කමාදිවිනිච්ඡයකථා
එසේ දැන, යලිදු,
ඛන්ධෙසු ඤාණභෙදත්ථං කමතො’ථ විසෙසතො
අනුනාධිකතො චෙව උපමාතො තථෙවච
අනුනාධිකතො චෙව උපමාතො තථෙවච
දට්ඨබ්බතො ද්විධා එවං පස්සන්තස්සථ සිද්ධිතො
විනිච්ඡයනයො සම්මා විඤ්ඤාතබ්බො විභාවිනා
විනිච්ඡයනයො සම්මා විඤ්ඤාතබ්බො විභාවිනා
ස්කන්ධයන් පිළිබඳ ඥානවිශේෂයන් ලැබීම සඳහා දේශනාක්රම වශයෙන්ද, විශේෂ විභාග වශයෙන්ද, අනුනාධික වශයෙන්ද, උපමා වශයෙන්ද, එසේම, දෙපරිද්දෙකින් දැකිය යුතු බව වශයෙන්ද, එසේ දක්නහුගේ අභිමතාර්ත්ථ-සිද්ධි වශයෙන්ද මෙහි විනිශ්චය ක්රමය නුවණැත්තහු විසින් මනාකොට දතයුතුය.
එහි කමතො යනු, ක්රමය වූකලී උත්පත්ති ක්රමය, ප්රහාණක්රමය, ප්රතිපත්ති ක්රමය, භූමි ක්රමය, දේශනා ක්රමය’යි යන ආදී වශයෙන් බොහෝ ඇත්තේ වේ.
එහි, “පඨමං කලලං හොති කලලා හොති අබ්බුදං” යන ආදිය උත්පත්ති ක්රමයයි; “දස්සනෙන පහාතබ්බා ධම්මා, භාවනාය පහාතබ්බාධම්මා” යන ආදිය ප්රහාණ ක්රමයයි; “සීලවිසුද්ධි, චිත්ත විසුද්ධි’’ යන ආදිය ප්රතිපත්ති ක්රමයයි; “කාමාවචරා, රූපාවචරා” යන මේ ආදිය භූමික්රමයයි; “චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා” යන මේ ආදිය නැතහොත්, “දාන කථං, සීල කථං” යන ආදිය දේශනා ක්රමයයි. මේ ක්රමයන් අතුරෙන් ප්රථමය වූ උත්පත්ති ක්රමය මෙහි නොයෙදේ; කලලාදිය මෙන් ස්කන්ධයන් පෙර-පසු නියමයෙන් නො-උපදාන හෙයිනි. ප්රහාණ ක්රමයද නොයෙදේ. කුසල-අව්යාකතයන් ප්රහීණ කළයුතු නොවන හෙයිනි. ප්රතිපත්ති ක්රමයද නොයෙදේ. අකුසලයන් නොපිළිපැදිය යුතුවන හෙයිනි. භූමික්රමයද නොයෙදේ. වේදනා ආදිය චතුර්භූමියටම සාමාන්ය වන හෙයිනි. දේශනා ක්රමය වනාහි යෙදේමැයි,
පංච ස්කන්ධයන් විභාගකොට ගනු නොහැකි වීමෙන් එම ස්කන්ධයන් කෙරෙහි ආත්මග්රාහයට වැටුණ කිසියම් වෛනේය ජනකෙනකු වෙතොත්, ඔවුන් කෙරෙහි හිත කැමැතිව, දැඩි ලෙස එක්ව බැඳුණු එම ස්කන්ධ සමූහය විග්රහකොට දැක්වීමෙන් එම ආත්මග්රාහයෙන් මුදවාලනු කැමැති භාග්යවතුන් වහන්සේ, ඒ ඒ ජනයාගේ සුඛග්රහණය සඳහා චක්ෂුරාදියට පවා විෂය වන ඕළාරික රූපස්කන්ධය පළමුකොට දේශනා කළ සේක. ඉක්බිති ඉෂ්ටානිෂ්ට රූපයන් පිළිබඳ සංවේදන සංඛ්යාත වේදනාස්කන්ධයද, “යමක් විඳිතොත් එය හඳුනාගනිති’යි මෙසේ වේදනා විෂය පිළිබඳ ආකාරය ගන්නා සඤ්ඤා ස්කන්ධයද, සඤ්ඤා වශයෙන් රැස්කරනු ලබන චෛතසික සංස්කාරයන්ද, එම වේදනාදියට නිශ්රය වූ ඔවුනට අධිපති වූ විඤ්ඤාණ ස්කන්ධයද දේශනා කළ සේක. මෙසේ අනුපිළිවෙළින් ස්කන්ධයන් පිළිබඳ විනිශ්චය ක්රමය දතයුතුය.
