නිබ්බානකථා
සා අඟක් ලෙසින් අනුපලබ්භනීය (නොලද හැකි) වන හෙයින් නිර්වාණයයි කිසිවක් නොමැත්තේ නොවේද? නො-එසේය, නිසි උපාය මගින් උපලබ්භනීය (ලද හැකි) වන හෙයිනි. එයට අනුරූපවූ ප්රතිපත්ති සංඛ්යාත උපාය මගින් එය ලදහැකියේ වේමැයි. (ඇතැම් ආර්යයන්) චේතෝපරිය ඤාණයෙන් අනුන්ගේ ලෝකෝත්තර චිත්තයන් දැනගන්නාසේයි. එහෙයින් (තමනට) විෂය නොවූ පමණින් (ලොවුතුරු සිතක් වන) නිර්වාණය නැතැ’යි නොකිවයුතුය. අඥාන වූ පෘථග්ජනයාට යමක් අත්දකිනු නොහැකිවූ පමණින් එය නැතැ’යි කීම නොයෙදේමය.
(තවද කරුණෙකින්) නිර්වාණයෙක් නැතැයි කීම සුදුසු නොවේ:- කවර හෙයින්ද යත්, එසේ වෙතොත් ප්රතිපදා මාර්ගය නිෂ්ඵල බවට පත්වන හෙයිනි. නිර්වාණයක් නැතොත් සම්යග්දෘෂ්ටිය පෙරටු කොට ඇති ශීලාදී ශික්ෂාත්රයයෙන් සමන්විත වූ මුළු සම්යක් ප්රතිපදා මාර්ගයම වඳ බවට පත්වේ. එහෙත්, මේ ප්රතිපත්ති මාර්ගය වඳවූවක් නොවේ. නිර්වාණයට පමුණුවන හෙයිනි. නොපවත්නා (නිවනක්) වෙතට පමුණුවන හෙයින් ප්රතිපදාව නිෂ්ඵල බවට පත් නොවේද? එසේ නොවේ, අතීත අනාගත (ස්කන්ධයන්) නැති කල්හි පවා නිවණට පැමිණීම නොවන හෙයිනි. එසේ නම් ‘නිර්වාණය’ යනු වර්තමාන ස්කන්ධයන්ගේද අභාවයද? නො-එසේය, ඔවුන්ගේ අභාවයක් සිදු නොවිය හැකි හෙයිනි. (අභාවයක් ඇති තැන වර්තමානද විය හැකි නොවේ). අභාවය සිදුවන විටම අවර්තමාන භාවයට පත්වන හෙයිනි. තවද වර්තමාන ස්කන්ධයන් ඇසුරුකොට ඇති මාර්ගක්ෂණයෙහිදීම සෝපාදිසේස-නිබ්බාණ-ධාතුවට පත් නොවීමේ දෝෂය සිදුවන හෙයිනි. එකල ක්ලේශයන් නොපවත්නා හෙයින් දෝෂයක් නොවේද? නොවේ. ආර්ය මාර්ගය නිරර්ත්ථක බවට පැමිණෙන හෙයිනි. එසේ වෙතොත් ආර්යමාර්ග ක්ෂණයට පෙරද ක්ලේශයන්ගේ අභාවය වෙතැ’යි ආර්ය මාර්ගය නිරර්ත්ථක බවට පත් වේ. එහෙයින් මේ තර්කය යුක්තියුක්ත නොවේ.
