එකවිධාදිවිනිච්ඡයකථා
එකවිධාදීහි යනු මෙහි සකලවිධ දුක්ඛය පවත්නා ස්වභාවය අනුව ඒකවිධ වේ; නාම-රූප වශයෙන් ද්විවිධ වේ; කාම-රූප-අරූප යන උත්පත්ති ස්වභාව වශයෙන් ත්‍රිවිධ වේ. ආහාර භේද වශයෙන් චතුර්විධ වේ; පංච-උපාදාන-ස්කන්‍ධ භේද වශයෙන් පංචවිධ වේ.
සමුදයයද ප්‍රවර්තක ස්වභාව වශයෙන් ඒකවිධ වේ; දිට්ඨසම්පයුත්ත, අසම්පයුත්ත වශයෙන් ද්විවිධ වේ; කාම-භව-විභව-තෘෂ්ණා භේද වශයෙන් ත්‍රිවිධ වේ; සතර මගින් පහකළයුතු හෙයින් චතුර්විධ වේ; රූපාදී ආලම්බන භේද වශයෙන් පංචවිධ වේ; ෂට්තෘෂ්ණා-කාය භේද වශයෙන් ෂඩ්විධ වේ.
නිරෝධයද අසංඛත ධාතු වන හෙයින් ඒකවිධ වේ; සම්මුති වශයෙන් සෝපාදිශේෂ, නිරුපාදිශේෂ භේදයෙන් ද්විවිධ වේ; භවත්‍රයය සංසිඳුවන හෙයින් ත්‍රිවිධ වේ; සිවුමගින් අවබෝධ කළයුතු හෙයින් චතුර්විධ වේ; පංච අභිනන්‍දනයන් සංසිඳුවීම් වශයෙන් පංචවිධ වේ; ෂට් තෘෂ්ණාකායක්‍ෂය භේද වශයෙන් ෂඩ්විධ වේ.
මාර්ගයද වැඩියයුතු වීම් වශයෙන් ඒකවිධ වේ; සමථ විපස්සනා භේදයෙන්, දර්ශන-භාවනා භේදයෙන් හෝ ද්විවිධ වේ; (ශීල, සමාධි, ප්‍රඥා යන) ස්කන්‍ධත්‍රය භේද වශයෙන් ත්‍රිවිධ වේ; මේ මාර්ගය වූකලී සප්පදේස (නිශ්චිත සීමාවක් ඇති) හෙයින් රටෙකින් නගරයක් සෙයින් නිප්පදේස වූ (නිශ්චිත සීමාවක් නැති) ස්කන්‍ධ තුනෙකින් පිඬු කොට ගන්නා ලද්දේය. යම්සේ කියන ලද්දේද:-
“ආයුෂ්මත් විශාඛයෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ස්කන්‍ධත්‍රයය සංගෘහීත වූයේ නොවේ; ආයුෂ්මත් විශාඛයෙනි, ස්කන්‍ධත්‍රයයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංගෘහීත වූයේ වේ; ආයුෂ්මත් විශාඛයෙනි, යම් සම්‍යග් වචනයක් වේද, යම් සම්‍යක් කර්මාන්තයක් වේද, යම් සම්‍යක් ආජීවයක් වේද, මේ ධර්මයෝ ශීලස්කන්‍ධය තුළ සංගෘහීත වෙති; යම් සම්‍යග් ව්‍යායාමයක් වේද, යම් සම්‍යක් ස්මෘතියක් වේද, යම් සම්‍යක් සමාධියක් වේද, මෙකී ධර්මයෝ සමාධිස්කන්‍ධය තුළ සංගෘහීත වෙති; යම් සම්‍යග් දෘෂ්ටියක් වේද, යම් සම්‍යක් සංකල්පයක් වේද, මෙකී ධර්මයෝ ප්‍රඥා ස්කන්‍ධය තුළ සංගෘහීත වෙති”
මෙහි වනාහි සම්‍යග් වචනාදී වූ තුන ශීලයමැයි, එහෙයින් ඒ තුන ස්වජාතීය වන හෙයින් ශීලස්කන්‍ධයෙන් සංගෘහීත වේ. එතෙකුදු වූවත් පාළියෙහි “සීලක්‍ඛන්‍ධෙ” යනුවෙන් ආධාර විභක්තියෙන් මෙන් දක්වන ලදි. අර්ත්‍ථය වනාහි කරණ වශයෙන්ම දතයුතුය. සම්මාවායාම ආදී තුන් තන්හි (අවසන්හි ඇති) සම්මා සමාධිය ස්වකීය ස්වභාවය අනුව ඒකාග්‍රතාවෙන් අරමුණෙහි පවතිනු නොහැකි වේ. වීර්යය ප්‍රග්‍රහ (ප්‍රයත්න) කෘත්‍යයද, ස්මෘතිය පාවී යනු නොදීමේ (අරමුණින් ඉවත යනු නොදීමේ) කෘත්‍යයද ඉටු කරන කල උපකාරයෙන් හැකිවේ.