විසෙසතො (විශේෂ වශයෙන්) යනු, ස්කන්ධයන්ගේ හා උපාදාන ස්කන්ධයන්ගේ විශේෂ වශයෙනි. ඔවුන්ගේ විශේෂය කවරේද? පළමුව ස්කන්ධයෝ අවිශේෂයෙන් කියන ලද්දාහුය. උපාදානස්කන්ධයෝ ආශ්රව සහිත බවින් හා උපාදානීය බවින් විශේෂකොට කියන ලද්දාහුය. කියනලදමැයි:-
“මහණෙනි, ඔබට පඤ්චක්ඛන්ධයන්ද පඤ්ච උපාදානක්ඛන්ධයන්ද දේශනා කරමි. එය අසනු. -පෙ-මහණෙනි, පංච ස්කන්ධයෝ කවරහුද? අතීත, අනාගත, ප්රත්යුත්පන්න වූ -පෙ- නුදුරෙහි හෝ වූ යම්කිසි රූපයක් වේනම්, මෙය රූපස්කන්ධයයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි විඤ්ඤාණයක් වේනම්, මහණෙනි, මෙය විඤ්ඤාණස්කන්ධයයි කියනු ලැබේ. මහණෙනි මොහු පංචස්කන්ධයෝයයි කියනු ලැබෙති. මහණෙනි පංච උපාදානස්කන්ධයෝ කවරහුද? මහණෙනි, ආශ්රව සහිතවූද, උපාදානීය වූද, යම්කිසි රූපයක් -පෙ- නුදුරෙහි හෝ වේනම්, මහණෙනි, මෙය රූප උපාදානස්කන්ධයයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි විඤ්ඤාණයක් නුදුරෙහි හෝ වේනම්, මහණෙනි, මෙය විඤ්ඤාණ උපාදානස්කන්ධයයි කියනු ලැබේ. මහණෙනි, මොහු පංච උපාදානස්කන්ධයයි කියනු ලැබෙති.”
තවද මෙහිලා ආශ්රව රහිතවූද වේදනාදිය ඇති නමුදු, රූපය එසේ නොවේ. යම්හෙයකින් වනාහි ‘රාශි’ යන අර්ත්ථයෙන් එයට ස්කන්ධභාවය යෙදේද, එහෙයින් එය (රූපය) ස්කන්ධ සංඛ්යාවෙහිලා කියන ලදී. යම් හෙයකින් රාශි -අර්ත්ථයෙන්ද, ආශ්රව සහිතය යන අර්ත්ථයෙන්දැයි (යන උභයාර්ත්ථයෙන්) උපාදානස්කන්ධ භාවයම යෙදේද, එහෙයින් එය (රූපය) උපාදානස්කන්ධ සංඛ්යාවෙහි ලා කියනලදි. වේදනාදී (සෙසු ස්කන්ධ සතර) වනාහි ආශ්රවරහිත වූයේම ස්කන්ධ සංඛ්යාවෙහිලා කියන ලදී; ආශ්රව සහිත වූයේ උපාදානස්කන්ධ සංඛ්යාවෙහිලා කියනලදි. තවද ‘උපාදානක්ඛන්ධා’ යන මෙහි, උපාදානයට ගෝචරවූ ස්කන්ධයෝ උපාදානස්කන්ධයෝය’යි මෙසේ අර්ත්ථය දතයුතුවේ. මෙහි (විසුද්ධි මග්ගයෙහි) වනාහි ඒ (සාසව වූද අනාසව වූද, සියල්ල එක් කොට ‘ස්කන්ධ’යයි අභිප්රේත වේ.
