භවපච්චයාජාතිආදිවිත්ථාරකථා
‘භව පච්චයා ජාති’ යන ආදියෙහි ජාති ආදිය පිළිබඳ විනිශ්චයය (ඉහත) සච්ච නිද්දේසයෙහි කීනයින්ම දතයුතුය. ‘භවො’ යන මෙහි වනාහි (හුදෙක්) කම්මභවයම අභිප්‍රේතයි; ජාතියට ප්‍රත්‍යය වනුයේ එයම මිස උප්පත්ති භවය නොවේ. එම කම්මභවය වනාහි කම්ම පච්චය, උපනිස්සය පච්චය වශයෙන් දෙ-අයුරෙකින් (ජාතියට) ප්‍රත්‍යය වේ.
මෙහිදී මෙවන් චෝදනාවක් (පැනයක්) නැගිය හැකිය. ‘භවය ජාතියට ප්‍රත්‍යය වෙති’යි යන මෙය කෙසේ දතහැකිද?’ යනුවෙනි. බාහිර හේතුන් සමත්‍වයෙන් පවත්නා කල්හි පවා හීන-ප්‍රණීතතාදී විශේෂයන් දක්නට ලැබෙන හෙයිනි යනු පරිහාරයි:- ඒ එසේමැයි, පිතෘ, මාතෘ, ශුක්‍ර ශ්‍රෝණිත, ආහාර ආදී බාහිර ප්‍රත්‍යයන් සමව පවත්නා කල්හි පවා සත්‍වයන්ගේ- නිවුන් දරුවන්ගේ පවා- හීන, ප්‍රණීතතාදී විශේෂය දක්නා ලැබේ; එම විශේෂයද අහේතුක නොවේ; සියලු කල්හි සියල්ලනටම (අනිවාර්යයෙන්) නොවන හෙයිනි. කර්මභවය හැර අන් හේතුවක් නිසා සිදුවන්නේද නොවේ; එම කර්මභවයෙන් උපන් සත්‍වයන්ගේ අධ්‍යාත්ම සන්තානයෙහි අන් හේතුවක් නැති හෙයින් කර්මභවයම හේතු කොට ඇත්තේය; කර්මයම වනාහි සත්‍වයන්ගේ හීන ප්‍රණීතතා ආදී විශේෂයට හේතු වේ; එහෙයින් වදාළහ. භාග්‍යවතුන් වහන්සේ: “කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීත්තාය” (කර්මය හීන ප්‍රණීතා වශයෙන් සත්ත්‍වයන් බෙදයි) යනුවෙනි. එහෙයින් භවය ජාතියට (ඉපදීමට) ප්‍රත්‍යය වෙති’යි යන මෙය දතයුත්තේය.
තවද යම් හෙයකින් ජාතියක් නැති කල්හි ජරා-මරණ හෝ ශෝකාදී ස්වභාවය හෝ නොවේද, ජාතියක් ඇති කල්හිම ජරාමරණ වේද, ජරාමරණ සංඛ්‍යාත දුඃඛස්වභාවයන්ගෙන් පහර ලත් අඥාන ජනයාට එම ජරාමරණ හා සමග සම්බන්‍ධ වූ හෝ, ඒ ඒ දුඃඛ ස්වභාවයෙන් පහර ලද්දහුට ජරා මරණ හා සම්බන්‍ධ නොවූ හෝ ශෝකාදී ස්වභාවය වේද, එහෙයින් මේ ජාතිය ජරාමරණයනට මෙන්ම ශෝකාදියටද ප්‍රත්‍යය වෙති’යි දතයුත්තේය. එම ජාතිය උපනිස්සමය වශයෙන් එක්ම අයුරෙකින් ප්‍රත්‍යය වේ.
මේ ‘භව පච්චයා ජාති’ යන ආදියෙහි විස්තර කථායි.
