17. පඤ්ඤාභූමි නිද්දේසය
පටිච්චසමුප්පාදකථා
ඉක්බිති, ඛන්‍ධ-ආයතන-ධාතු-ඉන්‍ද්‍රියසච්ච-පටිච්චසමුප්පාද ආදී භේද සහිත ධර්මයන් මේ ප්‍රඥාවට භූමි වෙති’යි මෙසේ කියන ලද මේ ධර්මයන් අතුරෙන්, යම් හෙයකින් පටිච්ච සමුප්පාදයද ආදි ශබ්දයෙන් සංගෘහිත පටිච්ච සමුප්පන්න ධර්මයෝද ශේෂව ඇත්තාහුද, එහෙයින් මේ ධර්මයන් පිළිබඳ වර්ණනා ක්‍රමය පිළිවෙළින් එළඹියේය.
එහි පළමුකොට අවිජ්ජා ආදී ධර්මයෝ ‘පටිච්ච සමුප්පාද’ යයි දතයුත්තාහුය. කියනලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:-
‘මහණෙනි, ‘පටිච්චසමුප්පාද’ යනු කවරේද? මහණෙනි, අවිජ්ජාව ප්‍රත්‍යය කොට සඞ්ඛාරයෝද, සඞ්ඛාරයන් ප්‍රත්‍යය කොට විඤ්ඤාණයද, විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාම-රූප දෙකද, නාම-රූපයන් ප්‍රත්‍යය කොට සළායතනයෝද, සළායතනයන් ප්‍රත්‍යය කොට ඵස්සයද, ඵස්සය ප්‍රත්‍යය කොට වේදනාවද, වේදනාව ප්‍රත්‍යය කොට තණ්හාවද, තණ්හාව ප්‍රත්‍යය කොට උපාදානයද, උපාදානය ප්‍රත්‍යය කොට භවයද, භවය ප්‍රත්‍යය කොට ජාතියද, ජාතිය ප්‍රත්‍යය කොට ජරා-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝද හටගන්නාහුය, මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයෙහි හටගැනීම සිදුවන්නේය; මහණෙනි, මෙය පටිච්චසමුප්පාද’ යයි කියනු ලැබේ.”
ජරා-මරණ ආදීහු පටිච්ච සමුප්පන්න ධර්මයෝයයි දතයුත්තාහුය. කියන ලද මැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:-
“මහණෙනි, ‘පටිච්ච සමුප්පන්න ‘ධර්මයෝ කවරහුද? මහණෙනි, ජරා-මරණ දෙක අනිත්‍යය, සංඛතය, හේතුවෙකින් උපන්නේය, ක්‍ෂය වීම ස්වභාව කොට ඇත්තේය; වැය වීම ස්වභාව කොට ඇත්තේය; විරාගය (නො-ඇලීම) ස්වභාව කොට ඇත්තේය, නිරෝධය (නිවීයාම) ස්වභාව කොට ඇත්තේය. ජාති (ඉපදීම පෙ-භව-උපාදාන-තණ්හා-වේදනා-ඵස්ස-සළායතන-නාම-රූප-විඤ්ඤාණ-සංඛාර-අවිජ්ජා යන මොහු අනිත්‍යයහ. සංඛතයහ. පටිච්ච සමුප්පන්නයහ. ක්‍ෂයවීම ස්වභාව කොට ඇත්තාහ. වැය වීම ස්වභාව කොට ඇත්තාහ. විරාගය ස්වභාව කොට ඇත්තාහ. නිරෝධය (සංසිඳීම) ස්වභාව කොට ඇත්තාහ. මහණෙනි. මොහු පටිච්ච සමුප්පන්න ධර්මයෝය’යි කියනු ලබති.”
මෙහි සංක්‍ෂේපයයි. ‘පටිච්ච සමුප්පාද’ යනුවෙන් ප්‍රත්‍යය (හේතු) වන ධර්මයන්ද, ‘පටිච්ච සමුප්පන්න ධම්ම’ යනුවෙන් ඒ ඒ හේතුවෙන් නිපන් ධර්මයන්ද දතයුතුය. මෙය කෙසේ දතයුත්තේද? භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙනි; භාග්‍යවතුන් වහන්සේ විසින් වනාහි, පටිච්චසමුප්පාද-පටිච්ච සමුප්පන්න සූත්‍රයෙහි,
“මහණෙනි. ‘පටිච්ච සමුප්පාද යනු කවරේද? මහණෙනි, ජාතිය (ඉපැදීම) හේතුකොට ජරාමරණ දෙක වන්නේය; තථාගතයන්ගේ උත්පාද කාලයෙහි වුවද, අනුත්පාද කාලයෙහි වුවද එම මූලධර්මය, ස්වභාවික ස්ථිතිය, ස්වාභාවික නියාමය, ඉදප්පච්චයතාව (මේ හේතුවෙන් මේ ඵලය සිදු වේ’ යන නියමය) තිරව සිටියේම වේ. තථාගතවරයෝ එය මනාකොට වටහා ගනිති. අවබෝධ කොට ගනිති. ප්‍රකාශ කෙරෙති. දේශනා කෙරෙති. පණවති. පිහිටුවති. විවරණය කෙරෙති. විග්‍රහ කෙරෙති. ප්‍රකට කෙරෙති. බලවු යයි පෙන්වා දෙති. මහණෙනි, ජාති (ඉපැදීම) හේතුකොට ජරා-මරණ දෙක වන්නේය. මහණෙනි, භවය හේතු කොට ජාතිය වන්නේය. -පෙ- අවිජ්ජාව ප්‍රත්‍යය කොට සංඛාරයෝ වන්නාහුය. තථාගතයන්ගේ උත්පාද කාලයෙහි වේවා. අනුත්පාද කාලයෙහි වේවා. -පෙ- ප්‍රකට කෙරෙති. බලවුයයි පෙන්වති; මහණෙනි, ‘අවිජ්ජාව හේතුකොට සංඛාරයෝ වන්නාහුය.’ යන මෙහි යම් තථතාවක් (සැබෑ බවක්), අවිතථතාවක් (නොසැබෑ නොවන බවක්). අනඤ්ඤථතාවක් (නො-එසේ නොවන බවක්), ඉදප්පච්චයතාවක් (මේ හේතුවෙන් මේ ඵලය වෙතැ’යි යන බවක්) වන්නේද, මහණෙනි, මෙය ‘පටිච්චසමුප්පාද’ යයි කියනු ලැබේ.”