වේදනා ස්කන්ධය
ඉක්බිති, “යම් කිසිවක් වින්දනය (ආලම්බන රසාස්වාදය) ලක්ෂණ කොට ඇත්තේ වේද, ඒ සියල්ල එක් කොට වේදනා ස්කන්ධය දතයුතුය’යි (ඉහත නාමස්කන්ධ ආරම්භයෙහි) යමක් කියන ලද්දේ ද, (එය විස්තර කරනු ලැබේ). මෙහි වින්දනය (ආලම්බන රසාස්වාදය) ලක්ෂණ කොට ඇති නාමස්කන්ධය වේදනාවම වේ; යම්සේ කියන ලදද, “ඇවැත්නි, විඳිනු ලැබෙති, විඳිනු ලැබෙති’යි වේදනායයි කියනු ලැබේ.
එම වේදනාව වූකලී විඳිනු ලැබීමේ ලක්ෂණය හේතුකොට ගෙන ස්වභාව වශයෙන් ඒකවිධ වන නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අව්යාකතයයි ත්රිවිධ වේ. එහි කාමාවචර කුසලය සෝමනස්ස-උපෙක්ඛා ඤාණ-සංඛාර භේද වශයෙන් අටවැදෑරුම් වෙති’යි ආදී නයින් කියන ලද කුසල විඤ්ඤාණයෙන් යුක්තවූයේ කුසල වේදනායි. අකුසල විඤ්ඤාණයෙන් යුක්ත වූයේ අකුසල වේදනායි, අබ්යාකත විද්ඤාණයෙන් යුක්ත වූයේ අඛ්යාකත වේදනායයි දත යුතුය.
ස්වභාව භේද වශයෙන් සුඛය, දුක්ඛය, සෝමනස්සය, දෝමනස්සය, උපෙක්ඛායයි පස්වැදෑරුම් වේ. එහි කුසල විපාක සහිත කාය විඤ්ඤාණයෙන් යුක්තවූයේ සුඛ වේදනායි, අකුසල විපාක කාය විඤ්ඤාණයෙන් යුක්ත වූයේ දුක්ඛ වේදනායි. කාමාවචර වශයෙන් කුසල් සිත් සතරෙකින්ද සහේතුක විපාක සිත් සතරෙකින්ද, අහේතුක විපාක සිත් එකකින්ද සහේතුක කිරිය සිත් සතරෙකින්ද, අහේතුක කිරිය සිත් එකෙකින්ද, අකුසල් සිත් සතරෙකින්ද, රූපාවචර වශයෙන් - පංචමධ්යාන විඤ්ඤාණය හැර-කුසල් සිත් සතරින්ද, විපාක සිත් සතරින්ද කිරිය සිත් සතරින්ද, ධ්යාන නොවන ලෝකෝත්තර සිතක් නැති හෙයින් ලෝකෝත්තර සිත් අට ධ්යාන පසක් වශයෙන් සතළිසක් වේ. ඔවුනතුරෙන් පංචමධ්යානික සිත් අට හැර ඉතිරි ලෝකෝත්තර කුසලවිපාක සිත් දෙතිසෙකින්දැ’යි මෙසේ දෙසැට විඤ්ඤාණයෙකින් සම්ප්රයුක්ත වූයේ සෝමනස්ස වේදනායි, අකුසල් සිත් දෙකෙකින් සම්ප්රයුක්ත වූයේ දෝමනස්ස වේදනායි, සෙසු පස් පණස් විඤ්ඤාණයෙන් සම්ප්රයුක්ත වූයේ උපේක්ෂා වේදනායි.
එහි, සුඛවේදනාව ඉෂ්ට (රිසි) වූ ස්පර්ශයන් අනුභව කිරීම ලක්ෂණ කොට ඇත්තේය, සම්ප්රයුක්ත ධර්මයන්ගේ වැඩීයාම කෘත්ය කොට ඇත්තේය. කායික ආස්වාදය පච්චුපට්ඨාන (වැටහෙන ආකාරය) කොට ඇත්තේය, කායින්ද්රියය පදට්ඨාන කොට ඇත්තේය.
දුක්ඛ වේදනාව අනිෂ්ට-ස්පර්ශ-අනුභවය ලක්ෂණ කොට ඇත්තේය, සම්ප්රයුක්ත ධර්මයන්ගේ මැලවීයාම (දුබලවීම) කෘත්ය කොට ඇත්තේය, කායික ආබාධ වැටහීම් කොට ඇත්තේය, කායින්ද්රියය පදට්ඨාන (පදනම) කොට ඇත්තේය.
සෝමනස්ස වේදනාව ඉෂ්ටාරම්මණයන්ගේ අනුභවය ලක්ෂණ කොට ඇත්තේය, කවර ආකාර වූ හෝ ඉෂ්ටාකාර සම්භෝගය කෘත්ය කොට ඇත්තේය, චෛතසික ආස්වාදය වැටහීම් කොට ඇත්තේය, පස්සද්ධිය (මානසික විවේකය) පදනම් කොට ඇත්තේය.