භවචක්කකථා
යම්හෙයකින් වනාහි මෙහි ශෝක ආදිය අවසන්හි කියන ලද්දේද, එහෙයින් යම් ඒ අවිද්‍යාවක් වේද, එය ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යනුවෙන් මේ භවචක්‍රයෙහි මුලින්ම කියන ලදි. එය:-
සොකාදීහි අවිජ්ජා - සිද්ධා, භවචක්කමවිදිතාදිමිදං
කාරක වෙදක රහිතං - ද්වාදසවිධ සුඤ්ඤතා සුඤ්ඤං
ශෝකාදිය හේතුකොට ගෙන අවිද්‍යාව සිද්ධ වේ; ආරම්භයක් දත නොහෙන, කරන්නකු හෝ විඳින්නකු නැති, ද්වාදශවිධ ශුන්‍යතායෙන් ශූන්‍ය වූ මේ භවචක්‍රය,
නිරන්තරයෙන් අඛණ්ඩව පවත්නේයයි දතයුතුය.
මෙහි කෙසේනම් ශෝකාදියෙන් අවිද්‍යාව සිද්ධ වේද? කෙසේ නම් මේ භවචක්‍රයෙහි ආරම්භය නොදතහැකි වේද? කරන්නකු හෝ විඳින්නකු නැති වනුයේ කෙසේද? ද්වාදශවිධ ශුන්‍යතායෙන් ශූන්‍ය වනුයේ කෙසේද? මෙහි වනාහි, ශෝක, දෞර්මනස්‍ය, උපායාස යන මොහු අවිද්‍යාවෙන් තොරව පැවතිය නොහැකිය; පරිදේවය (වැලපීම) ද මුළාවූවහුටම වේ; ඒ ශෝකාදිය පළමුව සිද්ධ වූ පසු අවිද්‍යාවද සිද්ධ වේ; තවද, ‘ආසව සමුදයා අවිජ්ජා සමුදයො’ (ආශ්‍රවයන් හට ගැනීමෙන් අවිද්‍යාව හටගනී)යි කියන ලදි. මේ ශෝකාදිය ආශ්‍රවයන්ගෙන්ම හටගනියි.
කෙසේද යත්:- පළමුකොට වස්තුකාම වියෝගයෙහිදී ඇති වන ශෝකය කාමශ්‍රවයෙන් හටගනියි. එහෙයින් කීහු:-
තස්ස චෙ කාමයමානස්ස ඡන්‍දජාතස්ස ජන්තුනො,
තෙ කාමා පරිහායන්ති සල්ල විද්ධො’ව රුප්පති.
(වස්තු) කාමයෙහි ඇලුණු සිත් ඇති, (ක්ලේශ) කාම වශයෙන් හටගත් ආශා ඇති සත්ත්‍වයාගේ එම කාමයන් පිරිහෙත් හොත් ශල්‍යයෙකින් (හීයෙකින්) විදින ලද්දකු සෙයින් පීඩාවට පත්වේ.
මෙසේද කීහු:- ‘කාමතො ජායතී සොකො’ (කාමය හේතු කොට ගෙන ශෝකය උපදියි) යනුයි.
මේ සියල්ලම දිට්ඨාසව හේතුවෙන් හටගනියි. එහෙයින් කීහු:-
“මම රූපය වෙමි, මේ මාගේ රූපයයි’’ යනුවෙන් උදම් වන ඕහට එම රූපය විපරිණාම හේතුවෙන් වෙනස් වන විට සෝක-පරිදේව- දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත්” යනුයි.
දිට්ඨාසවයන් සෙයින්ම භවාසවයෝද හට ගනිති. එහෙයින් කීහු:-
‘‘දීර්ඝායුෂ්ක වූ, වර්ණාසම්පන්න වූ, සුඛ බහුල වූ යම් මේ දෙවි කෙනෙක් උත්තුංග විමානයන්හි ඉතා දිගුකලක් ජීවත් වෙත්ද, ඔහු පවා තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා භයට, සන්ත්‍රාසයට, සංවේගයට පත් වෙති” යනුවෙන් පස් පෙර නිමිති දැක භයින් තැතිගත් දෙවියන් සෙයිනි.
භවාසවයන් හටගැනීම යම් සේද අවිජ්ජාසවයන් හටගැනීමද එසේම වේ. එහෙයින් කීහු:-
“මහණෙනි ඒ අන්‍ධබාල තෙමේ ඉහාත්ම භාවයෙහිදීම තුන්වැදෑරුම් දුක් දොම්නස් විදින්නේ වේ” යනුයි.
