සඞ්ඛාරපච්චයාවිඤ්ඤාණපදවිත්ථාරකථා
“සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං” යන පදයෙහි:- “විඤ්ඤාණං” යනු, සවැදෑරුම් චක්‍ඛු විඤ්ඤාණ ආදියයි, එහි චක්‍ඛු විඤ්ඤාණය කුසල විපාකය, අකුසල විපාකයයි දෙවැදෑරුම් වේ. සෝත, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණයෝද එසේය. මනෝවිඤ්ඤාණය: කුසල හා අකුසල විපාක වූ මනෝ විඤ්ඤාණ දෙකද, අහේතුක වූ මනෝවිඤ්ඤාණධාතු තුනද, සහේතුක වූ කාමාවචර විපාක සිත් අටද, රූපාවචර සිත් පසද, අරූපාවචර සිත් සතරදැ‘යි දෙවිසි වැදෑරුම් වේ. මෙසේ මේ ෂඩ්විඥානයෙන් දෙතිසක්වූ ලෞකික විපාක විඤ්ඤාණ සියල්ලම සංග්‍රහ කරන ලදි. එහෙත් ලෝකෝත්තර විපාක විඤ්ඤාණයන් (සංසාර) වට්ටය පිළිබඳ කථාව හා නොසැසඳෙන හෙයින් ඔහු නොගන්නා ලදහ.
මෙහිලා:- මෙකී ප්‍රකාර ඇති විඤ්ඤාණයන් සංකාර ප්‍රත්‍යයයෙන් වෙති’යි කෙසේ දතහැකිද යන චෝදනාව (ප්‍රශ්නය) නැඟිය හැකිය. උපචිත (රැස්කරන ලද) කර්මයක් නැති හෙයින් විපාකයක් නැති හෙයිනි යනු පරිහාරය (විසඳුම)යි. මෙකී (දෙතිස්) විඤ්ඤාණය විපාකයි. විපාකය වනාහි රැස් කළ කර්මයක් නැතිව නොඋපදියි. ඉදින් එසේ උපදිතොත්, සියලුම විඤ්ඤාණයනට සියලුම විපාකයන් ඉපැදිය යුතුය. එසේ නොඋපදනා හෙයින් සංඛාරයන් ප්‍රත්‍යයකොටගෙන වේ. විඤ්ඤාණය උපදිති’යි යන මේ කාරණය දතයුතුය.
කවර නම් සංඛාරයක් ප්‍රත්‍යය වීමෙන් කවර නම් විඤ්ඤාණයක් වන්නේද යත්, පළමුකොට, කාමාවචර පුඤ්ඤාභිසංඛාරයන් ප්‍රත්‍යය වීමෙන් කුසල විපාකවූ චක්‍ඛු විඤ්ඤාණාදී පසද, මනෝ විඤ්ඤාණයෙහි එක් මනෝධාතුවක්ද මනෝ විඤ්ඤාණ ධාතු දෙකද කාමාවචර මහාවිපාක අටදැයි කුශල්විපාකයෝ සොළොසක් වෙති. එහෙයින් කීහු:-
“කාමාවචර වූ කුශල කර්මයක් කරන ලද හෙයින්, රැස් කරන ලද හෙයින්, (එහි) විපාක වූ චක්‍ඛු විඤ්ඤාණය උපන්නේ වේ. -පෙ- සෝත- ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණය -පෙ- විපාකවූ මනෝධාතුව උපන්නේ වේ. සෝමනස්ස සහගත මනෝ විඤ්ඤාණ ධාතුව උපන්නේ වේ. උපෙක්ඛා සහගත මනෝවිඤ්ඤාණ ධාතුව උපන්නේ වේ; සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්තය හා සසංඛාර වශයෙන් උපන් සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්තයද, සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්තය හා සසංඛාරික වූ සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්තයද, උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්තය හා සසංඛාරික වූ උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්තයද, උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්තය හා සසංඛාරික වූ උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්තයද වේ”.
රූපාවචර පුඤ්ඤාභිසංඛාරයන් ප්‍රත්‍යය වීමෙන් රූපාවචර විපාක පස සිද්ධ වේ. යම්සේ කීහුද:-
“එම රූපාවචර කුසලවූ කර්මය කරන ලද හෙයින්, රැස් කරන ලද හෙයින්, කාමයන් කෙරෙන් දුරුව-පෙ- ප්‍රථමධ්‍යානයට -පෙ- පංචමධ්‍යානයට සමවැද විහරණය කෙරේ’’ යනු විපාකයි. මෙසේ පුඤ්ඤාභිසංඛාරයන් ප්‍රත්‍යය කොට විසිඑක් වැදෑරුම් විඤ්ඤාණය සිද්ධ වේ.
