සළායතනපච්චයාඵස්සපදවිත්ථාරකථා
“සළායතන පච්චයා ඵස්සො’’ (ෂඩ් ආයතනයන් ප්රත්යයකොට ගෙන ස්පර්ශය වේ) යන පදයෙහි:-
සළෙව ඵස්සා සඞ්ඛෙපා චක්ඛු සම්ඵස්ස ආදයො
විඤ්ඤාණමිව ඛත්තිංස විත්ථාරෙන භවන්ති තෙ
විඤ්ඤාණමිව ඛත්තිංස විත්ථාරෙන භවන්ති තෙ
සංක්ෂේප වශයෙන් වනාහි චක්ඛු සම්ඵස්ස ආදී ස්පර්ශයෝ සයක්ම වෙති; විස්තර වශයෙන් ඔහු විඤ්ඤාණය මෙන්ම දෙතිසක් වෙති.
සංක්ෂේප වශයෙන් වනාහි “සළායතන පච්චයා ඵස්සො” යනුවෙන්, චක්ඛුසම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය, මනෝසම්ඵස්සය යනුවෙන් මෙකී චක්ඛු සම්ඵස්ස ආදී වූ ස්පර්ශයෝ සයක්ම වෙති; විස්තර වශයෙන් වනාහි චක්ඛු සම්ඵස්ස ආදිය කුශල විපාක පසෙක, අකුශල විපාක පසෙකැ’යි යනුවෙන් දසයක්ද, ලෞකික විඤ්ඤාණ දෙවිස්ස හා යෙදුණු ඉතිරි ස්පර්ශ දෙවිස්සක්දැ’යි මෙසේ මේ සියල්ලම, සංඛාර ප්රත්යය කොට ඇතැයි කියන ලද විඤ්ඤාණය මෙන්ම දෙතිසක් වෙති.
මෙකී දෙතිස් වැදෑරුම්වූද, ඵස්සයට ප්රත්යය වූ යම් ආයතන සයක් වේද, එහි:-
ඡට්ඨෙන සහ අජ්ඣත්තං චක්ඛාදිං බාහිරෙහිපි
සළායතන මිච්ඡන්ති ඡහි සද්ධිං විචක්ඛණා
සළායතන මිච්ඡන්ති ඡහි සද්ධිං විචක්ඛණා
නුවණැත්තෝ සවන (මන) ආයතනය හා සමග චක්ඛු ආදී අභ්යන්තර ආයතන පස ෂඩායතන-වශයෙන් රිසිවෙති. (මහාවිහාරය තුළම වූ අභ්යන්තර ආචාර්යවාදයකට අනුව) කෙනෙක් රූප ආදී බාහිර ආයතන සයද සමග ගෙන සළායතන වශයෙන් රිසි වෙති.
එහි පළමුකොට, යම් ආචාර්ය කෙනෙක්, ‘මේ උපාදින්නක පවත්ති කථා (කර්ම ඵල වශයෙන් ලත් ජීවිත ප්රවෘත්ති කථා) යයි ගෙන ප්රත්යයද ප්රත්යයෝත්පන්නයද ස්වසන්තතියට ඇතුළත් කොට දක්වත්ද, ඔවුහු ‘ඡට්ඨායතන පච්චයා ඵස්සො’ (සවන (මන) ආයතනය ප්රත්යය කොට ගෙන ඵස්සය වේ) යන (අභිධම්ම භාජනීය) පාළි අනුසාරයෙන්, අරූප භවයෙහිදී සවන ආයතනයද, සෙසු තන්හිදී සියල්ල සංග්රහ කොට ගත් ෂඩායතනයද එයට ප්රත්යය වෙති’යි ඒක දේශයෙකින් ස්වරූප ඒකශේෂ කොට සවන ආයතනය හා සමග චක්ඛු ආදී අභ්යන්තර ආයතන (පස) සළායතන වශයෙන් රිසි වෙති. එසේ ගන්නා ලද සවන ආයතනයද, ෂඩ් ආයතනයෝද සළායතන සංඛ්යාවටම යෙති.
යම් ආචාර්ය කෙනෙක් වනාහි, හුදෙක් ප්රත්යයෝත්පන්න ධර්මයන්ම ඒකසන්තති (එකම සන්තියකට අයත්වූවන්) වශයෙන්ද, ප්රත්යය ධර්මයන් භින්න සන්තති (වෙනත් සන්තතියකට අයත් වූවන්) වශයෙන්ද දීපනය කෙරෙත්ද, ඔවුහු යම් යම් ආයතනයක් ඵස්සයට ප්රත්යය වේනම්, ඒ සියල්ලම දක්වමින්, බාහිර ආයතන සවන (මන) ආයතනය සමගද, (චක්ඛු ආදී) අභ්යන්තර ආයතන (රූපාදී) බාහිර ආයතන සමගද ගෙන සළායතන වශයෙන් රිසි වෙති. මෙසේ එකී සවන (මන) ආයතනයද, ෂඩ් ආයතනයද යන දෙක ඒකශේෂ කළ කල්හි සළායතන සංඛ්යාවටම යෙයි.
