විඤ්ඤාණපච්චයානාමරූපපදවිත්ථාරකථා
‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ යන පදයෙහි:-
විභාග නාමරූපානං භවාදිසු පවත්තිතො,
සඞ්ගහා පච්චයනයා විඤ්ඤාතබ්බො විනිච්ඡයො
නාමරූපයන්ගේ විභාග වශයෙන්ද, භව ආදියෙහි ප්‍රවෘත්ති වශයෙන්ද, සංග්‍රහ වශයෙන්ද, ප්‍රත්‍යය නය වශයෙන්ද විනිශ්චය දතයුත්තේය.
‘විභාගා නාමරූපානං” යන මෙහි වනාහි, ‘නාමං’ යනු, අරමුණට අභිමුඛව නැමෙන හෙයින් වේදනා ආදීවූ ස්කන්‍ධත්‍රයයි; ‘රූපං’ යනු, සතර මහාභූත හා සතර මහා භූතයන් හා බැඳුණු උපාදාය රූපයි; ඔවුන්ගේ විභාගය ඛන්‍ධ නිද්දේසයෙහි කියන ලද්දේමය. මෙසේ මෙහි පළමුකොට නාමරූපයන් පිළිබඳ විභාග වශයෙන් විනිශ්චය දතයුතුය.
‘භවාදිසු පවත්තිතො’ යන මෙහිද, නාමය එක් සත්‍වාවාසයක් (අසඤ්ඤසත්තය) හැර සියලු භව-යෝනි-ගති-විඤ්ඤාණට්ඨිතීන් හා සෙසු සත්‍වාවාසයන්හි පවතී; රූපය (අරූපභවය හැර ඉතිරි) භව දෙකෙහිද, යෝනි සතරෙහිද, ගති පසෙහිද, ප්‍රථම විඤ්ඤාණට්ඨිති සතරෙහිද, සත්‍වාවාස පසෙක්හිද පවතී.
මෙසේ පවත්නාවූද මේ නාමරූප විෂයයෙහි, යම්හෙයකින් අභාවක (භාවරූප රහිත) ගබ්භ සෙය්‍යකයන් (මව්කුස හොත්තවුන්) හටද, අණ්ඩජයන්හටද, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි, වස්තු-කාය දශක වශයෙන්, රූපයන් අතුරෙන් සන්තති කලාප දෙකක්ද, අරූපී (නාම) ස්කන්‍ධ තුනක් පහළ වේද, එහෙයින් ඔවුනට විස්තර වශයෙන් රූප රූපයන්ගෙන් (නාමරූප) ධර්ම විස්සක්ද අරූප (නාම) ස්කන්‍ධ තුනක්දැයි යන මේ තෙවිස්ස විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් ඇතිවන නාමරූපයයි දතයුතුය. අ+ගහිත ගහණ (න+ගහිත ගහණ, වරක් ගන්නා ලද දෙය නැවත නොගැනීම්) වශයෙන් වනාහි එක් රූප කලාපයෙකින් රූප ධර්ම නවයක් හැර තුදුසෙකි. (ස්ත්‍රී පුරුෂ) භාවරූප සහිත ගබ්භ-සෙය්‍යකයනට භාවදශකයද ගෙන තෙතිසෙකි. එහිද අ-ගහිත ගහණ වශයෙන්, සන්තති කලාප දෙකෙන් අටළොසක් හළ විට පසළොසෙකි.
යම්හෙයකින් ඕපපාතික සත්‍වයන් අතුරින් බ්‍රහ්මකායිකාදීන්ගේ ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි, චක්‍ඛු-සෝත වත්‍ථුදසකයන්ගේද, ජීවිතින්‍ද්‍රිය නවක (ජීවිතින්‍ද්‍රියය නවවැන්න කොට ඇති) රූපයන්ගේද වශයෙන් රූපයන්ගෙන් සන්තති ශීර්ෂ සතරක්ද, අරූප ස්කන්‍ධ තුනක්ද පහළ වේද, එහෙයින් ඔවුන්හට විස්තර වශයෙන් රූපරූපයන්ගෙන් එකුන්සාළිස් ධර්මයක් හා සමග අරූප ස්කන්‍ධ තුනක්දැයි යන මේ දෙසාළිස් ධර්මයන් විඤ්ඤාණය ප්‍රත්‍යය කොට ඇති නාමරූපයයි දතයුතුය. අ-ගහිත ගහණයෙන් වනාහි සන්තතිශීර්ෂ තුනෙන් (තිසෙන්) සත්විසි ධර්මයන් හැර ඉතිරිය පසළොසෙකි.
