අවිජ්ජාපච්චයාසඞ්ඛාරපදකථා
සවිස්තර කථා ක්රමය මෙසේයි:- ‘අවිජ්ජා’ යනු, සෞත්රාන්තික ක්රමයට අනුව දුක්ඛ ආදී වූ සිවු තන්හි නොදැනීම වේ. අභිධර්ම ක්රමයට අනුව පුබ්බන්ත ආදිය ගෙන අට තැනෙක්හි නොදැනීමයි කියන ලදමැයි:- “එහි අවිජ්ජා යනු කුමක්ද? දුඃඛ විෂයෙහි නොදැනීමයි. -පෙ- දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා විෂයයෙහි නොදැනීමයි. පුබ්බන්ත විෂයයෙහි නොදැනීමයි. අපරන්ත විෂයයෙහි නොදැනීමයි. පුබ්බන්ත-අපරන්ත යන දෙකෙහිම නොදැනීමයි. ‘ඉදප්පච්චයතා’ යයි කියනු ලබන පටිච්චසමුප්පාද හා පටිච්චසමුප්පන්න ධර්ම විෂයයෙහි නොදැනීමයි. එසේ වතුදු එහි (නිරෝධය, මාර්ගය යන) ලෝකෝත්තර සත්යද්වයය හැර, සෙසු තන්හි අරමුණු වශයෙන්ද අවිද්යාව උපදියි; එසේ පවත්නා කල්හිදු මෙහිදී (ආලම්බන ස්වභාවය) මුවහ කිරීම් වශයෙන්ම අවිද්යාව අභිප්රේත වේ. එසේ උපන් කල (අවිද්යාව) දුඃඛ සත්යය වසාගෙන සිටියි. දුඃඛයාගේ නියමිත කාර්යය හා එහි ස්වභාවය අවබෝධ කිරීමට ඉඩ නොදෙයි. එසේම සමුදයය, නිරෝධය, මාර්ගය යන සත්යයන්ද, ‘පුබ්බන්ත’ යයි කියනු ලබන අතීත ස්කන්ධ පංචකයද, ‘අපරන්ත’ යයි කියනු ලබන අනාගත ස්කන්ධ පංචකයද, ‘පුබ්බන්තාපරන්ත’ යයි කියනු ලබන එකී දෙකමද ‘ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නධර්ම’ යයි කියනු ලබන ඉද්දප්පච්චයතා හෙවත් පටිච්චසමුප්පාදයද, පටිච්චසමුප්පන්න ධර්මයන්ද වසාගෙන සිටියි. “මේ අවිද්යාවය, මොහු සංස්කාරයෝය”යි මේ ආකාරයෙන් දුක පිළිබඳ යථාස්වභාව ලක්ෂණයන් අවබෝධ කිරීමට ඉඩ නොදෙයි; එහෙයින් “දුක පිළිබඳ නොදැනීම -පෙ- පටිච්ච සමුප්පාදය, පටිච්ච සමුප්පන්න ධර්මයන් විෂයයෙහි නොදැනීම” යයි කියනු ලැබේ.
‘සංඛාරා’ යනු, පුඤ්ඤාභිසඞ්ඛාරාදි තුනද, කායසංඛාරාදි තුනදැයි මෙසේ ඉහත සැකෙවින් සඳහන් කළ සයයි; මෙහි, විස්තර වශයෙන් කියතොත්, ‘පුඤ්ඤාභිසංඛාර’ යනු, දාන ශීලාදි වශයෙන් පැවැති කාමාවචර කුසල් සිත් අටද භාවනා වශයෙන් පැවති රූපාවචර කුසල් සිත් පසදැයි යන මේ සිත් තෙළෙසයි; ‘අපුඤ්ඤාභිසංඛාර’ යනු, ‘පාණාතිපාත’ ආදි වශයෙන් පැවැති අකුසල් සිත් දොළොසයි, ‘අනෙඤ්ජාභිසංඛාර’ යනු, භාවනා වශයෙන්ම පැවැති අරූපාවචර කුසල් සිත් සතර’යි, මෙසේ (පුඤ්ඤාභිසංඛාරා) ආදි තුන සිත් වශයෙන් එකුන්තිසක් වේ.
ඉතිරි සංඛාර තුන අතුරෙන්, කය පිළිබඳ මනා කායසංඛාරයි. වචනය පිළිබඳ චේතනා වචී සංඛාරයි. සිත පිළිබඳ සඤ්චේතනා චිත්ත සංඛාරයි. මෙකී ත්රිකය කර්මය රැස් කරන අවස්ථාවෙහිදී පුඤ්ඤාභිසංඛාරාදියට ද්වාර වශයෙන් පවත්නා බව දක්වනු පිණිස කියන ලදි. කාය විඤ්ඤත්තිය උපදවා කායද්වාරයෙන් පවත්වන ලද කාමාවචර කුසල චේතනා අටද, අකුසල චේතනා දොළොසදැ’යි යන සමවිසි චේතනා ‘කාය සංඛාර’ නම් වේ; එම සමවිසි චේතනාම වචී විඤ්ඤත්තිය උපදවා වචීද්වාරයෙන් පවත්වන ලද කල්හි ‘වචී සංඛාර’ නම්වේ. මෙහිදී වනාහි අභිඤ්ඤා චේතනාව මතු (පටිසන්ධි) විඤ්ඤාණයට ප්රත්යය නොවෙතැයි (අටුවාචාරීන් විසින්) බැහැර කරන ලදි. අභිඤ්ඤා චේතනාව මෙන්ම උද්ධච්ච චේතනාවද විපාක විඤ්ඤාණයට ප්රත්යය නොවන එහෙයින් එයද ප්රත්යයභාවයෙන් ඉවත් කළ යුතුය. මේ සියලු චේතනාවෝ අවිද්යාව ප්රත්යය කොට ගෙනම සිදුවෙති. (කාය-වචී) විඥප්ති නො-උපදවා මනෝද්වාරයෙහි උපන් සියලු එකුන් තිස් චේතනාවෝ චිත්ත සංඛාර නම් වෙති. මෙසේ මෙකී ත්රිකය පළමු කී ත්රිකයටම ඇතුළත් වෙති’යි යන අරුතින් පුඤ්ඤාභිසංඛාර ආදී වශයෙන්ම අවිද්යාව ප්රත්යය කොට ඇති වන බව දතයුතුය.