මෙහිලා චෝදනාවක් (පැනයක්) නඟති, එනම්: සියලු ආයතනයන්ගෙන් එක්ම ඵස්සයක් හෝ එක් ආයතනයෙකින් ඵස්සයන් සියල්ලම හෝ නොහටගනී; එහෙත් මේ පදය ‘සළායතන පච්චයා පස්සො’යි එකක්ම කියයි. ඒ කවර හෙයින්ද? යනුවෙනි. මේ එහි පරිහාරය (විසඳීම) යි:- මෙය සැබවි, සියල්ලෙන්ම එකක් හෝ එකෙකින් සියල්ලම හෝ නොහට ගනියි; නොයෙක් ආයතනයන්ගෙන් එක් ඵස්සයක් හටගනීමැයි, යම්සේ චක්ඛු සම්ඵස්සය චක්ඛායතන රූපායතන, චක්ඛු විඤ්ඤාණ සංඛ්යාත මනායතන, අවශේෂ සම්පයුත්ත ධම්මායතන යන මේ අනේක ආයතනයන්ගෙන් හටගනීද, එසේය, සියලු තන්හි මෙසේ සුදුසු පරිද්දෙන් යෙදිය යුතුය. එහෙයින්ම:
එකො පනායතනප්පභවො ඉති දීපිතො
ඵස්සොයං එකවචන නිද්දෙසෙනිධ තාදිනා
ඵස්සොයං එකවචන නිද්දෙසෙනිධ තාදිනා
මෙහිලා ඒකවචන කොට දැක්වීමෙන් මෙකී ඵස්සය එකක්වද අනේකායතනයන්ගෙන් වියහැකි බව තාදීවූ තතු දත් බුදුරදුන් විසින් දක්වන ලදි.
‘ඒකවචන නිද්දේසෙන’ යනු, ‘සළායතන පච්චයා ඵස්සො’ යන මෙහි ‘ඵස්සො’ යයි ඒකවචනයෙන් දැක්වීමෙන් අනේක ආයතනයන්ගෙන් එක් ඵස්සයක් වුවද වෙතැ’යි තතුදත් බුදුරදුන් විසින් දක්වන ලදැ’යි යන අර්ත්ථයි. ආයතනයන් අතුරෙන් වනාහි:-
ඡධා පඤ්ච තතො එකං නවධා බාහිරානි ඡ
යථා සම්භවමෙතස්ස පච්චයත්තෙ විභාවයෙ.
යථා සම්භවමෙතස්ස පච්චයත්තෙ විභාවයෙ.
(චක්ඛායතනාදී) පස ස-අයුරෙකින්ද, ඉක්බිති එක්ම (විපාක මනායතනය) නව අයුරෙකින්ද, බාහිර (රූපාදී) ආයතන සය සුදුසු පරිදිද මේ (ඵස්සයට) ප්රත්යය භාවයෙහිලා විවරණ කරන්නේයි.
මේ එහි විවරණයයි: පළමුකොට චක්ඛු ආදී වූ ආයතන පස චක්ඛු සම්ඵස්ස ආදී භේද වශයෙන් පංචවිධ වූ ඵස්සයම නිස්සය, පුරේජාත, ඉන්ද්රිය, විප්පයුත්ත, අත්ථි, අවිගත යන ප්රත්යය වශයෙන් ස-අයුරෙකින් ප්රත්යය වේ; එයින් අන්ය වූ එක්ම විපාක මනායතනය නොයෙක් ප්රභේද ඇති විපාක මනෝ සම්ඵස්සයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, ඉන්ද්රිය, සම්පයුත්ත, අත්ථි, අවිගත යන ප්රත්යය වශයෙන් නව අයුරෙකින් ප්රත්යය වේ. බාහිර ආයතනයන් අතුරෙන් රූපායතනය චක්ඛු සම්ඵස්සයට ආරම්මණ, පුරේජාත, අත්ථි, අවිගත යන ප්රත්යය වශයෙන් සිවු අයුරෙකින් ප්රත්යය වේ; සද්දායතන ආදියද සෝත සම්ඵස්ස ආදියට එසේය. මනෝසම්ඵස්සයට වනාහි ඒ රූපායතනාදිය හා ධම්මාරම්මණයද හුදෙක් ආරම්මණ ප්රත්යය වශයෙන්ම ප්රත්යය වේ. මෙසේ බාහිර ආයතන සය ප්රත්යය භාවයෙහිදී සුදුසු පරිදි විවරණ කළයුතු වේ.