14. ඛන්‍ධ නිද්දේසය
පඤ්ඤාකථා
ඉක්බිති යම් හෙයකින් අභිඥා වශයෙන් මෙසේ ලද ආනිශංස ඇති, වඩා තිර බවට පත් සමාධිභාවනායෙන් සමන්විත භික්‍ෂුව විසින්, “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං” යන මෙහි චිත්ත ශීර්ෂයෙන් දක්වන ලද සමාධිය සියලු ආකාරයෙන් වඩනා ලද්දේ වේද,
ඉන් අනතුරුව පඤ්ඤා භාවනාවද වැඩියයුතු වේ. එම පඤ්ඤා භාවනාව ඉතා සංක්‍ෂේපයෙන් දේශනා කරන ලද හෙයින් වැඩීමට තබා වටහා ගැනීමට පවා අපහසු වේ. එහෙයින් එය පිළිබඳ විස්තරය හා භාවනා ක්‍රමය දක්වනු වස් මේ ප්‍රශ්න-විචාරණය කරනු ලැබේ:
පඤ්ඤා යනු කුමක්ද? කවර අර්ත්‍ථයෙන් පඤ්ඤා නම්වේද? එහි ලක්ඛණ (ලක්‍ෂණය), රස (කෘත්‍යය), පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය), පදට්ඨාන (ආසන්න කාරණය හෙවත් පදනම) කවරේද? පඤ්ඤාව කෙතෙක් ආකාර ඇත්තේද? කෙසේ වැඩිය යුතුද? පඤ්ඤාභාවනායෙහි ආනිශංස කවරේද? යනුවෙනි.
එහි විසඳීම මෙසේයි:- පඤ්ඤා යනු කුමක්ද යත්: පඤ්ඤාව බහුවිධ වේ, නොයෙක් ආකාර ඇත්තේ වේ. ඒ සියල්ල විස්තර කිරීම ඇරඹුව හොත් විසඳීම මෙන්ම අභිප්‍රේතාර්ත්‍ථයද සිද්ධ නොවිය හැකිය, තවද එය වික්‍ෂේපයට (කලකිරීමට) හේතු විය හැකිය. එහෙයින් මෙහි අභිප්‍රේත අර්ත්‍ථයම සලකා කුශල චිත්තය හා සමග යෙදුණු විදර්ශනා ඥානය පඤ්ඤායයි සිතමු.
කවර අර්ත්‍ථයෙන් පඤ්ඤා නම් වේද යත්: පජානන (හෙවත් විශේෂ කොට දැන ගැනීමේ) අර්ත්‍ථයෙන් ‘පඤ්ඤා’ නම් වේ; මේ පජානනය නම් කුමක්ද? හඳුනාගැනීමය, මනාසේ දැන ගැනීමය යන දෙ-ආකාරයටම වඩා විශිෂ්ට වූ නානාප්‍රකාර වශයෙන් දැනගැනීම පජානනයයි. සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යන මේ තුනෙහිම ජානනභාවය ඇත්තේ නමුදු, ‘සඤ්ඤා’ යනු, හුදෙක් නිල්වන්ය, කසාවන්යයි අරමුණක් හඳුනාගැනීම පමණෙකි. එය ‘අනිත්‍යය, දුඃඛය ආනාත්මය’යි ලක්‍ෂණ ප්‍රතිවේධයට පැමිණවීමට නොසමත් වේ. විඤ්ඤාණය නිල්වන්ය, කසාවන්යයි අරමුණුද දනියි, ලක්‍ෂණ ප්‍රතිවේධයටද පමුණුවයි, එහෙත් උත්සාහවත් කොට (නොහොත් ඉදිරියට මෙහෙයවා) මාර්ගාවබෝධයට පමුණුවනු නොහැක්කේ වේ. පඤ්ඤාව වූකලී කීනයින් අරමුණු ද දනියි, ලක්‍ෂණ ප්‍රතිවේධයටද පමුණුවයි. උත්සාහවත් කොට මාර්ගාවබෝධයටද පමුණුවයි.