කාම භවයෙහි වනාහි, යම්හෙයකින්, (ස්ත්‍රී-පුරුෂ) භාවසහිත පරිපූර්ණ ආයතන ඇති සෙසු ඕපපාතිකයන්ගේ හෝ සංසෙදජයන්ගේ ප්‍රතිසන්‍ධියෙහි රූප වශයෙන් සන්තති ශීර්ෂ සතක්ද අරූප ස්කන්‍ධ තුනක්ද පහළ වේද, එහෙයින් ඔවුනට විතර වශයෙන් රුපරූප ධර්මයන්ගෙන් සැත්තෑවක්ද, අරූපස්කන්‍ධ තුනක්දැයි යන තෙසැත්තෑවක් ධර්මයන් විඤ්ඤාණය ප්‍රත්‍යය කොට ඇති නාම -රූපයයි දතයුතුය. අගහිතගහණයෙන් වනාහි, රූප සන්තති ශීර්ෂ සයෙකින් සුපණසක් ධර්මයන් හැර එකුන් විස්සෙකි. මේ උපරිමයයි. අවම වශයෙන් වනාහි, රූපසන්තති ශීර්ෂ විකල වූවන් අතුරෙන් එකිනෙක අඩු කරමින් මෙසේ සංක්‍ෂේප වශයෙන්ද, විස්තර වශයෙන්ද, ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහිදී විඤ්ඤාණය ප්‍රත්‍යයකොට වන නාමරූප සංඛ්‍යාව දතයුතුය.
අරූපීන්හට වනාහි, අරූප ස්කන්‍ධ තුන පමණක් වේ; අසඤ්ඤීන්හට රූපයන්ගෙන් ජීවිතින්‍ද්‍රිය නවකය (ජීවිතින්‍ද්‍රියෙන් අවසන්වන භවය) පමණක් වේ. මේ ප්‍රතිසන්‍ධි විෂයයෙහි වූ නයයි.
ප්‍රවෘත්ති (ප්‍රතිසන්‍ධියෙහි පටන් චුතිය තෙක් වූ) කාලයෙහි රූපයන් පවත්නා සියලු තන්හි ප්‍රතිසන්‍ධි චිත්තය පිහිටි කෙණෙහිම, එම ප්‍රතිසන්‍ධි චිත්තය සමග පැවැති ඍතු (හෙවත් තේජෝ ධාතු)වෙන් ‘උතුසමුට්ඨාන’ ශුද්ධාෂ්ටකය පහළ වේ; ප්‍රතිසන්‍ධි චිත්තය වනාහි රූපයන් උපදවන්නේ නොවේ. එය වූකලී ප්‍රපාතයෙක්හි වැටුණු මිනිසකු අනෙකකුහට පිහිට වන්නට නොහැකි වන්නා සේ වස්තු දුර්වලතායෙන් දුර්වල වූ හෙයින් රූපයන් හටගැන්වීමට නොසමත් වේ; ප්‍රතිසන්‍ධි චිත්තයෙන් මතු ප්‍රථම භවාංගයෙහි පටන් චිත්තසමුට්ඨාන (සිතින් හටගන්නා) ශුද්ධාෂ්ටකයද, ශබ්දය පහළවූ කල ප්‍රතිසන්‍ධික්‍ෂණයෙන් මතු පැවැති සෘතු (තේජෝධාතු)වෙන් හා චිත්තයෙන් සද්ද නවකයද උපදියි. කබලිංකාරාහාරයෙන් ජීවත්වන ගබ්භසෙය්‍යක (මව්කුස හෝනා) යම් සත්‍ව කෙනෙක් වෙත්ද, ඔවුන් හට:-