“යො ඛො ආවුසො රාගක්ඛයො” ආදි වචනයෙන් රාග, ද්වේෂ, මෝහ යන මොවුන්ගේ ක්ෂය වීම් මාත්රය නිර්වාණය වේද? නොවේ. අර්හත්වයද ක්ෂය මාත්ර බවට පත්වන හෙයිනි. එයද ‘යො ඛො ආවුසො රාගක්ඛයො’ ආදී නයින් දක්වන ලද්දේ වේ. තවද, ‘නිර්වාණය තාවකාලික වේ’ යන ආදී සාවද්ය නිගමනයනට පමුණුවන හෙයිනි. එසේ වුවහොත්, තාවකාලික වූ නිර්වාණය සංඛත ලක්ෂණ ඇති බවටද, සම්යග් ව්යායාම විෂයයෙහි අපේක්ෂාවෙන් තොරව අවබෝධ කළ හැකි බවටද පත් වන්නේය; සංඛත ලක්ෂණ ඇති හෙයින්ම සංස්කාර ධර්මයනට අයත් වන්නේය. සංස්කාරයනට අයත් වන හෙයින්ම රාගාදී ගින්නෙන් ඇවිල ගියේය. එසේ ඇවිල ගිය හෙයින්ම දුඃඛයයි යන ආදී සාවද්ය නිගමනයකට එළඹෙන්නේය. ක්ෂයවීමෙන් පසු යම් හෙයකින් නැවත පැවැත්මක් නැතොත් එය නිර්වාණයයි ගැනීමෙහි දෝෂයක් නැත්ද? නොඑසේය, එවන් ක්ෂය වීමක් නැති හෙයිනි, ඇත්තේ වුවද, කියන ලද ප්රකාර ඇති සාවද්ය නිගමනයන් නො-ඉක්මවිය හැකි හෙයින් හා ආර්ය මාර්ගය යනුද නිර්වාණයමැ’යි යන සාවද්ය නිගමනයට පමුණුවන හෙයිනි. ආර්ය මාර්ගය ඒකාන්තයෙන් දෝෂයන් සිඳලන්නේය. එහෙයින් ‘ඛය’යි කියනු ලැබේ. එතැන් පටන් දෝෂයන්ගේ පැවැත්මක්ද නැත;
‘අනුත්පත්ති නිරෝධ’ යයි කියන ලද ‘ඛය’ හෙවත් නොපැවැත්මට පර්යාය වශයෙන් උපනිශ්රය වන හෙයින්, යමකට උපනිශ්රය වේද එය උපචාර වශයෙන් ‘ඛය’ යයි කියනලදි. කවර හෙයින් එය (උපචාර වශයෙන් මිස) ස්වරූප වශයෙන්ම නොකියන ලද්දේද? ඉතා සියුම් හෙයිනි. එය ඉතා සියුම්බව භාග්යවතුන් වහන්සේට පවා මන්දෝත්සාහී බව ඇති වීමෙන්ද, ආර්ය චක්ෂුසින්ම එය දැකගතයුතු වන හෙයින්ද සිද්ධයි.
ඒ මේ නිර්වාණය ආර්යමාර්ගයෙන් යුක්තවූවහු විසින්ම ලැබිය හැකි වන හෙයින් ‘අසාධාරණ’ (අසාමාන්ය) වේ. මුල් කෙළවරක් නැති හෙයින් ‘අප්පභව’ වේ. ආර්යමාර්ගය ඇති විටම එය (නිර්වාණය) ද ඇති හෙයින් ‘අප්පභව’ නොවන්නේ නොවේද? එසේ නොවේ. මාර්ගයෙන් එය නො ඉපදවිය හැකි වන හෙයිනි. මෙය (නිර්වාණය) වනාහි ආර්යමාර්ගයෙන් පැමිණිය හැකිවන නමුදු ඉපිදවිය හැකි නොවේ. එහෙයින් එය ‘අප්පභව’ වන්නේමය, ‘අප්පභව’ වන හෙයින් ‘අජරාමරද’ වන්නේය. ප්රභව-ජරා මරණයන්ගෙන් තොර වූ හෙයින් ‘නිත්ය’ වන්නේය.
නිර්වාණය මෙන්ම පරමාණු ආදියෙහිද නිත්යභාවය ගම්ය වන්නේ නොවේද? එසේ නොවේ. (එසේ වන්නට) හේතුවක් නැති හෙයිනි. නිර්වාණය නිත්යවන හෙයින් ඒ පරමාණු ආදියද නිත්ය වන්නේ නොවේද? එසේ නොවේ. හේතු ලක්ෂණයක් ඇසුරු කොට නොපවන්නා හෙයිනි. ඉපැදීම් ආදියක් නොමැති හෙයින් නිර්වාණය මෙන්ම පරමාණු ආදියද නිත්ය වන්නේ නොවේද? එසේ නොවේ, පරමාණු ආදියට ඉපැදීම් ආදිය නොමැති බව මෙහි සාධනය නොවන හෙයිනි. (නොහොත්, අකෘතිම වූ පමණින් පරමාණු ආදිය නිත්ය වන බවක් සාධනය නොවන හෙයිනි).