එහිලා මේ උපමායි:- නකත් කෙළිම්හයි උයනට පිවිසි යහළුවන් තිදෙනකු අතුරෙන් එකෙක් සුපිපි සපු රුකක් දැක අත ඔසවාද මල නෙලාගනු නොහැකි වේ; එවිට දෙවැන්නා නැමී පිට දෙයි, ඔහුගේ පිට නැඟී පවා ඒ මේ අත ඇල වෙමින් මල් ගැනීමට නොහැකි වේ. එවිට තුන්වැන්නා තම දසරුව (කර) ළං කරයි. හේ තෙමේ එකකු පිට නැග අනෙකාගේ දසරුවෙහි එල්බ ගෙන සිත්සේ මල් නෙලා පැළඳගෙන නකත් කෙළියි. මේ කරුණ මෙසේ දතයුතුය.
සම්මා වායාම ආදී සහජාත ධර්ම තුන එක්ව උයනට පිවිසි තුන් යහළුවන් වැනිය. අරමුණ සුපිපි සපුරුක වැනිය. තමාගේම ස්වභාවය අනුව අරමුණෙහි ඒකාග්‍රතාවෙහි පිහිටන්නට නොහැකි සමාධිය අත ඔසවාද මල් නෙලාගත නොහැකිවූ පළමුවන යහළුවා වැනිය. සම්මා වායාමය නැමී පිට දුන් දෙවැනි යහළුවා වැනිය. සම්මා සතිය, තම දසරුව එළවමින් සිටි යහළුවා වැනිය. යම්සේ ඔවුනතුරෙන් පළමුවැන්නා එකකු පිට නැගී අනිකාගේ දසරුවෙහි එල්බගෙන රිසිසේ මල් නෙලා ගැනීමට සමත්වේද, එසේම සම්මා වායාමය (වීර්යය) අරමුණෙහි පිහිටීමේ ප්‍රග්‍රහ කෘත්‍යයද, සම්මා සතිය අරමුණෙන් ඉවතට පාවී යාම වලක්වන අපිලාපන කෘත්‍යයද ඉටු කරන විට එයින් උපකාර ලැබ සමාධිය අරමුණෙහි ඒකාග්‍රභාවයෙන් පිහිටනු සමත් වේ. එහෙයින් මෙහිදී සම්මා සමාධියම ස්වජාතීය (තම ස්වභාව) වශයෙන් සමාධිස්කන්‍ධයෙන් සංගෘහීතයි. ව්‍යායාම, සති යන දෙක වනාහි ක්‍රියා වශයෙන් සංගෘහීත වේ.
සම්මා දිට්ඨි, සම්මා සඞ්කප්ප යන දෙක පිළිබඳවද, ප්‍රඥාව තමාගේ ස්වභාවයෙන්ම අනිත්‍යය, දුඃඛය, අනාත්මයයි අරමුණ නිශ්චය කරගැනීමට නොසමත් වේ; විතර්ක අරමුණ අවුස අවුසා දෙන විටම සමත් වේ; කෙසේද යත්:- යම්සේ රන්කරුවෙක් කහවණුවක් අත්ලෙහි තබා සියලු පැති බලනු රිසි වනුයේ නමුදු එය ඒ මේ අත පෙරළීමේ කාර්යය ඇසින්ම කළ නොහැක්කේ වේද, ඇඟිලි තුඩුවලින්ම එම (ඒ මේ අත පෙරළීමේ) කාර්යය කළ හැක්කේ වේද, එසේම ප්‍රඥාව තම ස්වභාවයෙන්ම අනිත්‍යාදී වශයෙන් අරමුණ නිශ්චය කරනු නොසමත්වේ; නැවත නැවත පිහිටුවීම ලක්‍ෂණ කොට ඇති, ඒ මේ අත ඇවිසීම කෘත්‍ය කොට ඇති විතර්කය විසින් අවුසමින් පෙරළමින් මෙන් ගෙන දෙන ලද්දක්ම නිශ්චය කරනු සමත්වේ. එහෙයින් මෙහිදී ද සම්මාදිට්ඨියම ස්වජාතීය වශයෙන් ප්‍රඥාස්කන්‍ධය තුළ සංගෘහීතයි; සම්මා සංකප්පය වනාහි ක්‍රියා වශයෙන් සංගෘහීත වේ.