පට්ඨානපච්චයකථා
මෙහිලා මෙසේ කිව හැකිය:- “අවිද්යාව සංඛාරයනට ප්රත්යය වෙති’යි යන මෙය පළමුකොට පිළිගනිමු. එහෙත් කවර නම් සංඛාරයනට කෙසේ ප්රත්යය වේදැ’යි යන මෙය කිවයුතුය. එහිලා මෙසේ කියනු ලැබේ: භාග්යවතුන්වහන්සේ විසින් වනාහි, ‘හේතු පච්චය, ආරම්මණ පච්චය, අධිපති පච්චය, අනන්තර පච්චය, සමනන්තර පච්චය, සහජාත පච්චය, අඤ්ඤමඤ්ඤ පච්චය, නිස්සය පච්චය, උපනිස්සය පච්චය, පුරේජාත පච්චය, පච්ඡාජාත පච්චය, ආසේවන පච්චය, කම්මපච්චය, විපාක පච්චය, ආහාර පච්චය, ඉන්ද්රියපච්චය, ඣාන පච්චය, මග්ග පච්චය, සම්පයුත්ත පච්චය, විප්පයුත්ත පච්චය, අත්ථි පච්චය, නත්ථි පච්චය, විගත පච්චය, අවිගත පච්චය’ යනුවෙන් ප්රත්යයයන් සූවිස්සක් දේශනා කොට ඇත.
එහි හේතු වූයේද එම ප්රත්යය වූයේදැ’යි පච්චයයි, හේතු වශයෙන් ප්රත්යය වීමයි. හේතුභාවයෙන් ප්රත්යයවීමයයි කීසේයි. ආරම්මණ පච්චය ආදියෙහිද මෙම නයයි.
එහි ‘හේතු’ යනු, වචනාවයවය, කාරණය, මූලය යන මොවුනට අධිවචනයෙකි. ‘පටිඤ්ඤාහේතු’ ආදී තන්හි ලෝකයෙහි (න්යාය වාදයෙහි) සාධනාවයවය ‘හේතු’ යයි කියනු ලැබේ. ශාසනයෙහි වනාහි ‘යෙ ධම්මා හෙතුප්පභවා’ යන ආදියෙහි කාරණාර්ත්ථයෙහි වේ; ‘තයො කුසල හේතු, තයො අකුසල හේතු’ යන ආදියෙහි මූලය ‘හේතු’ යයි කියනු ලැබේ; මෙම අර්ත්ථය මෙහිදී අභිප්රේතයි ‘පච්චය’ යන මෙහි වචනාර්ත්ථය මෙසේයි:- ‘පටිච්ච එතස්මා එති’ (මෙය අරබයා, මෙයින් හටගනිති’යි හෝ පච්චය නමි; එය ප්රතික්ෂිප්ත (බැහැර) නොවී පවතී’ යන අර්ත්ථයි. යම් ධර්මයක් තවත් ධර්මයක් බැහැර නොකොට සිටිති’යි, හටගනිති’යි හෝ මෙසේ එම (පළමු කී) ධර්මය පසුව කී ධර්මයට ප්රත්යය වෙති’යි කී නියායි. ලක්ෂණ වශයෙන් වනාහි ප්රත්යයය උපකාරක ලක්ෂණ ඇත්තේය. යම් ධර්මයක් වනාහි තවත් ධර්මයෙක පැවැත්මට හෝ හටගැනීමට උපකාරී වේද, එම (පළමු කී) ධර්මය (පසුව කී) ධර්මයට ප්රත්යයයයි කියනු ලැබේ. ප්රත්යයය, හේතුය, කාරණය, නිදානය, සම්භවය, ප්රභවය යන ආදිය ව්යංජන (අක්ෂර) වශයෙන් විසදෘශ වන මුත් අරුත් වශයෙන් සමාන වේ. මෙසේ මූලාර්ත්ථයෙන් හේතු වූ, උපකාරක අර්ත්ථයෙන් ප්රත්යයවූ, සැකෙවින් කිවහොත් මූලාර්ත්ථයෙන් උපකාරකවූ ධර්මස්වභාවය ‘හේතුපච්චය’ නමි.
