උපාදානපච්චයාභවපදවිත්ථාරකථා
‘උපාදානපච්චයා භවො’ යන පදයෙහි
අත්ථතො ධම්මතො චෙව සාත්ථතො භෙදසඞ්ගහා,
යං යස්ස පච්චයො චෙව විඤ්ඤාතබ්බො විනිච්ඡයො
යං යස්ස පච්චයො චෙව විඤ්ඤාතබ්බො විනිච්ඡයො
අර්ත්ථ වශයෙන්ද, ධර්ම වශයෙන්ද, සාර්ත්ථක වශයෙන්ද, භේද වශයෙන් හා සංග්රහ වශයෙන්ද, යම් උපාදානයක් යම් භවයකට ප්රත්යය වේනම් එහි ආකාර වශයෙන්ද විනිශ්චය දතයුතුය.
එහි ‘වෙති’යි යන අරුතින් ‘භව’ නම් වේ, එය කර්ම භවය, උත්පත්ති භවයයි ද්විවිධ වේ. එහෙයින් කීහු:- ‘භවය’ දෙපරිද්දෙකින් වේ. කර්මභවයෙක් ඇත. උත්පත්ති භවයෙක්ද ඇත.’ යනුවෙනි. එහි කර්මයම භව වූයේ කර්මභවයි, එසේම උත්පත්තියම භව වූයේ උත්පත්ති භවයි. මෙහිදී උත්පත්තිය වෙති’යි යන අරුතින් ‘භව’ නම් වේ; කර්මය වනාහි, යම්සේ (බුදුන්ගේ උපත) සැපයට හේතු වන සෙයින් ‘සුඛො බුද්ධානං උප්පාදො’යි කියන ලද්දේද, එසේම භවයට හේතු වන හෙයින් ඵලව්යවහාරයෙන් ‘භව’ නම් වෙති’යි දතයුතුය. මෙසේ පළමුකොට මෙහි අර්ත්ථ වශයෙන් විනිශ්චයය දතයුතුය.
ධර්ම වශයෙන් වනාහි, පළමුකොට, ‘කම්මභව’ යනු සංක්ෂේපයෙන් චේතනාවද, චේතනාව හා සමග යෙදුණ අභිධ්යාදී වූ කර්ම සංඛ්යාත ධර්මයෝයි. එහෙයින් කීහු: එහි ‘කම්ම භව’ යනු කවරේද යත්, පරිත්තභූමක (කාමාවචර) හෝ වේවා, මහාභූමක (රූපාවචර හා අරූපාවචර) හෝ වේවා, යම් මේ පුඤ්ඤාභිසංඛාරයක් අපුඤ්ඤාභි සංඛාරය හෝ ආනෙඤ්ජාභිසංඛාරයක් වේද, මෙය ‘කම්මභව’ යයි කියනු ලැබේ. භවගාමීවූ සියලුම කර්මයෝ ‘කම්මභව’ නම් වෙති. මෙහි වනාහි පුඤ්ඤාභිසංඛාර යනු, (කාමාවචර හා රූපාවචර) කුශල චේතනා තෙළෙසයි, අපුඤ්ඤාභිසංඛාර යනු අකුශල චේතනා දොළොසයි; ආනෙඤ්ජාභිසංඛාර යනු, (අරූපාවචර) කුශල චේතනා සතරයි. මෙසේ ‘පරිත්ත භූමකො වා මහාභූමකො වා’ යන මෙයින් එම (පුඤ්ඤාභිසංඛාරාදි) චේතනාවන් පිළිබඳ වූම මඳ වූ හෝ බොහෝ වූ විපාක ස්වභාවය කියන ලදි. “සබ්බම්පි භවගාමී කම්මං’ යන මෙයින් චේතනා සම්ප්රයුක්ත වූ අභිධ්යා ආදියම කියන ලදි.
උත්පත්ති භවය වනාහි, සංක්ෂේපයෙන් කර්මයෙන් හටගත් ස්කන්ධයි, ප්රභේද වශයෙන් එය නවවිධ වේ. එහෙයින් කීහු. එහි ‘උප්පත්ති භව’ යනු කවරේද යත්: කාමභවය, රූපභවය, අරූප භවය, සඤ්ඤාභවය, අසඤ්ඤාභවය, නෙවසඤ්ඤානාසඤ්ඤා භවය ඒකස්කන්ධ භවය, චතුඃස්කන්ධභවය, පංචස්කන්ධභවයයි යන මේ නවය ‘උප්පත්තිභව’ යයි කියනු ලැබේ. එහි කාම සංඛ්යාත වූ භවය කාමභවයයි, රූප-අරූපභව විෂයයෙහිද මෙම නයයි. (සඤ්ඤාවතං) සඤ්ඤා ඇත්තවුන්ගේ භවය, නොහොත්, සඤ්ඤාව මේ භවයෙහි ඇත්තේය’යි හෝ සඤ්ඤාභව නමි. මෙයට විපර්යය වශයෙන් අසඤ්ඤා භවය වේ. ඕළාරික වූ සඤ්ඤාව නැති හෙයින් හා සූක්ෂ්ම වූ සඤ්ඤාව ඇති හෙයින් හෝ, මේ භවයෙහි සඤ්ඤාව ඇත්තේද නැත. නැත්තේද නැතැ’යි ‘නේවසඤ්ඤා නාසඤ්ඤාභව’ නම් වේ. එක්ම රූපස්කන්ධයෙන් යුත් භවය ඒකවෝකාර (ස්කන්ධ) භව නම් වේ. මේ භවයෙහි එක්ම ස්කන්ධයක් ඇතැ’යි හෝ ‘ඒකවෝකාර භව’ නමි. චතුවෝකාර, පංචවෝකාර භවයන් පිළිබඳවද මෙම නයයි. එහි කාමභවය උපාදාන වශයෙන් ගන්නා ලද ස්කන්ධ පසක් ඇත්තේ වේ; රූප භවයද එසේය; අරූපභවය (ස්කන්ධ) සතරක් ඇත්තේ වේ; සඤ්ඤාභවය (ස්කන්ධ) පසක් ඇත්තේ වේ; අසඤ්ඤ භවය උපාදාන වශයෙන් ගන්නා ලද එක්ම ස්කන්ධයක් ඇත්තේ වේ, නේවසඤ්ඤානාසඤ්ඤා භවය (ස්කන්ධ) සතරක් ඇත්තේ වේ. ඒකවෝකාර භව ආදිය (පිළිවෙළින්) ඒක ස්කන්ධ චතුඃස්කන්ධ, පංචස්කන්ධ ඇතිව උපාදාන වශයෙන් ගන්නා ලද ස්කන්ධයන්ගෙන් යුක්ත වූයේයයි මෙසේ මෙහි ධර්ම වශයෙන්ද විනිශ්චයය දතයුතුය.
