මග්ගනිද්දෙසකථා
දුක්ඛ-නිරෝධ-ගාමිණී-පටිපදා-නිද්දේසයෙහි කියන ලද කරුණු අට වනාහි ඛන්ධ නිද්දේසයෙහිද අර්ත්ථ වශයෙන් ඒකාන්තයෙන් ප්රකාශ කරන ලද්දේමය. මෙහි වනාහි එම කරුණු අට එක් ක්ෂණයෙක්හි (මාර්ගක්ෂණයෙහි) පවත්නා විට ඇති විශේෂය අවබෝධ කිරීම සඳහා යලි පවසමු:- සංක්ෂේපයෙන් වනාහි චතුඃසත්ය ප්රතිවේධය පිණිස පිළිපන් යෝගියාහට නිවණ පිළිබඳව ඇති වන අවිද්යානුශයය මුළුමනින් බිඳ දමන සුලු ප්රඥාව සම්මාදිට්ඨි නම්වේ. එය මනා දැකීම ලක්ෂණ කොට ඇත්තේය. ධාතූන් පිළිබඳ ඇති තතු ප්රකට කිරීම කෘත්ය කොට ඇත්තේය. අවිද්යාන්ධකාර විධ්වංශනය වැටහීම් කාරණා කොට ඇත්තේය. එබඳු දෘෂ්ටියෙන් යුක්ත වූවහුගේ මිථ්යා සංකල්පයන් නසනසුලු, චිත්තය නිර්වාණාභිමුඛව පිහිටුවීම සම්මා සඞ්කප්පයයි. එය මනාකොට සිත පිහිටුවීම ලක්ෂණ කොට ඇත්තේය, අර්පණාව (හෙවත් නිර්වාණයට අභිමුඛව) සිත මෙහෙය වීම කෘත්ය කොට ඇත්තේය. මිථ්යා සංකල්පයන් ප්රහාණය කිරීම වැටහීම් කාරණා කොට ඇත්තේය.
එබඳු දෘෂ්ටි හා සංකල්පයන් ඇත්තහු කෙරෙහි වාග්-දුශ්චරිත නාශය ඇතිකරන, මිථ්යා වචන විරතිය සම්මා වාචා නම්වේ. එය සම්ප්රයුක්ත ධර්මයන් මනාකොට ගැනීම ලක්ෂණ කොට ඇත්තේය: (සදොස් වචනයෙන්) වැලකීම කෘත්ය කොට ඇත්තේය. මිථ්යා වචනයෙන් දුරුවීම වැටහීම් කාරණාකොට ඇත්තේය. සදොස් වචනයෙන් වැලකී නිදොස් වචනයෙන් යුක්ත වූවහු කෙරෙහි සදොස් ක්රියාවන් උපුටා දැමීම, ප්රාණඝාතාදියෙන් වැලකීම සම්මා කම්මන්ත නමි. එය (සම්යක් කර්මාන්ත සහිත පුද්ගලයා) උසස් බවට නගා සිටුවීම ලක්ෂණකොට ඇත්තේය; (සදොස් ක්රියාවෙන්) වැලැක්වීම කෘතයකොට ඇත්තේය; සදොස් ක්රියාවෙන් දුරුවීම වැටහීම් කාරණා කොට ඇත්තේය. එම සම්මාවාචා, සම්මා කම්මන්තයන්හි පිහිටා ශීල විශුද්ධියෙහි පිහිටියහු කෙරෙහි කුහනා, ලපනාදී සදොස් ක්රියාවන් වලකන යම් මිථ්යා ආජීව විරිතියක් වේද එය සම්මා ආජීවයයි. එය පිවිතුරු බව ලක්ෂණකොට ඇත්තේය; න්යායානුකූල ජීවිකා වෘත්තිය කෘත්ය කොට ඇත්තේය; සදොස් ජීවිකාවෙන් වැලකීම වැටහීම් කොට ඇත්තේය.
අනතුරුව සම්මා කම්මන්ත-සම්මා ආජීව සංඛ්යාත ශීලභූමියෙහි පිහිටියහු කෙරෙහි එම ශීලයට අනුරූපව කුහනා-ලපනාදිය නසන සුලු යම් වීර්යාරම්භයක් වේද, එය සම්මා වායාම නමි. එය උත්සාහය ලක්ෂණ කොට ඇත්තේය, නූපන් අකුසල් නො-ඉපැදවීම් ආදිය කෘත්ය කොට ඇත්තේය. මිථ්යා ව්යායාමය ප්රහීණ කිරීම් වැටහීම් කාරණා කොට ඇත්තේය. මෙසේ වීර්ය කරන්නහුට ඇතිවන එම වීර්යයෙන්ම යුක්තවූ, මිච්ඡාසතිය පලවා හරින සුලු යම් නුමුළා බවක් වේද එය සම්මා සතියයි. එය එළඹ සිටීම ලක්ෂණ කොට ඇත්තේය; මුළා නොවීම කෘත්ය කොට ඇත්තේය; මිච්ඡාසතිය හැරලීම වැටහීම් කාරණකොට ඇත්තේය. මෙසේ අනුත්තරවූ සතියෙන් රක්නා ලබන සිත් ඇත්තහු කෙරෙහි ඇති වන එම සම්මා සතියෙන් යුක්ත වූ, මිච්ඡාසමාධිය නසන සුලු යම් චිත්තෛකාග්රතාවක් වේද එය සම්මාසමාධියයි. එය නොවිසුරුණ බව ලක්ෂණය කොට ඇත්තේය, එකලස් කිරීම කෘත්යය කොට ඇත්තේය; මිච්ඡාසමාධිය බැහැරලීම වැටහීම් කාරණා කොට ඇත්තේය. මේ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා නිද්දේස නයයි. මෙසේ මෙහි ජාති ආදීන් පිළිබඳ විනිශ්චය දතයුතුය.