මෙසේ යම් හෙයකින් මේ (ශෝකාදී) ස්වභාවයෝ ආශ්‍රවයනට හේතුවෙන්ද, එහෙයින් ඔහු සිදුවන්නාහු, අවිද්‍යාවට හේතු භූත වූ ආශ්‍රවයන්ද උපදවති. ආශ්‍රවයන් සිද්ධ වූ කල්හි ප්‍රත්‍යයභාවය සිද්ධ වන හෙයින් අවිද්‍යාවද සිද්ධ වූයේම වේ. මෙසේ පළමුකොට මෙහි ශෝකාදිය හේතුකොට ගෙන අවිද්‍යාව සිද්ධ වෙති’යි දතයුතුය.
යම් හෙයකින් වනාහි, මෙසේ ප්‍රත්‍යයභාවය ඇති වීමෙන් අවිද්‍යාව සිද්ධ වූ කල්හි, නැවත “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං” යනුවෙන් මෙසේ හේතුඵල - පරම්පරාවෙහි කෙළවරක් නැත. එහෙයින් හේතුඵල සම්බන්ධ වශයෙන් පවත්නා දොළොස් අංගයෙකින් යුත් ඒ භවචක්‍රය ‘අවිතාදි’ (ආරම්භයක් දත නොහැකි) නම් වෙතැයි යනු සිද්ධය.
එසේ වෙතොත්, ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ යනුවෙන් මෙසේ ආදිමාත්‍ර කථනය (ආරම්භය පමණක් කීම) විරෝධ නොවේද යත්: මේ ආදිමාත්‍රකථනයක් නොවේ; මේ ප්‍රධාන සාධකය දැක්වීමයි. (කර්ම, ක්ලේශ, විපාක) යන ත්‍රිවිධ වට්ටයටම අවිද්‍යාව ප්‍රධාන වේ; අවිද්‍යාව ගැනීමෙන් සෙසු කෙලෙස් වටයද, කර්මාදියද අඥානයා පෙළයි; සර්පයකුගේ හිස අල්වාගත් විට ඉතිරි සර්ප ශරීරය බාහුව වෙළාගන්නා සේය. අවිද්‍යාව සිඳලූ කල්හි වනාහි, ඒ කෙලෙස්වට ආදියෙන් විමෝක්‍ෂය (මිදීම) සිදුවේ. සර්පයාගේ හිස සිඳලූ කල්හි (සර්ප ශරීරයෙන්) වෙළා ගන්නා ලද බාහුව මිදෙන සේය. එහෙයින් කීහ. “අවිජ්ජායත්‍වෙව අස්සෙ විරාග නිරොධා සඞ්ඛාර නිරොධො’ (අවිද්‍යාව නිරවශේෂයෙන් නිරුද්ධ වීමෙන් සංඛාර නිරෝධය වේ) යන ආදියයි. මෙසේ යම් (ධර්මයක්) ගන්නාහට බන්‍ධනයද මුදාහරින්නාහට මෝක්‍ෂයද වේ නම්, එම ප්‍රධාන ධර්මය ගැන කීමෙකි; ආදිමාත්‍රකථනයක් නොවේ. මෙසේ මේ භවචක්‍රය දත නොහැකි ආරම්භය ඇත්තෙකැ’යි දතයුතුය.
ඒ මේ භවචක්‍රය වූකලී අවිද්‍යාදී හේතූන්ගෙන් ඇති වන සංඛාරාදී ඵලයන්ගේ පැවැත්මයි; එහෙයින් ඉන් බැහැර වූ බ්‍රහ්ම, මහාබ්‍රහ්ම, ශ්‍රේෂ්ඨ, සංජිත යන ආදි වශයෙන් මෙසේ පරිකල්පනය කරනු ලබන සංසාර කාරකයකු හෝ ‘මේ වනාහි මාගේ ආත්මයයිද, එය කථා කරන්නෙකැයිද, විඳින්නෙකැයිද පරිකල්පිත, සුවදුක් විඳින ආත්මයක් හෝ නැත. මෙසේ කරන්නකු හෝ විඳින්නකු නොමැති (කාරක වේදක රහිතං) යයි දතයුතුය.