අවිජ්ජාපච්චයාසඞ්ඛාරපදවිත්ථාරකථා
මෙසේ මේ චතුර්විංශත් (සූවිසි) ප්රත්යයන් අතුරෙන් මේ අවිද්යාව,
පච්චයො හොති පුඤ්ඤානං දුවිධානෙකධා පන
පරෙසං පච්චයානං සා එකධා පච්චයො මතා
පරෙසං පච්චයානං සා එකධා පච්චයො මතා
ඒ (අවිද්යාව) පුඤ්ඤාභිසංඛාරයනට දෙපරිද්දෙකින්ද අන්යවූ (අපුණ්ය) අභිසංඛාරයනට නොයෙක් පරිද්දෙන්ද, පසුව සඳහන් (ආනෙඤ්ජ) අභිසංඛාරයනට එක් පරිද්දෙකින්ද ප්රත්යය වෙතැ’යි දන්නා ලදි.
එහි ‘පුඤ්ඤානං දුවිධා’ යනු, (පුඤ්ඤාභිසංඛාරයනට) ආලම්බන ප්රත්යය වශයෙන්ද, උපනිශ්රය ප්රත්යය වශයෙන්දැයි දෙපරිද්දෙකින් ප්රත්යය වේ. ඒ අවිද්යාව වනාහි ක්ෂය වශයෙන්ද, ව්යය වශයෙන්ද සම්මර්ශනය කරන කල කාමාවචර පුඤ්ඤාභිසංඛාරයනට ආලම්බන ප්රත්යය වශයෙන් ප්රත්යය වේ. අභිඤ්ඤා චිත්තයෙන් සමෝහ සිත් හඳුනාගන්නා කල රූපාවචර පුඤ්ඤාභිසංඛාරයනටද (ආලම්බන ප්රත්යය වශයෙන් ප්රත්යය වේ). අවිද්යාව ඉක්මවීම පිණිස දානාදී වූ කාමාවචර පුණ්යක්රියා වස්තූන් පුරන්නහුටද, රූපාවචර ධ්යානයන් උපදවන්නහුටදැයි යන දෙදෙනාහටද උපනිශ්රය ප්රත්යය වශයෙන් ප්රත්යය වේ; එසේම අවිද්යාවෙන් මුළා බවට පත්වූ හෙයින් කාමභව, රූපභව සම්පත් ප්රාර්ත්ථනා කරමින්ම පුණ්යක්රියාවන් කරන්නහුටද උපනිශ්රය ප්රත්යය වශයෙන් ප්රත්යය වේ.
“අනෙකධා පන පරෙසං” යනු, අපුඤ්ඤාභිසංඛාරයනට නොයෙක් ආකාරයෙන් ප්රත්යය වේ, කෙසේද යත්: මේ අවිද්යා තොමෝ වනාහි අවිද්යාව නිසා රාගාදීන් උපදනා කල ආලම්බන ප්රත්යය වශයෙන්ද, ගරුකොට සලකා ආස්වාදනය කරන කල ආලම්බන-අධිපති-ආලම්බන-උපනිශ්රය ප්රත්යයන් වශයෙන්ද, අවිද්යාවෙන් මුළා බවට පත්ව ආදීනවයන් නොදැක ප්රාණඝාතාදිය කරන්නහුට උපනිශ්රය ප්රත්යය වශයෙන්ද, ද්විතීය ජවන ආදීන්හට අනන්තරය, සමනන්තරය අනන්තරෝපනිශ්රය. ආසේවනය. නාස්තිය, විගතය යන ප්රත්යයන් වශයෙන්ද ප්රත්යය වේ. යම්කිසි අකුශලයක් කරන්නහුට හේතුය, සහජාතය, අඤ්ඤමඤ්ඤය, නිශ්රයය, සමුප්රයුක්තය, අස්තිය, අවිගතය යන ප්රත්යයන් වශයෙන්දැයි මෙසේ නොයෙක් ආකාරයෙන් ප්රත්යය වේ.
‘‘පච්ඡිමානං සා එකධා පච්චයො මතා” යනු ආනෙඤ්ජාභි සංඛාරයනට එක්ම ආකාර ඇති උපනිශ්රය ප්රත්යය වශයෙන් ප්රත්යය වෙතැ’යි දන්නා ලදි. අවිද්යාව පිළිබඳ එම උපනිශ්රය භාවය පුඤ්ඤාභිසංඛාර විෂයයෙහි කියන ලද නයින්ම දතයුතුය.