ඤාණකිච්චතො යනු, (ඉන්ද්රිය සච්ච නිද්දේසයෙහි, ඉන්ද්රියයන් පිළිබඳ විස්තර කථාවට අනතුරුව, සත්යයයන් පිළිබඳ විස්තර කථාව අරඹමින් දක්වන ලද ‘විභාගතො නිබ්බචනා’දී ගාථාවන්හි) සත්යයයන් පිළිබඳ ඥානකෘත්ය වශයෙන්ද විනිශ්චය දතයුතුය. සත්යඥානය වූකලී අනුබෝධ ඤාණය, පටිවේධ ඤාණයයි ද්විවිධ වේ. එහි අනුබෝධ ඤාණය ලෞකික වේ; එය නිරෝධ හා මාර්ගයන් දෙක පිළිබඳව අනුස්සව (හෙවත් අසා ලබාගත් දැනුම) ආදී වශයෙන් පවතියි. පටිවේධ ඤාණය ලෝකෝත්තර වේ; එය නිරෝධය අරමුණු කොට, කෘත්ය වශයෙන් චතුස්සත්යය අවබෝධ කරවයි. කියනලදමැයි:- “මහණෙනි, යමෙක් දුඃඛ සත්යය දකීද, හේ සමුදය සත්යයද දකියි; දුඃඛ නිරෝධය දකියි; දුඃඛ නිරෝධගාමිනී ප්රතිපදාවද දකියි” යන ආදී සියල්ල කිව යුතුය. එය පිළිබඳ කෘත්යය මතු ඤාණදස්සන විසුද්ධි නිද්දේසයෙහි පැවසේ. ලෞකිකවූ යම් අනුබෝධ ඤාණයක් වේද, එහි දුඃඛය පිළිබඳ ඥානය නැග එන සක්කාය දිට්ඨිය මැඩලීම් වශයෙන් පවතිමින් එය නවත්වයි; සමුදය ඥානය උච්ඡේද දෘෂ්ටිය වලක්වයි; නිරෝධ ඥානය ශාස්වත දෘෂ්ටිය වලක්වයි. මාර්ග ඥානය අකිරිය දෘෂ්ටිය වලක්වයි.
නොහොත්, දුඃඛ ඥානය නිත්ය, ශුභ, සුඛ, ආත්මභාව යන මේ ස්වභාවයන්ගෙන් තොරවූ ස්කන්ධයන් කෙරෙහි එකී නිත්ය ආදී ස්වභාවයන් ඇතැ’යි යන ඵලය පිළිබඳ වැරදි පිළිවෙත වලකාලයි; (මේ සත්කාර්යවාදය’යි කියනු ලබන සාංඛ්යවාදය ප්රමුඛ දර්ශනයන් හැඳින්වූ පරිදියි). සමුදය ඥානය ඊශ්වර ප්රමුඛ බ්රහ්ම පදාර්ත්ථ, කාල, ස්වභාව ධර්ම යන හේතූන්ගෙන් ලෝකය පවතිතැ’යි යනුවෙන් හේතුව පිළිබඳව, අකාරණ විෂයයෙහි කාරණයයි යන වැරදි වැටහීම වලකාලයි; (‘ඉස්සර පධාන’ යනුවෙන් සත්කාරණ වාදයයි කියනු ලබන වේදාන්ත, අද්වෛත වේදාන්ත, විශිෂ්ටාද්වෛත වේදාන්ත යන දර්ශනවාදයන්ද, ‘කාල-සභාව’ යනුවෙන් පිළිවෙළින් කාලය නිත්ය පදාර්ත්ථයක් ලෙස පිළිගන්නා න්යාය, වෛශේෂික දර්ශනයන් හා ස්වභාව ධර්මය මිස අන් කිසිවක් නැතැ’යි පවසන චර්වාකාදී භෞතික වාදයන්ද ගත් සේ පෙනේ). නිරෝධඥානය අරූප ලෝක, ලෝක ධූපිකා නොහොත් ලෝක ථූපිකා යනුවෙන් හඳුන්වනු ලබන අකනිටා බඹලොව ආදිය නිර්වාණයයි නිරෝධය පිළිබඳ වරදවා ගැනීම වලකාලයි; මාර්ගඥානය කාමසුඛල්ලිකානු යෝගය, අත්තකිලමථානු යෝගයන යන ප්රභේද ඇති අවිශුද්ධි මාර්ගයන් විශුද්ධි මාර්ගයයි උපාය පිළිබඳ වරදවා ගැනීම වලකාලයි. එහෙයින් කියනු ලැබේ:-
ලොකෙ ලොකප්පභවෙ ලොකත්ථගමෙ සිවෙ ච තදුපායෙ
සම්මුය්හති තාව නරො නවිජානාති යාව සච්චානී’ති
සම්මුය්හති තාව නරො නවිජානාති යාව සච්චානී’ති
ලෝකය, ලෝකයට මුල් වූ හේතුව, (ලෝකාවසානය වූ) නිර්වාණය, (එම නිර්වාණයට පැමිණෙන) උපාය මාර්ගය. යම්තාක් මනුෂ්යයා චතුස්සත්යයන් නොදනීද ඒතාක් ලෝකය, ලෝකයට මුල්වූ හේතුව, ලෝකාවසානය වූ නිර්වාණය එම නිර්වාණයට පැමිණෙන උපාය මාර්ගය යන මෙහි මුළාවට පත්වේ.