අතීතාදිවිභාගකථා
භාග්යවතුන් වහන්සේ විසින්,
“අභ්යන්තර හෝ බාහිර වූ, ඕළාරික හෝ සියුම්වූ, ලාමක හෝ ප්රණීත වූ, දුරස්ථ හෝ සමීපස්ථවූ, අතීත-අනාගත-ප්රත්යුත්පන්න යන කාලත්රයයට අයත් යම් කිසි රූප කොටසක් වේද, ඒ සියල්ල එක්කොට, පිඬු කොට, මේ ‘රූපස්කන්ධය’යිද, යම්කිසි වේදනා කොටසක්වේද -පෙ-යම්කිසි සඤ්ඤා කොටසක් වේද -පෙ- යම්කිසි සංස්කාර කොටසක් වේද -පෙ- යම් කිසි විඤ්ඤාණ කොටසක් වේද, ඒ සියල්ල එක්කොට, පිඬු කොට, ‘මේ විඤ්ඤාණ ස්කන්ධයයිද කියනු ලැබෙති’යි යනුවෙන් මෙසේ ස්කන්ධයෝ විස්තර කරන ලද්දාහුය. (යංකිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා තදෙකජ්ඣං අභිසංයුහිත්වා, අභිසඞ්ඛිපිත්වා ‘අයං වුච්චති රූපක්ඛන්ධො, යාකාචි වේදනා-පෙ- යාකාචි සඤ්ඤා -පෙ-යෙ කෙචි සංඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගත පච්චුප්පන්නං -පෙ- අභිසඞ්ඛිපිත්වා අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො’ති)
එහි ‘යං කිඤ්චි’ යනුවෙන් නිරවශේෂ ග්රහණය (කිසිවක් නොහැර මුළුමනින් ගැනීම) වේ; ‘රූපං’ යනුවෙන් අතිප්පසංග නියමනය (සෙසු පදාර්ත්ථයන්ගෙන් වෙන්කොට අභිප්රේත පදාර්ත්ථය නියම කිරීම) වේ. මෙසේ මේ (යඞ්කිඤ්චි රූපං යන) පද දෙකින් නමුදු රූප පදාර්ත්ථයෙහි අතීතාදී විනිශ්චයය අරඹයි. එය වනාහි අතීතයෙහි වූ කිසිවක්, අනාගතයෙහි වන්නා වූ කිසිවක් යන ආදී විශේෂයයි; වේදනා ආදී තන්හිද මෙම නයයි.
එහි, පළමුකොට රූපය අද්ධාය, සන්තතිය, සමයය, ඛණය යනුවෙන් සිවුආකාරයෙකින් අතීත නම්වේ. අනාගත-ප්රත්යුත්පන්න රූපයද එසේය.
එහි පළමු කොට අධ්ව වශයෙන් ගතහොත්, එක් පුද්ගලයකුගේ එක් භවයෙක්හි ප්රතිසන්ධියෙන් පෙරවූයේ අතීතයි, ච්යුතියෙන් මත්තෙහි වනුයේ අනාගතයි, ප්රතිසන්ධි-ච්යුති යන දෙකට අතර වනුයේ ප්රත්යුත්පන්නයි.
සන්තති වශයෙන්, සමානවූ හෝ එක්ම වූ ඍතුගුණයෙන් හටගත්තාවූද, එක්මවූ ආහාරයෙන් හටගත්තා වූද රූපය, පෙර පසු වශයෙන් පවත්නේ නමුදු ප්රත්යත්පන්න වේ; ඉන් පෙර අසමාන වූ ඍතු ගුණයෙන් හා ආහාරයෙන් හටගත් රූපය අතීත වේ; පසුව වනුයේ අනාගත වේ. චිත්තජ රූපය ගතහොත්, එක් චිත්ත වීථියෙක්හි, එක් ජවනයෙක්හි, එක් සමවතෙක්හි හටගත්තේ ප්රත්යුත්පන්නයි. ඉන් පෙර වූයේ අතීතයි, ඉන් පසුව වනුයේ අනාගතයි. කර්මජ රූපයට සන්තති වශයෙන් එකක් එකක් පාසා අතීතාදි භේදයක් නැත. සෘතු-ආහාර-චිත්ත යන මෙයින් හටගන්නා එම රූපයන්හට උපස්ථම්භක වශයෙන් එම කම්මසමුට්ඨානික රූපය පිළිබඳ අතීත බව ආදිය දත යුතුය.