මෙහිලා කීහු:- “කිම, හුදෙක් මේ අවිද්යාවම සංස්කාරයනට එක්ම ප්රත්යය වේද? නැතහොත් අනෙකුදු ප්රත්යයෝ වෙත්ද? කිම, ඉදින් මෙහි එය (අවිද්යාව) එක්ම ප්රත්යය වෙතොත්, ඒකකාරණ වාදයක් බවට පත්වේ. එහෙයින් අනෙකුදු ප්රත්යයන් වෙතොත්, ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යනු ඒකකාරණ නිර්දේශයක් නොවේද? නොවන්නේ නොවේ, කවර හෙයින්ද යත්:-
එකං න එකතො ඉධ නානෙකමනෙකතො’පි නො එකං
ඵලමත්ථි අත්ථි පන එක හේතුඵල දීපනෙ අත්ථො
ඵලමත්ථි අත්ථි පන එක හේතුඵල දීපනෙ අත්ථො
මෙහි එක් හේතුවෙකින් එක් ඵලයක් නොවේ. අනේක ඵලද නොවේ, අනේක හේතුවෙන්ද එක් ඵලයක් නොවේ. එහෙත්, එක්ම හේතුවෙකින් එක් ඵලයක් දැක්වීමේ අර්ත්ථයෙක් ඇත.
මෙහි, එක්ම කාරණයෙකින් කිසිදු එක්ම ඵලයෙක් නොවේ. අනේක වූ ඵලයෙක්ද නැත, අනේක වූ හේතුවෙකින් එක්ම ඵලයෙක්ද නැත. අන්නේක වූ හේතුවෙන් අනේක වූ ඵලයෙක්ම වේ. ඒ එසේමැයි, ඍතුය. පෘථිවිය, බීජය, ජලය යන බහුවිධ හේතුන්ගෙන් අනේකවූම රූප, ගන්ධ රස සහිත අංකුර සංඛ්යාත වූ ඵලයන් උපදිනු දක්නා ලැබේ. යම් මේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” යනුවෙන් ඒක හේතු ඵල පරිදීපනයක් කරන ලද්දේද, එහි අර්ත්ථයෙක් ඇත. ප්රයෝජනයෙක් ඇත.
භාග්යවතුන් වහන්සේ වනාහි, කිසි තැනෙක ප්රධානත්වය නිසාද, කිසි තැනෙක ප්රකටත්වය නිසාද, කිසිතැනෙක අසාධාරණත්වය (පොදු නොවන බව) නිසාද, දේශනා විලාසය සඳහාද, වෛනෙය ජනයාගේ චරිත ස්වභාවයට අනුරූප වන ආකාරයෙන්ද, එක්ම හේතුවක් හෝ ඵලයක් හෝ දක්වති. “ඵස්ස පච්චයා වෙදනා” එන මෙහි ප්රධානත්වය නිසා එක්ම හේතුවක් හා ඵලයක් දෙසූහ. ඵස්සය වනාහි වේදනාවට ප්රධාන හේතුවයි. ඵස්සයට අනුව වේදනාවෙහි ස්වභාවය තීරණය වන හෙයිනි; වේදනාවද ඵස්සයෙහි ප්රධාන ඵලයයි. වේදනාවට අනුව ස්පර්ශයෙහි ස්වභාවය තීරණය වන හෙයිනි. ‘සෙම්හ සමුට්ඨානා ආබාධා’ යන මෙහි ප්රකට බැවින් එක් හේතුවක් පැවසූ සේක. මෙහි ප්රකට වනුයේ කර්මාදිය නොව සෙමයි. ‘යෙ කෙචි භික්ඛවෙ අකුසලා ධම්මා, සබ්බෙ තෙ අයෝනිසො මනසිකාර මූලකා’ යන මෙහි අසාධාරණ (පොදු නොවන) බැවින් එක්ම හේතුවක් දැක්වූ සේක. අකුශලයනට අසාධාරණ (අවශ්යයෙන්ම තිබියයුතු හේතුව වනුයේ අයෝනිසෝ මනසිකාරය (නුනුවණින් මෙනෙහි කිරීම) යි, වස්තු ආලම්බන ආදිය හේතු වනුයේ සාධාරණ (පොදු) වශයෙනි. එහෙයින් මෙහිලා වස්තු, ආලම්බන, සහජාත ධර්ම ආදීවූ තවද සංඛාර හේතූන් විද්යමාන වතුදු, මේ අවිද්යාව “අස්සාදානුපස්සිනො තණ්හා පවඩ්ඪති” (ආස්වාදය අනුව බලන්නහුගේ තෘෂ්ණාව වැඩේ) යනුද, “අවිජ්ජා සමුදයා ආසව සමුදයො” (අවිද්යාව හේතුකොට ගෙන ආශ්රවයන්ගේ පහළ වීම සිදුවේ) යනුද කියන ලද හෙයින් අන්යවූද තෘෂ්ණාදී වූ සංඛාර හේතුනට ප්රධාන බැවින් හේතුවේ; “මහණෙනි, අඥාන තෙමේ අවිද්යාවට පත්ව පුඤ්ඤාභිසඞ්ඛාරයද රැස් කෙරේ’’ යනු ප්රකට හේතු වශයෙන්ද, අසාධාරණ හේතු වශයෙන්ද සංඛාරයනට හේතුභාවයෙන් මේ හේතුඵල දැක්වීම පිළිබඳ පරිහාර (විසඳීම්) වචනයෙන් සියලු තන්හි එක් එක් හේතු ඵල දීපනයෙහි ප්රයෝජනය දතයුතුය.