අනූනාධිකතො යනු:- කවර හෙයින් වනාහි භාග්යවතුන් වහන්සේ විසින් අඩුවැඩි නැතිව ස්කන්ධයන් පසක්ම ප්රකාශ කරන ලද්දේද යත්: සියලු සංස්කාර ධර්මයන් එකිනෙකට ඇති පොදු ලක්ෂණ අනුව එක් එක් ස්කන්ධයට ඇතුළත් කොට සංග්රහ කළ හැකි හෙයින් හා ‘තමාය, තමාගේය’යි ගත හැකි ඉහළම ප්රභේද සංඛ්යාව වන හෙයින්ද, ඉන් බැහැර වූ සෙසු වස්තූන්ද එයටම ඇතුළත් වන හෙයිනි. නොයෙක් ප්රභේද සහිතවූ සංස්කාරයන් සමාන ලක්ෂණ අනුව සංග්රහ කරනු ලබන කල්හි රූපය රූපයට අයත් පොදු ලක්ෂණ අනුව එක් ස්කන්ධයක් වෙයි. වේදනාව වේදනාවට අයත් පොදු ලක්ෂණ අනුව අනෙක් ස්කන්ධයක් වෙයි. සඤ්ඤා ආදිය පිළිබඳවද මෙම නයයි. එහෙයින් සියලු සංකාර ධර්මයන් එක් එක් සංස්කාරයට අයත් පොදු ලක්ෂණ අනුව සංග්රහ කිරීම් වශයෙන් ස්කන්ධ පසක්ම ප්රකාශ කරන ලදී. තවද මෙම ඒතපරමය (උපරිම සංඛ්යාව) ‘තමාය තමාගේය’යි ගනු ලබන රූපාදී වූ පංචකයමැයි. කියනලදමැයි:- “මහණෙනි, රූපය විද්යමාන වන කල්හි, රූපය උපාදාන කොටගෙන (දැඩිව අල්වාගෙන), රූපයට පිවිස, ‘මෙය මාගේය, මේ මම්ම වෙමි, මේ මාගේ ආත්මය’ යන මෙවන් දෘෂ්ටියක් උපදියි. වේදනාව-පෙ- සඤ්ඤාව-පෙ- සංඛාර-පෙ විඤ්ඤාණය විද්යමාන වන කල්හි, විඤ්ඤාණය උපාදාන කොටගෙන, විඤ්ඤාණය වෙත පිවිස, ‘මෙය මාගේය, මේ මම්ම වෙමි, මේ මාගේ ආත්මයමයි’ යන මෙවන් දෘෂ්ටියක් උපදියි. එහෙයින් තමාය, තමාගේය’යි ගත හැකි වස්තුව පිළිබඳ එතපරමතාව (උපරිම සංඛ්යාව) වශයෙන්ද පසෙක්ම කියනලදි. තවද සෙසු ශීලාදීවු යම් ස්කන්ධ පංචකයක් කියන ලද්දේද, එයද සංකාර ස්කන්ධය බවට පත්වන හෙයින් මෙකී ස්කන්ධ පංචකය තුළම අන්තර්ගත බවට යෙයි. එහෙයින් එම සෙසු ස්කන්ධයන්ද මෙහිම ඇතුළත් වීමෙන් පසක්ම වෙති’යි කියන ලදැ’යි මෙසේ නොඅඩු නොවැඩි වශයෙන් විනිශ්චය ක්රමය දතයුතුය.