මෙහිලා මෙවන් ප්රශ්නයක් නැඟිය හැකිය:- මේ සංඛාරයන් අවිද්යාව ප්රත්යය කොට ගෙන උපදිති’යි යන මෙය දතහැකි වනුයේ කෙසේද? අවිද්යාව ඇති තැන (සංස්කාරයනුදු) ඇති හෙයිනි. යමකුට වනාහි දුඃඛාදි විෂයයෙහි අවිද්යා සංඛ්යාත නොදැනීම ප්රහීණ නොවූයේද, හේ තෙමේ දුඃඛ විෂයයෙහි පළමුකොට පුබ්බන්තාදියෙහිද නොදැනීමෙන් සසර දුක් සැපෙකැ’යි ගෙන එයටම හේතුවූ ත්රිවිධවූම සංස්කාරයන් උපදවයි. සමුදය විෂයයෙහි නොදැනීමෙන් දුකට හේතු වූ තෘෂ්ණාවට පිරිවර වූ සංස්කාරයන් සැපතට හේතු වෙති’යි හඟිමින් -පෙ- ත්රිවිධ වූම සංස්කාරයන් උපදවයි. නිරෝධ හා මාර්ග විෂයයෙහි නොදැනීම හේතුකොටගෙන, දුක්ඛනිරෝධ නොවන බඹලොව ආදි ගති විශේෂයෙහි දුඃඛනිරෝධයයි හඟිමින්ද, නිරෝධ මාර්ග නොවන යාග-හෝම හා (අමරණීයත්වය පතා කරනු ලබන) අමරතප ආදි ව්රතයන් නිරෝධමාර්ගයයි හඟිමින්ද දුක්ඛ නිරෝධය පතමින් එම යාගහෝම ව්රත තපස් ආදී වශයෙන් ත්රිවිධ වූම සංස්කාරයන් අරඹයි.
තවද, හේ තෙමේ චතුඃසත්ය විෂයයෙහි අවිද්යාව දුරු නොවීමේ හේතුවෙන්, විශේෂයෙන් ජාති, ජරා, රෝග, මරණාදී නොයෙක් ආදීනවයෙන් ගහන වූ නමුදු පුණ්යඵල (හෙවත් සැප) යයි කියනු ලබන දුක දුක් වශයෙන් හඳුනා නොගෙන, එම පුණ්යඵලයන් ලැබීම පිණිස කාය-වචී-චිත්ත සංඛාරභේද සහිත පුඤ්ඤාභිසංඛාරයන් අරඹයි. දිව්යප්සරාවන් කැමැතිව පර්වත ප්රපාතයකට පතිත ලෙසිනි. සුඛසම්මතවූ නමුදු එම පුණ්යඵලය අවසන්හිදී බලවත් පීඩා සන්තාප උපදවන විපරිණාම දුඃඛ ස්වභාවය හා හීන ආස්වාද සහිත බව නොදන්නේ අවිද්යාව ප්රත්යය කොට ඇති, කියන ලද ප්රකාර ඇති එම පුඤ්ඤාභිසංඛාරයන් අරඹයි; පලඟැටියකු පහන් සිළුවට වදින ලෙසිනි. මීබිඳුවට ගිජුව මීවැකුණු පිහිතලයක් ලොවින ලෙසිනි. (අනිෂ්ට) විපාක සහිත කාමසේවනාදිය පිළිබඳ ආදීනවයන් නොදැක, සැපය’යි යන හැඟීමෙන් හා ක්ලේශයන් විසින් මඩනාලද හෙයින් තුන් දොරින්ම පවත්වනු ලබන අපුඤ්ඤාභිසංඛාරයන් අරබයි; ළදරුවකු අසූචියෙහි කෙළනා ලෙසිනි. මියනු කැමැතිව වස කන ලෙසිනි. අරූප ධ්යාන විපාක විෂයයෙහිද, සංඛාරයන් පිළිබඳ විපරිණාම දුඃඛ ස්වභාවය නොහඳුනනුයේ ශාස්වතාදී විපර්යාස වශයෙන් ගෙන චිත්ත සංඛාරමය අනෙඤ්ජාභි සංඛාරය අරඹයි; මංමුළාවූවකු පිශාචනගරයකට යන මඟෙක ගමන් අරඹන ලෙසිනි.