මෙහි කියන ලද හේතු යුක්තීන්ගේ සද්භාවය අනුව හුදෙක් මේ (නිර්වාණය) ම නිත්ය වේ: රූපස්වභාවය ඉක්මවන හෙයින් අරූප වේ; [missing trans]
දෘඪ වීර්ය බලයෙන් සාධනය කළයුතු ඥාන විශේෂයෙන්ම අවබෝධ කළ හැකි හෙයින්ද, සර්වඥයන් වහන්සේගේම වචන හෙයින්ද පරමාර්ත්ථ වශයෙන් අවිද්යාමාන නොවේ. කියන ලදමැයි:- “මහණෙනි, අජාත (නොඋපන්) වූ, අභූත (නොවූ) වූ, අකෘත (නොකළා) වූ, අසංඛත (අකෘත්රිම) වූ දෙයක් ඇත.”
මේ දුක්ඛ-නිරෝධ නිද්දේසයෙහි විනිශ්චය කථාමාර්ගයයි.
මග්ගනිද්දෙසකථා
දුක්ඛ-නිරෝධ-ගාමිණී-පටිපදා-නිද්දේසයෙහි කියන ලද කරුණු අට වනාහි ඛන්ධ නිද්දේසයෙහිද අර්ත්ථ වශයෙන් ඒකාන්තයෙන් ප්රකාශ කරන ලද්දේමය. මෙහි වනාහි එම කරුණු අට එක් ක්ෂණයෙක්හි (මාර්ගක්ෂණයෙහි) පවත්නා විට ඇති විශේෂය අවබෝධ කිරීම සඳහා යලි පවසමු:- සංක්ෂේපයෙන් වනාහි චතුඃසත්ය ප්රතිවේධය පිණිස පිළිපන් යෝගියාහට නිවණ පිළිබඳව ඇති වන අවිද්යානුශයය මුළුමනින් බිඳ දමන සුලු ප්රඥාව සම්මාදිට්ඨි නම්වේ. එය මනා දැකීම ලක්ෂණ කොට ඇත්තේය. ධාතූන් පිළිබඳ ඇති තතු ප්රකට කිරීම කෘත්ය කොට ඇත්තේය. අවිද්යාන්ධකාර විධ්වංශනය වැටහීම් කාරණා කොට ඇත්තේය. එබඳු දෘෂ්ටියෙන් යුක්ත වූවහුගේ මිථ්යා සංකල්පයන් නසනසුලු, චිත්තය නිර්වාණාභිමුඛව පිහිටුවීම සම්මා සඞ්කප්පයයි. එය මනාකොට සිත පිහිටුවීම ලක්ෂණ කොට ඇත්තේය, අර්පණාව (හෙවත් නිර්වාණයට අභිමුඛව) සිත මෙහෙය වීම කෘත්ය කොට ඇත්තේය. මිථ්යා සංකල්පයන් ප්රහාණය කිරීම වැටහීම් කාරණා කොට ඇත්තේය.
එබඳු දෘෂ්ටි හා සංකල්පයන් ඇත්තහු කෙරෙහි වාග්-දුශ්චරිත නාශය ඇතිකරන, මිථ්යා වචන විරතිය සම්මා වාචා නම්වේ. එය සම්ප්රයුක්ත ධර්මයන් මනාකොට ගැනීම ලක්ෂණ කොට ඇත්තේය: (සදොස් වචනයෙන්) වැලකීම කෘත්ය කොට ඇත්තේය. මිථ්යා වචනයෙන් දුරුවීම වැටහීම් කාරණාකොට ඇත්තේය. සදොස් වචනයෙන් වැලකී නිදොස් වචනයෙන් යුක්ත වූවහු කෙරෙහි සදොස් ක්රියාවන් උපුටා දැමීම, ප්රාණඝාතාදියෙන් වැලකීම සම්මා කම්මන්ත නමි. එය (සම්යක් කර්මාන්ත සහිත පුද්ගලයා) උසස් බවට නගා සිටුවීම ලක්ෂණකොට ඇත්තේය; (සදොස් ක්රියාවෙන්) වැලැක්වීම කෘතයකොට ඇත්තේය; සදොස් ක්රියාවෙන් දුරුවීම වැටහීම් කාරණා කොට ඇත්තේය. එම සම්මාවාචා, සම්මා කම්මන්තයන්හි පිහිටා ශීල විශුද්ධියෙහි පිහිටියහු කෙරෙහි කුහනා, ලපනාදී සදොස් ක්රියාවන් වලකන යම් මිථ්යා ආජීව විරිතියක් වේද එය සම්මා ආජීවයයි. එය පිවිතුරු බව ලක්ෂණකොට ඇත්තේය; න්යායානුකූල ජීවිකා වෘත්තිය කෘත්ය කොට ඇත්තේය; සදොස් ජීවිකාවෙන් වැලකීම වැටහීම් කොට ඇත්තේය.