සාත්ථතො (අපේක්ෂිත අර්ත්ථ සහිත වීම් වශයෙන්) යනු, යම්සේ මෙම භව නිර්දේශයෙහි පුඤ්ඤාභිසංඛාරාදිය කියන ලද්දේද, එසේම ඉහත සංඛාර නිර්දේශයෙහි ද කියන ලද්දේය; එහෙත් පෙර කී පුඤ්ඤාභිසංඛාර ආදිය, මේ භවයෙහි ප්රතිසන්ධියට ප්රත්යය වූ අතීත කර්ම වශයෙන් කියන ලදි; මෙකී පුඤ්ඤාභිසංඛාර ආදිය අනාගත ප්රතිසන්ධියට ප්රත්යය වූ වර්තමාන කර්මයයි කී හෙයින් චේතනා සම්ප්රයුක්ත අභිධ්යා ආදියද අපේක්ෂිතය, ඉහත විඤ්ඤාණයට ප්රත්යය වූ කර්මය ‘සංඛාර’ යයි කියන ලදි. මෙහි අසඤ්ඤභවයෙහි උත්පත්තිය ඇති කරන කර්මයද ‘භව’ යයි කියන ලදි. බොහෝ කොට (නැවත නැවතත්) කීම කුමක් සඳහාද යත්, ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ යන මෙහි, පුඤ්ඤාභිසංඛාරාදී වශයෙන් කුශල-අකුශල යන දෙ-ආකාර වූ කර්මයන් කියන ලදි; මෙහි “උපාදාන පච්චයා භවො’’ යනුවෙන් උත්පත්ති භවයද ඇතුළත් කරන ලද හෙයින්, කුශල-අකුශල අබ්යාකත යන තුන් ආකාර වූම කර්මය කියන ලදි. එහෙයින් මේ නැවත කීම සර්වප්රකාරයෙන්ම සාර්ත්ථක වේමය; මෙසේ මෙහි සාර්ත්ථකතා වශයෙන්ද විනිශ්චයය දත යුතුය.
‘භෙදසඞ්ගහා’ යනු, උපාදාන ප්රත්යයෙන් වන භවයෙහි භේද වශයෙන්ද සංග්රහ වශයෙන්දැ’යි යන අර්ත්ථයි. කාමඋපාදාන ප්රත්යයෙන් කාමභවයෙහි උත්පත්තිය ඇති කරන යම් කර්මයක් කරනු ලැබේ, එය ‘කම්මභව’ නමි; එයින්ම උපදවන ලද ස්කන්ධ ‘උප්පත්ති භව’ නමි. රූප අරූප භව විෂයයෙහිද මෙම නයයි. මෙසේ කාම-උපාදානයන් ප්රත්යය කොට (කර්ම හා උත්පත්ති වශයෙන්) කාම භව දෙක හා එම කාම භවයෙහිම ඇතුළත් සඤ්ඤාභව, පංචවෝකාර භවයන්ද, (එනයින්ම කර්ම හා උත්පත්ති වශයෙන්) රූපභව දෙකද හා එම රූපභවයෙහිම ඇතුළත් සඤ්ඤාභව, අසඤ්ඤාභව, ඒකවෝකාර භව, පංචවෝකාර භවයන්ද, (එනයින්ම) අරූප භව (කර්ම හා උත්පත්ති වශයෙන්) දෙක හා එහිම ඇතුළත් සඤ්ඤා භව, නේවසඤ්ඤා නාසඤ්ඤා භව, චතුර්වෝකාර භව යන මේ අන්තර්ගත භවයන් හා සමග මෙසේ භව සයක් වේ. යම්සේ කාමූපාදාන ප්රත්යයෙන් අන්තර්ගතයන් හා සමග භව සයක් වේද, එසේම සෙසු (දිට්ඨි, සීලබ්බත හා අත්තවාද යන) උපාදානයන් ප්රත්යය කොට ගෙනද සයක් සයක් වේ; මෙසේ උපාදාන ප්රත්යයෙන් අන්තර්ගත භවයන් හා සමග භව සූවිස්සක් වේ.