එය ශාලි ආදී ධාන්ය විශේෂයනට ශාලිබීජාදිය සෙයින්ද, මණිප්රභාදීනට මණිවර්ණාදිය සෙයින්ද, කුශලාදීන්ගේ කුශලාදී ස්වභාවය සිද්ධ කරන්නේය යනු (රේවත නම්) ආචාර්යයන්ගේ අභිප්රායයි. එසේ ඇති කල්හි වනාහි කුශල හා අකුශල හේතුවෙන් හටගත් රූපයන්ගේ හේතු ප්රත්යය භාවය සිද්ධ නොවේ; එම හේතු ප්රත්යය එකී රූපයන්ගේ කුශලාකුශලභාවය සාධනය නොකරයි. එහෙත් එම රූපයනට ප්රත්යය නොවන්නේ නොවේ. කියන ලදමැයි:- “(ලෝභ, අලෝභ, ආදී) හේතුව හේතු සම්ප්රයුක්ත ධර්මයනටද, එයින් හටගත් රූපයනටද හේතු ප්රත්යය වශයෙන් ප්රත්යය වේ” අහේතුක චිත්තයන්ගේද මෙයින් (හේතුප්රත්යය භාවයෙන්) තොරවූ අව්යකෘත භාවය සිද්ධයි; සහේතුක චිත්තයන්ගේද කුසල-අකුසලභාවය යොනිසෝමනසිකාරාදිය හා සමග බැඳුණේ වේ. සම්ප්රයුක්ත හේතුව හා සමග බැඳුණේ නොවේ. ඉදින් සම්ප්රයුක්ත හේතුන්ගේ කුසලාදිභාවය ස්වභාව සිද්ධ වේනම්, සම්ප්රයුක්ත ධර්මයන්ගේ කුසලාදී භාවයද හේතුව හා සමග බැඳුණේ නම්, ආලෝභය කුසල හෝ අව්යකෘත හෝ වන්නේය. යම් හෙයකින් වනාහි උභයාකාරයෙන්ම වෙතොත්, සම්ප්රයුත්ත හේතූන් කෙරෙහිද මෙසේ කුසලාදිභාවය සෙවිය (විමසිය) යුතු වන්නේය.
කුසලාදි-භාව-සාධන වශයෙන් හේතූන්ගේ මූලාර්ත්ථය නොගෙන, (අරමුණෙහි) සුප්රතිෂ්ඨිත-භාව-සාධන වශයෙන් ගනු ලබන කල්හි කිසි විරෝධයෙක් නොවේ; ලබන ලද හේතු ප්රත්යය ඇති ධර්මයෝ මනාව මුල් බැසගත් වෘක්ෂයන් මෙන් මනාකොට තිරව පිහිටන්නාහුය. අහේතුකයෝ වනාහි තිලබීජක නම් සෙවෙල් වෙසෙස මෙන් තිරව නොපිහිටන්නාහුය; මෙසේ “මූලට්ඨෙන උපකාරකො” යනු, සුප්රතිෂ්ඨිත-භාව-සාධන වශයෙන් උපකාරක වූ ධර්මය හේතු ප්රත්යයයි දතයුතුය.
අනතුරුව දක්වන ලද ප්රත්යයන් අතුරෙන්; ආලම්බන වශයෙන් උපකාරක වූ ධර්මය ආලම්බන ප්රත්යයයි. එය ‘‘රූපායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා” (රූපායතනය චක්ෂුර් විඥානධාතුවට-අරමුණු වේ) යනුවෙන් ආරම්භ කොටද, “යම් යම් ධර්මයක් ඇරබ යම් යම් චිත්ත චෛතසික ධර්ම කෙනෙක් උපදිත්ද, ඒ ඒ ධර්මයෝ ඒ ඒ (චිත්තචෛතසික) ධර්මයනට ආලම්බන ප්රත්යය වශයෙන් ප්රත්යය වෙති’’ යනුවෙන් අවසන් කළ හෙයින් ආලම්බන ප්රත්යය නොවන කිසි ධර්මයෙක් නැත්තේය. යම්සේ දුර්වල පුරුෂයෙක් දඬුවක් ගෙන හෝ කඹයක එල්බ හෝ නැගිටියිද, සිටියිද, එසේම චිත්ත චෛතසික ධර්මයෝ රූපාදී වූ අරමුණක් ඇරබම උපදිති, සිටිති. එහෙයින් සියලුම චිත්ත චෛතසික ධර්මයනට අරමුණු වන ධර්මයන් ආරම්මණ ප්රත්යය වෙති’යි දතයුතුය.
ප්රමුඛත්වයෙන් උපකාරක වූ ස්වභාවය අධිපති ප්රත්යයයි; එය සහජාතය, ආරම්මණයයි දෙ-වැදෑරුම් වේ. එහි “ඡන්දාධිපති ප්රත්යය ඡන්දය (එනම් ඉද්ධිපාදය) හා සමග යෙදුණු ධර්මයනටද, එයින් හටගත් රූපයනටද, අධිපති ප්රත්යය වශයෙන් ප්රත්යය වේ” යන ආදී වචනයෙන් ඡන්ද-විරිය-චිත්ත-වීමංස යන ධර්ම සතර අධිපති ප්රත්යයයි දතයුතුය; එහෙත් එක්වම එක්වර නොවේ; යම් විටෙක ඡන්දය ප්රධාන කොට, ඡන්දය ප්රමුඛ කොට සිත පවත්නේද, එවිට ඡන්දයම අධිපති වනු මිස අනෙක් තුන නොවේ. අනෙක් (ඉද්ධිපාද) තුන පිළිබඳවද මෙම නයයි.