සමය වශයෙන්, එක් මොහොතක්ය. පෙරවරුය, පස්වරුය, රැයය, දහවලය යන ආදී කාලනියමයෙහි නිරන්තර වශයෙන් පවත්නා කාලය ප්රත්යුත්පන්න වේ. ඉන් පෙර කාලය අතීතයි, පසුව එන කාලය අනාගතයි.
ඛණ වශයෙන් උත්පාද ආදී ක්ෂණත්රයයට අයත් රූපය ප්රත්යුත්පන්නයි. ඉන්පෙර එය අතීතයි. පසුව අනාගතයි. තවද ඉකුත්වූ හේතුකෘත්ය-ප්රත්යය කෘත්ය සහිත වූයේ අතීතයි. නිමි හේතු කෘත්යය හා නොනිමි ප්රත්යය කෘත්යය ඇති රූපය ප්රත්යුත්පන්නයි. උභය කෘත්යයන්ම නොසැපයුණ රූපය අනාගතයි; නොහොත් ස්වකෘත්යය කැරෙමින් පවත්නා කෙණෙහි ප්රත්යුත්පන්නයි. එයින් පෙර එය අතීතයි. පසුව අනාගතයි. මෙහි ඛණ’ යනුවෙන් ඇරඹෙන කථාමාර්ගයම නිෂ්පර්යාය හෙවත් ඒකාන්ත අර්ත්ථ සහිත වේ. සෙසු (අද්ධා, සන්තති, සමය යන) තුන සපර්යාය හෙවත් සාපේක්ෂාර්ත්ථ සහිත වේ.
අජ්ඣත්ත - බහිද්ධා භේදය යට කී නයම වේ. තවද මෙහි අජ්ඣත්ත යනු තමා පිළිබඳ (රූපාදී) අජ්ඣත්ත යයිද, බහිද්ධා යනු මෙරමා පිළිබඳ රූපාදියයිද දතයුතුය. ඕළාරික-සුඛුම (දැඩි, සියුම්) භේදයද යටකී නයම වේ.
හීන-ප්රණීත භේදය සප්පරියාය (සාපේක්ෂක) වශයෙන් හා නිප්පරියාය (ඓකාන්තික) වශයෙන් ද්විවිධ වේ. එහි අකනිට්ඨා වැස්සන්ගේ රූපයට වඩා සුදස්සී වැස්සන්ගේ රූපය හීන වේ. එයම සුදස්ස වැස්සන්ගේ රූපයට වඩා ප්රණීත වේ. මේ ආකාරයෙන් නිරය වාසීන්ගේ රූපය දක්වා සාපේක්ෂ වශයෙන් හීන-ප්රණීතතාව වෙතැ’යි දතයුතුය. නිප්පරියාය (ඓකාන්තික) වශයෙන් වනාහි, යම් තැනෙක්හි අකුසල විපාකය සිදුවේද එය හීන වේ. යම් තැනෙක්හි කුසල විපාකය වේද එය ප්රණීත වේ.
දූරෙ සන්තිකෙ යන මෙයද යටකී නයම වේ. තවද අවකාශ වශයෙන්ද ගෙන මෙහිදී දුර-සන්තිකතාව දතයුතුය.
තදෙකජ්ඣං අභිසංයූහිත්වා අභිසඞ්ඛරිත්වා යනු, අතීතාදී පදවලින් වෙන් වෙන් වශයෙන් දක්වන ලද සකලාකාර වූම රූපය රුප්පන ලක්ෂණ සංඛ්යාත වූ ඒකවිධ භාවයෙන් ප්රඥාවෙන් එක් රැස්කොට රූපස්කන්ධයයි කියනු ලැබේ’ යනු මෙහි අර්ත්ථයයි. මෙයින් සකලවිධ වූම රූපය විනාශවීමේ ලක්ෂණය රාශීභූත බවට යාමෙන් රූපස්කන්ධයයි දක්වන ලද්දේ වේ. එම රූපය හැර අනෙක් රූපස්කන්ධයෙක් නම් නැත්තේය.