දෝමනස්ස වේදනාව අනිෂ්ට-ආරම්මණ-අනුභවය ලක්ෂණකොට ඇත්තේය, කවර ආකාර වූ හෝ අනිෂ්ටාකාර සම්භෝගය කෘත්ය කොට ඇත්තේය, චෛතසික ආබාධ වැටහීම් කොට ඇත්තේය, ඒකාන්තයෙන්ම හෘදය වස්තුව පදනම්කොට ඇත්තේය.
උපේක්ෂා වේදනාව මැදහත් බවින් යුත් වින්දනය ලක්ෂණ කොට ඇත්තේය, සම්ප්රයුක්ත ධර්මයන්ගේ බොහෝ නොවන වැඩීම හෝ මැඩීම කෘත්ය කොට ඇත්තේය, ශාන්තභාව වැටහීම් කොට ඇත්තේය, නිප්රීතික (ප්රීති රහිත) චිත්තය පදනම්කොට ඇත්තේය.
මේ වේදනා ස්කන්ධයෙහි විස්තර කථා මාර්ගයයි.
සංඥා ස්කන්ධය
ඉක්බිති, ‘හඳුනාගැනීම ලක්ෂණකොට ඇති යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල එක්කොට සංඥා ස්කන්ධයයි දතයුතුය’ යනුවෙන් ඉහත යමක් කියන ලදද, එහිද හඳුනාගැනීම ලක්ෂණ කොට ඇති නාමස්කන්ධය නම් සංඥායි. ඒ මේ සංඥා ස්කන්ධය වූ කලී සංජානන ලක්ෂණයෙන් ස්වභාව වශයෙන් ඒකවිධ වනුයේ නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අඛ්යාකතය’යි ත්රිවිධ වේ.
එහි කුසල විඤ්ඤාණයෙන් සම්ප්රයුක්ත වූයේ කුසල සංඥායි, අකුසල විඤ්ඤාණයෙන් සම්ප්රයුක්ත වූයේ අකුසල සංඥායි, අව්යාකෘත සම්ප්රයුක්ත වූයේ අව්යාකෘත සංඥායි. සඤ්ඤායෙන් යුක්ත නොවූ විඤ්ඤාණයෙක් නැත, එහෙයින් විඤ්ඤාණයෙහි ප්රභේද යම් පමණ ඇත්ද, සංඥායෙහිද එපමණම ඇත.
ඒ මේ සංඥාව වූකලී විඤ්ඤාණය හා සමාන වූ ප්රභේද ඇත්තේ නමුදු ලක්ෂණ වශයෙන් මුළු සංඥාස්කන්ධයම හුදෙක් හඳුනාගැනීමම ලක්ෂණකොට ඇත්තේය, මේ (පෙර හඳුනාගත්) එයමය’යි නැවත හඳුනාගැනීමට හේතුවන නිමිති ඇති කිරීම කෘත්ය කොට ඇත්තේය, දැව ආදී විෂයයන්හි නිමිති ඇති කරන වඩු ආදීන් මෙනි. ගන්නා ලද නිමිති අනුව සිත තුළට පිවිසීම වැටහීම් කොට ඇත්තේය, ඇතා හඳුනා ගන්නා අන්ධයන් මෙනි; එළඹසිටි ආකාර වූ විෂයයන් පදනම්කොට ඇත්තේය, තණයෙන් කළ පඹයන් කෙරෙහි මුව පොව්වන් තුළ ඇති වන ‘මිනිස්සු’ය යන හැඟීම මෙනි.
මේ සංඥා ස්කන්ධයෙහි විස්තර කථා මාර්ගයයි.
සංස්කාර ස්කන්ධය
“අභිසංඛරණය (කුශලාකුශල කර්මයන් සාධනය කිරීම) ලක්ෂණ කොට ඇති යමක් ඇත්තේද, ඒ සියල්ල එක් කොට සංස්කාර ස්කන්ධයයි දතයුතුය’ යනුවෙන් ඉහත යමක් කියන ලද්දේ ද, එහි අභිසංඛරණ ලක්ඛණ නම් රැස්කිරීමේ ලක්ෂණයයි; ඒ කිමෙක්ද? සංස්කාරයෝමැයි; යම්සේ කියන ලදද, “මහණෙනි, සංඛතධර්මයන් සාධනය කෙරෙති’යි (රැස් කෙරෙති’ යි හෝ) ‘සංඛාර’ යයි කියනු ලැබේ එම සංඛාරයෝ අභිසංඛරණය ලක්ෂණ කොට ඇත්තාහ, ආයුහනය (එක්රැස් කොට ගැනීම) කෘත්ය කොට ඇත්තාහ. පැතිරීම වැටහීම ආකාරකොට ඇත්තාහ, සෙසු (නාම) ස්කන්ධ තුන පදනම් කොට ඇත්තාහ.