තණ්හාපච්චයාඋපාදානපදවිත්ථාරකථා
‘තණ්හා පච්චයා උපාදානං’ යන පදයෙහි:-
උපාදානානි චත්තාරි තානි අත්‍ථවිභාගතො,
ධම්මසඞ්ඛෙප විත්‍ථාරා කමතො ච විභාවයෙ
උපාදාන සතරෙකි, එම සතර අර්ත්‍ථ විභාග වශයෙන්ද, උපාදාන ධර්මයන් පිළිබඳව සංක්‍ෂේප වශයෙන් හා විස්තර වශයෙන්ද, ක්‍රම වශයෙන්ද විස්තර කරන්නේයි.
මේ එහි විස්තරාර්ත්‍ථකථනයයි:- කාමූපාදානය, දිට්ඨූපාදානය, සීලබ්බතූපාදානය, අත්තවාදූපාදානයයි මෙහි පළමුකොට උපාදාන සතරෙක් වේ. මේ එය පිළිබඳ අර්ත්‍ථ විභාගයයි: (රූපාදි) වස්තු සංඛ්‍යාත වූ කාමය දැඩි සේ ග්‍රහණය කෙරෙති’යි ‘කාමූපාදාන’ නමි. කාම වූයේද එම උපාදාන වූයේදැයි හෝ කාමූපාදාන නමි. ‘උපාදාන’ යනු, දැඩිව ගැනීමයි. මෙහි ‘උප’ ශබ්දය දෘඪාර්ත්‍ථයෙහි වේ; උපායාස, උපකුට්ඨ යන ආදියෙහි මෙනි. එසේම දිට්ඨි වූයේද එම උපාදාන වූයේදැ’යි දිට්ඨූපාදාන නමි; දෘෂ්ටිය දැඩිව ගනිති’යි හෝ දිට්ඨූපාදාන නමි. ආත්මයද ලෝකයද ශාස්වත වෙති’යි යන ආදියෙහි (ලෝකය ශාස්වත වෙති’යි) පසුව කී දෘෂ්ටිය (ආත්මය ශාස්වත වෙති’යි) පළමුව කී දෘෂ්ටිය දැඩිව ගනී. එපරිදිම සීලබ්බතය දැඩිව ගණිති’යි සීලබ්බතූපාදාන නමි, සීලබ්බත වූයේද එම උපාදාන වූයේදැ’යි හෝ සීලබ්බතූපාදාන නමි. මෙසේ ගෝ-සීල, ගෝ-වුත ආදියෙන් පිරිසුදු වෙති’යි සිය කැමැත්තෙන්ම ඇතුළත් වීමෙන් එම සීලව්‍රතාදිය උපාදාන නම් වේ. එසේම මෙය කරණ කොට කියති’යි (වාද කෙරෙති’යි) වාද නමි. මෙය කරණ කොට දැඩිව ගනිති’යි උපාදාන නමි. කුමක් කියත්ද? කුමක් දැඩිව ගනිත්ද? ආත්මයයි. නොහොත්, ආත්මය දැඩි කොට ගැනීම ‘අත්තවාදූපාදාන’ නමි. හුදෙක් ආත්මවාද මාත්‍රයම හෝ මෙය කරණ කොට ආත්මයයි දැඩිව ගනිති’යි හෝ ‘අන්තවාදූපාදාන’ නමි. මේ වනාහි එම (සිවු) උපාදානයන් පිළිබඳ අර්ත්‍ථ විභාගයයි.
(උපාදාන) ධර්මයන් පිළිබඳව සංක්‍ෂේප වශයෙන් හෝ විස්තර වශයෙන් දැක්වීමේදී වනාහි: පළමු කොට කාමූපාදානය නම්:- එහි කාමූපාදානය යනු කවරේද යත්, පංචකාම විෂයයෙහි යම් ඇලීමක්, රැඳීමක්, පිනායාමක්, තෘෂ්ණාවක්, සෙනෙහසක්, දාහයක්, මුසපත් වීමක්, ගැලීමක් වෙතොත් මෙය ‘කාමූපාදාන’ යයි කියනු ලැබේ යනුවෙන් (විභඞ්ගයෙහි) ආ හෙයින් සංක්‍ෂේපයෙන් ‘තෘෂ්ණා දෘඪත්‍වය’යි කියනු ලැබේ, තෘෂ්ණාදෘඪත්‍වය නම්, පළමු තෘෂ්ණාවම උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් දැඩි බවට පත්වීමෙන් පසුව ඇතිවන (බලවත්) තෘෂ්ණාවයි. කිසිවෙක් මෙසේ යෙති:- “අත් පත් නොවූ කාම විෂයයක් පැතීම තණ්හාවයි, අඳුරෙහි සොරාගේ අත දිගු කිරීම වැනිය, අතට හසු වුණ විෂයය අල්වා ගැනීම උපාදානයයි, අත ගැසුණ බඩු අල්වා ගැනීම වැනිය”, යනුවෙනි. තණ්හා, උපාදාන යන මේ ස්වභාවයෝ අප්පිච්ඡතා, සන්තුට්ඨිතා යන ගුණධර්මයනට ප්‍රතිපක්‍ෂ වූවාහුමය; එසේම පරියේසන දුක්ඛ (සෙවීමේ දුක), ආරක්ඛ දුක්ඛ (රැකීමේ දුක) යන මොවුනට මුල් වූවාහුය. සෙසු උපාදානත්‍රයය වනාහි සංක්‍ෂේප වශයෙන් දෘෂ්ටිමාත්‍රයම වේ.