රූපය මෙන්ම වේදනාදියද වේදයිත ලක්ෂණාදිය තුළ රාශීභූත වීමෙන් වේ. වේදනාදියෙන් බැහැර වූ වේදනාස්කන්ධ ආදියෙක් නැත.
මෙහි අතීතාදී වූ විභාගයෙහිදී වනාහි සන්තති වශයෙන් හා ඛණාදී වශයෙන්ද වේදනාව පිළිබඳ අතීත-අනාගත-ප්රත්යුත්පන්නභාවය දතයුතුය. එහි සන්තති වශයෙන් එක් චිත්ත වීථියකට, එක් ජවනයකට, එක් සමවතකට පත්වූද, එක සමාන විෂය සංයෝගයකට පැමිණියාවූද වේදනාව ප්රත්යුත්පන්න වේ. ඉන් පෙර වූයේ අතීතද පසුව වනුයේ අනාගත වේ. ක්ෂණාදී වශයෙන් (උත්පාද, ස්ථිති-භංග යන) ක්ෂණත්රයයට පත්වූද, පූර්වාන්තයට, අපරාන්තයට හා මධ්යයට පැමිණියාවූද, ස්වකෘත්යය කරන්නාවූද, වේදනාව ප්රත්යුත්පන්න වේ. එයින් පෙර වූයේ අතීතද පසුව වනුයේ අනාගතය වේ. අජ්ඣත්ත-බහිද්ධා භේදය, තමා පිළිබඳ අධ්යාත්ම වශයෙන් දතයුතුය.
ඕළාරික-සුඛුම භේදය ‘අකුශල වේදනාව ඕළාරික වේ. කුශල වේදනාව හා අව්යකෘත වේදනාව සුඛුම වේ’ ආදී නයින් විභඞ්ගයෙහි කියන ලද ජාති, ස්වභාව, පුද්ගල, ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දතයුතුය. පළමුකොට ජාති වශයෙන් ගතහොත්, අකුසල වේදනාව සාවද්ය ක්රියා හේතුවෙන්ද, ක්ලේශ සන්තාප භාවයෙන්ද, අශාන්ත වෘත්ති ඇත්තේ යයිද කුශල වේදනාවට වඩා ඕළාරික වේ. ව්යාපාර සහිත බැවින්ද, උත්සාහ සහිත බැවින්ද, විපාක සහිත බැවින්ද ක්ලේශ පරිදාහ සහිත බැවින්ද, සාවද්ය-බැවින්ද විපාක අව්යාකෘත-වේදනාවට වඩා ඔළාරික වේ. විපාක සහිත බැවින්ද, ක්ලේශ පරිදාහ සහිත බැවින්ද, සාවද්ය බැවින්ද පීඩා සහිත බැවින්ද, සාවද්ය බැවින්ද කිරිය අව්යකෘතයට වඩා ඕළාරික වේ. කුසල වේදනාව හා අව්යකෘත වේදනාව කියනලද අකුසල වේදනාව විපරීත හෙයින් අකුසල වේදනාවට වඩා සුඛුම වේ. කුසල වේදනා හා අකුසල වේදනා යන දෙකම ව්යාපාර සහිත බැවින්ද, උත්සාහ සහිත බැවින්ද, විපාක සහිත බැවින්ද (විපාක-කිරියය යන) ද්විප්රකාරවූම අව්යාකෘත වේදනාවට වඩා ඕළාරික වේ. කියනලද (කුසල-අකුසල) වේදනාවනට විපරීත වශයෙන් ද්විප්රකාර වූම අව්යාකෘත වේදනාව (එම කුසල-අකුසල වේදනාවනට වඩා) සූක්ෂම වේ. මෙසේ ජාති වශයෙන් ඕළාරික හා සුඛුම බව දතයුතුය.