යම්සේ වනාහි රන් පුවරුවක තබන ලද කහවණු රැසක් නූපන් බුද්ධි ඇති ලදරුවෙක, ගැමි පුරුෂයෙක, රන්කරුවෙකැ’යි යන තිදෙන විසින් දක්නා ලද කල්හි, ඔවුන’තුරෙන් බුද්ධිය නොපැසුණු ළදරුවා එම කහවණුවල ඇති හැඩහුරුකම, විසිතුරුබව, දික්බව, සිවුරැස් බව, වටකුරුබව ආදිය පමණක් දනියි; ‘මෙය මිනිසුන්ගේ උපභෝග පරිභෝගයට සුදුසු රත්න ජාතියෙකැ’යි නොදනියි. ගැමි තෙමේ එහි ඇති හැඩහුරුකම විසිතුරුබව ආදියද දනියි, ‘මෙය මිනිසුන්ගේ උපභෝග-පරිභෝගයට යෝග්‍ය වූ රත්න ජාතියෙකැ’යි ද දනියි. ‘මෙය සැබෑ රන්ය, මෙය බොරු රන්ය, මෙය මාත්තු රන්ය’ යන මේ විභාගය නොදනියි. රන්කරු තෙමේ එකී සියලුම ප්‍රකාරයන් දනියි, දැන ගනුයේද කහවණු බැලීමෙන්ද දැනගනියි, ගැටෙන විට හඬ ඇසීමෙන්ද දැනගනියි, ගඳ දැනීමෙන්ද, (දිවග තබා) රසබැලීමෙන්ද, අතින් ඔසවා බර බැලීමෙන්ද, ‘අසුවල් නම් ගමෙහි, නියම් ගමෙහි හෝ නගරයෙහි, පර්වතයෙහි හෝ ගංතෙරෙහි කරන ලදැ’යිද, අසුවල් ආචාර්යයා විසින් කරන ලදැ’යිද දැනගනියි. මෙසේ මේ කාරණය දතයුතුය.
සඤ්ඤාව වූකලී නොහටගත් බුද්ධියෙන් යුත් ළදරුවාගේ කහවණු දැකීම වැනි වේ, නීලාදී වශයෙන් අරමුණට එළඹීමේදී ඡායාමාත්‍රය ගන්නා හෙයිනි. විඤ්ඤාණය ගැමියාගේ කහවණු දැකීම වැනි වේ, නීලාදී වශයෙන් අරමුණුවල ආකාරය ගන්නා හෙයින් හා ඉන් මතු ද ලක්‍ෂණ අවබෝධයට පමුණුවන හෙයිනි. පඤ්ඤාව රන්කරුවාගේ කහවණු දැකීම බඳු වේ, නීලාදී වශයෙන් අරමුණුවල ආකාරය ගෙන ලක්‍ෂණ අවබෝධයටද පමුණුවා එයින් මතුද මාර්ගාවබෝධය වෙත පමණුවන හෙයිනි. එහෙයින් හඳුනාගැනීමට හා දැනගැනීමටද වඩා විශිෂ්ට වූ යම් මේ අනේකාකාරයෙන් අවබෝධ කිරීමෙන් වේද, එය ‘පජානන’ නමැ’යි දතයුතුය. මෙය සඳහා ‘පජානනට්ඨෙන පඤ්ඤා’ (වෙසෙසා දැනගැනීමේ අර්ත්‍ථයෙන් ‘පඤ්ඤා’ නමැ’යි) යි කියනලදි.
ඒ මේ පඤ්ඤාව වූකලී සඤ්ඤා-විඤ්ඤාණ යන දෙක පවත්නා තැන ඒකාන්ත වශයෙන් පවත්නේ නොවේ. යම් විටෙක පවත්නේ නම්, එවිට එය එම ස්වභාවයන්ගෙන් වෙන් කොට ගතහැක්කේද නොවේ, ‘මේ සඤ්ඤාය, මේ විඤ්ඤාණය, මේ පඤ්ඤා යයි වෙන්කොට නොහැකි නානත්‍වය සියුම්ද, දුරවබෝධය වේ. එහෙයින් කීහ ආයුෂ්මත් නාගසේන තෙරණුවෝ:- “මහරජ, භාග්‍යවතුන් වහන්සේ විසින් දුෂ්කර කාර්යයක් කරන ලද්දේය”. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, කවර නම් දුෂ්කර කාර්යයක් භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද්දේද?” “මහරජ, අරූපී වූ, එක් අරමුණෙක්හි පවත්නා වූ, චිත්ත-චෛතසික ධර්මයන් අතුරෙන්, ‘මේ ඵස්සය’, ‘මේ වේදනාය’, ‘මේ සඤ්ඤාය’, ‘මේ චේතනාය’, ‘මේ චිත්තය’යි මෙසේ නිශ්චය කොට දැක්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද දුෂ්කර කාර්යයි”.
එහි ලක්‍ෂණ, රස (හෙවත් කෘත්‍යය), පච්චුපට්ඨාන (හෙවත් වැටහෙන ආකරය) පදට්ඨාන (පදනම හෙවත් ආසන්න කාරණය) යනු කවරේදැයි යන්න මෙහි, පඤ්ඤාව ධර්මයන් පිළිබඳ යථාස්වභාවය විනිවිද දැකීම ලක්‍ෂණකොට ඇත්තේ වේ, ධර්මයන් පිළිබඳ යථාස්වභාවය වසා සිටින මෝහාන්‍ධකාරය නසාලීම කෘත්‍යය කොට ඇත්තේ වේ, නුමුළාබව වැටහෙන ආකාරය වේ. සමාහිතො යථාභූතං පජානාති, පස්සති (සමාධියට පැමිණියේ ඇති තතු දනියි, දකියි) යි කී හෙයින් සමාධිය එහි පදනම හෙවත් ආසන්න කාරණය වේ.