අපුඤ්ඤාභිසංඛාරයන් ප්‍රත්‍යය කොටගෙන චක්‍ඛු විඤ්ඤාණාදී වූ අකුසල විපාක පසද, එක් මනෝධාතුවක්ද, එක් මනෝවිඤ්ඤාණ ධාතුවක්දැ’යි මෙසේ අකුසල විපාක වූ සත්වැදෑරුම් විඤ්ඤාණය වේ. යම්සේ කීහුද:-
“අකුසල වූ කර්මයක් කරන ලද හෙයින්, රැස්කරන ලද හෙයින්, විපාකවූ චක්‍ඛු විඤ්ඤාණය උපන්නේ වේ. -පෙ-සෝත-ඝාණ-ජිව්හා-කාය විඤ්ඤාණය උපන්නේ වේ. විපාකවූ මනෝ ධාතුවද, විපාක වූ මනෝ විඤ්ඤාණ ධාතුවද උපන්නේ වේ.
ආනෙඤ්ජාභිසංඛාරයන් ප්‍රත්‍යය කොටගෙන අරූප විපාක සතරක් වෙති’යි මෙසේ චතුර්විධවූ විඤ්ඤාණය වේ. යම්සේ කියන ලදද:-
“එම අරූපාවචර කුසල කර්මය කරන ලද හෙයින් රැස් කරන ලද හෙයින්. එහි විපාකය සියලු ආකාරයෙන් රූප සඤ්ඤාවන් ඉක්මවා සිටි හෙයින් -පෙ-ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන් යුත් -පෙ- විඤ්ඤාණඤ්චායතන -පෙ- ආකිඤ්චඤ්ඤායතන -පෙ- නේවසඤ්ඤා නාසඤ්ඤායතන සඤ්ඤා සහගතවූ, සුඛදුඃඛ යන දෙකින් තොර වූ හෙයින්, චතුර්ත්‍ථ ධ්‍යානයට සමවැද විහරණය කරයි.
මෙසේ සංඛාරයන් ප්‍රත්‍යය කොට ගෙන යම් විඤ්ඤාණයක් වේ නම්, එය දැන, ඉක්බිති එහි පැවැත්ම මෙසේ දතයුතුයි:- මේ සියල්ලම ප්‍රවෘත්ති-ප්‍රතිසන්‍ධි වශයෙන් දෙපරිද්දෙකින් පවතී; එහි, පංච විඤ්ඤාණ දෙකද, මනෝධාතු දෙකද, සෝමනස්ස සහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුවදැයි යන මේ තෙළෙස පංචවෝකාර (පංචස්කන්‍ධ සහිත) භවයෙහි පැවැත්මෙහි පමණක් පවතියි. ඉතිරි එකුන් විස්ස තුන් භවයෙහිම සුදුසු පරිදි ප්‍රවෘත්ති-ප්‍රතිසන්‍ධි දෙක්හිම පවතී.
කෙසේද යත්:- පළමුකොට කුශල විපාක වූ චක්‍ඛු ආදි විඤ්ඤාණ පස. කුශල හෝ අකුශල විපාකයෙන් ඉපිද අනුක්‍රමයෙන් මුහුකුරා ගිය ඉන්‍ද්‍රිය ඇත්තහුගේ චක්‍ඛු ආදී හමුවට පැමිණි ඉෂ්ට වූ හෝ ඉෂ්ට මධ්‍යස්ථවූ රූපාදී අරමුණු ඇරඹු චක්‍ඛු ආදී පසාදයන් නිසා (පිළිවෙළින්) දර්ශන ශ්‍රවණ-ආඝ්‍රාණ-ආස්වාදන-ස්පර්ශන කෘත්‍යයන් සිදු කෙරෙමින් පවතියි; අකුශල විපාක පසද එසේය; හුදෙක් එම අකුශල විපාකයනට අනිෂ්ට වූ හෝ අනිෂ්ට-මධ්‍යස්ථ වූ අරමුණු වන බවට විශේෂයි. මෙකී (කුශල අකුශල විපාක විඤ්ඤාණ) දශයම නියත වූ ද්වාර-ආරම්මණ-වත්‍ථු-ඨානයන් ඇත්තේ නියතවූ කෘත්‍යයන් ඇත්තේම වේ.
ඉක්බිති කුශල විපාකවූ චක්‍ඛු විඤ්ඤාණ ආදියට අනතුරුව කුශල විපාක සහිත මනෝධාතුව එම (කුශල විපාක සහිත චක්‍ඛු විඤ්ඤාණ ආදීන්ගේම) අරමුණු ඇරබ, හෘදය වස්තුව ඇසුරුකොට සම්පටිච්ඡන කෘත්‍යය සිදු කරමින් පවතියි. අකුශල විපාකයනට අනතුරුව අකුශල විපාක මනෝධාතුවද එසේමය. මෙකී (කුශල හා අකුශල මනෝධාතු) දෙක වනාහි අනියත වූ ද්වාර- ආරම්මණ ඇත්තේ, නියතවූ වස්තුස්ථාන ඇත්තේ, නියතවූ කෘත්‍ය ඇත්තේද වේ.