්‍ෂුරායතනාදී පසට විපාක නාමය සිවු අයුරෙකින් ප්‍රත්‍යය වේ; අවිපාක නාමයද එසේම (ප්‍රත්‍යය) වෙති’යි ප්‍රකාශිතයි.
එම පැවැත්මෙහිදීම ඉතිරි චක්‍ෂුරායතනාදී පංචකයට චක්‍ඛුප්පසාදාදිය වස්තුකොට ඇති අන්‍ය වූ විපාක නාමයද පච්ඡාජාත, විප්පයුත්ත, අත්‍ථි හා අවිගත ප්‍රත්‍යය වශයෙන් සිවු අයුරෙකින් ප්‍රත්‍යය වේ. විපාක නාමය යම්සේද, අවිපාක නාමයද එසේම වෙති’යි ප්‍රකාශිතයි. එහෙයින් කුශලාදී භේද ඇති එම නාමයද පංචායතනයනට සිවු අයුරෙකින් ප්‍රත්‍යය වෙති’යි දතයුතුය. මෙසේ පළමුකොට (හුදු) නාමයම ප්‍රතිසන්‍ධියෙහි හෝ වේවා, ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) හෝ වේවා, යම් යම් ආයතනයකට ප්‍රත්‍යය වේද, (එසේම) යම් යම් ආකාරයෙකින් ප්‍රත්‍යය වේද, ඒ ඒ ආකාරයෙන් දතයුතුය.