විස්තර වශයෙන් වනාහි, රූපාදී විෂයයෙහි ඉහත කී එක්සිය අටක් ප්‍රභේද ඇති තණ්හාවෙහි දැඩිබව කාමූපාදානයයි; දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය දිට්ඨූපාදානයයි; එහෙයින් කීහු:- “එහි දිට්ඨූපාදාන යනු කවරේද යත්:- “දුන් දෙයෙහි විපාක නැත, පරිත්‍යාගයෙහි විපාක නැත, පෙ- ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන මෙසේ කියති’යි යන මෙබඳු වූ දෘෂ්ටියක් වෙතොත්, -පෙ- විපරීත ග්‍රහණයක් වෙතොත්, මෙය දිට්ඨූපාදානයයි කියනු ලැබේ” යනුවෙනි. ශීල ව්‍රතයන්ගෙන් පාරිශුද්ධිය සිදු වෙති’යි යන පරාමර්ෂණය වනාහි සීලබ්බතූපාදානයයි; එහෙයින් කීහු:- “එහි සීලබ්බතූපාදානය යනු කවරේද යත්, (මිථ්‍යා) ශීලයෙන් ශුද්ධිය වෙති’යි, ව්‍රතයෙන් ශුද්ධිය වෙති’යි. ශීලව්‍රතයෙන් ශුද්ධිය වෙති’යි යන මෙබඳු වූ දෘෂ්ටියක් -පෙ- විපරීත ග්‍රහණයක් වෙතොත් මෙය සීලබ්බතූපාදානය’යි කියනු ලැබේ’’ යනුයි. විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය අත්තවාදූපාදානයයි; එහෙයින් කීහු:- “එහි අත්තවාදූපාදාන යනු කවරේද යත්, මේ ලෝකයෙහි තත්‍වාවබෝධයෙන් තොරවූ පෘථග්ජන තෙමේ -පෙ- සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණේ රූපය ආත්ම වශයෙන් ගනී. -පෙ- විපරීත ග්‍රහණයෙන් ගනියිද, මෙය අත්තවාදූපාදානයයි කියනු ලැබේ.” යනුයි. මෙහි ධම්ම සංඛේප-විත්‍ථාර කථායි.
‘කමතො’ යන මෙහි, උත්පත්ති ක්‍රමය, ප්‍රහාණ ක්‍රමය, දේශනා ක්‍රමයයි ක්‍රමය ත්‍රිවිධ වේ. ඉමක් කොනක් නැති සංසාරයෙහි ‘මේ මොහුගේ පළමු උපතැ’ යි නොකිවහැකි වන හෙයින් ඒකාන්ත වශයෙන් ක්ලේශයන්ගේ උත්පත්ති ක්‍රමයක් නොකියනු ලැබේ; සාපේක්‍ෂ වශයෙන් වනාහි බොහෝ සෙයින් එක් භවයක් තුළ ආත්මදෘෂ්ටිය පෙරටු කොට ගත් ශාස්වත උච්ඡේද දෘෂ්ටි වශයෙන් අභිනිවේසය (පිවිසීම) වේ; අනතුරුව මේ ආත්මය ශාස්වතයයි ගත්තහුට ආත්ම විශුද්ධිය පිණිස සීලබ්බත-උපාදානයද, ආත්මය මෙතැනින් අවසන් වෙති’යි ගත්තහුට, එහෙයින්ම පරලෝකාපේක්‍ෂා නැත්තහුට, කාමූපාදානයද වෙති’යි මෙසේ පළමුව අත්තවාදූපාදානයද, අනතුරුව දිට්ඨි, සීලබ්බත, කාම යන උපාදාන තුනදැ’යි යනුවෙන් මෙසේ එක් ආත්මභාවයක් තුළ වූ උත්පත්ති ක්‍රමය වේ.