මෙහිලා (ඇතැමෙක් මෙසේ) කියති:- එසේ වතුදු, ඒකාන්තයෙන්ම අනිෂ්ට ඵලදායක වූ, සාවද්ය වූ, අවිද්යාව පුඤ්ඤාභිසංඛාර අනෙඤ්ජාභි සංඛාරයනට ප්රත්යය ලෙසින් දැක්වීම කෙසේ නම් යෙදේද? යනු කොහොඹ බීජයෙකින් උක් නො-උපදනේම නොවේද” යනුවෙනි. (පරිහාරය): “කෙසේ නොයෙදෙන්නේද? ලෝකයෙහි වනාහි,
විරුද්ධො චාවිරුද්ධො ච සදිසාසදිසො තථා,
ධම්මානං පච්චයො සිද්ධො විපාකා එව තෙ ච න.
ධම්මානං පච්චයො සිද්ධො විපාකා එව තෙ ච න.
ප්රත්යයසමුත්පන්න ධර්මයනට විරුද්ධ මෙන්ම අවිරුද්ධ වූද, එසේම සදෘශ මෙන්ම අසදෘශ වූද ප්රත්යය සිද්ධ වේ. ඔහු (ප්රත්යය සමුත්පන්න ධර්මයෝ) විපාකයෝම නොවෙති. එහෙයින් නොයෙදෙන්නේ නොවේ.
ධර්මයන් පිළිබඳ ස්ථාන, ස්වභාව කෘත්යාදි වශයෙන් විරුද්ධවූද අවිරුද්ධ වූද ප්රත්යය ලෝකයෙහි සිද්ධ (විද්යමාන) වේ. පූර්ව චිත්තය පශ්චිම චිත්තයට ස්ථාන වශයෙන් විරුද්ධ වූ ප්රත්යයයි. පළමුව පුහුණු කරන ලද ශිල්පාදිය පසුව පවත්නා ශිල්ප ආදී ක්රියාවනටද ස්ථාන වශයෙන් විරුද්ධ ප්රත්යය වේ; කර්මය (අරූප වූ හෙයින්) රූපයනට ස්වභාව වශයෙන් විරුද්ධ වූ ප්රත්යයයි. දී ආදියට කිරිද එසේය. චක්ඛු විඤ්ඤාණයට ආලෝකය කෘත්ය වශයෙන් විරුද්ධ ප්රත්යය වේ; ආසව ආදියට සකුරු ආදියද එසේය. චක්ඛු විඤ්ඤාණාදියට චක්ඛු, රූප ආදිය ස්ථාන වශයෙන් අවිරුද්ධ ප්රත්යයෝ වෙති, පශ්චිම ජවන ආදියට පූර්ව ජවන ආදිය ස්වභාව වශයෙන්ද කෘත්ය වශයෙන්ද අවිරුද්ධ ප්රත්යයෝ වෙති.
විරුද්ධ හා අවිරුද්ධ ප්රත්යයන් සිදුවන ආකාරයෙන්ම සදෘශ හා අසදෘශ ප්රත්යයෝද සිද්ධ වෙති; ඍතු, ආහාර සංඛ්යාත සදෘශ වූම රූපය රූපයට ප්රත්යය වේ. හැල් බිජුවට ආදිය හැල් අස්වනු ආදියටද එසේය. අසදෘශ වූ රූපය අරූපයට (නාමයට) ද, අරූපය (නාමය) රූපයටද, ප්රත්යය වේ; ගව-ලොම් හා බැටළු ලොම්ද, ගව අං හා බැටළු අං ද, දී තල පිටි ආදියද (පිළිවෙළින්) කුස තණ, හීතණ, බට, හුණ ආදියටද එසේම අසදෘශප්රත්යය වේ. යම් ධර්මයනට එකී පූර්වචිත්ත ආදිය විරුද්ධ-අවිරුද්ධ, සදෘශ-අසදෘශ, වශයෙන් ප්රත්යය වේද, එම ධර්මයෝ එකී (පූර්වචිත්ත ආදී) ධර්මයන්ගේ විපාකයෝම නොවෙති.