සංඥා ස්කන්ධය
ඉක්බිති, ‘හඳුනාගැනීම ලක්ෂණකොට ඇති යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ල එක්කොට සංඥා ස්කන්ධයයි දතයුතුය’ යනුවෙන් ඉහත යමක් කියන ලදද, එහිද හඳුනාගැනීම ලක්ෂණ කොට ඇති නාමස්කන්ධය නම් සංඥායි. ඒ මේ සංඥා ස්කන්ධය වූ කලී සංජානන ලක්ෂණයෙන් ස්වභාව වශයෙන් ඒකවිධ වනුයේ නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අඛ්යාකතය’යි ත්රිවිධ වේ.
එහි කුසල විඤ්ඤාණයෙන් සම්ප්රයුක්ත වූයේ කුසල සංඥායි, අකුසල විඤ්ඤාණයෙන් සම්ප්රයුක්ත වූයේ අකුසල සංඥායි, අව්යාකෘත සම්ප්රයුක්ත වූයේ අව්යාකෘත සංඥායි. සඤ්ඤායෙන් යුක්ත නොවූ විඤ්ඤාණයෙක් නැත, එහෙයින් විඤ්ඤාණයෙහි ප්රභේද යම් පමණ ඇත්ද, සංඥායෙහිද එපමණම ඇත.
ඒ මේ සංඥාව වූකලී විඤ්ඤාණය හා සමාන වූ ප්රභේද ඇත්තේ නමුදු ලක්ෂණ වශයෙන් මුළු සංඥාස්කන්ධයම හුදෙක් හඳුනාගැනීමම ලක්ෂණකොට ඇත්තේය, මේ (පෙර හඳුනාගත්) එයමය’යි නැවත හඳුනාගැනීමට හේතුවන නිමිති ඇති කිරීම කෘත්ය කොට ඇත්තේය, දැව ආදී විෂයයන්හි නිමිති ඇති කරන වඩු ආදීන් මෙනි. ගන්නා ලද නිමිති අනුව සිත තුළට පිවිසීම වැටහීම් කොට ඇත්තේය, ඇතා හඳුනා ගන්නා අන්ධයන් මෙනි; එළඹසිටි ආකාර වූ විෂයයන් පදනම්කොට ඇත්තේය, තණයෙන් කළ පඹයන් කෙරෙහි මුව පොව්වන් තුළ ඇති වන ‘මිනිස්සු’ය යන හැඟීම මෙනි.
මේ සංඥා ස්කන්ධයෙහි විස්තර කථා මාර්ගයයි.
සංස්කාර ස්කන්ධය
“අභිසංඛරණය (කුශලාකුශල කර්මයන් සාධනය කිරීම) ලක්ෂණ කොට ඇති යමක් ඇත්තේද, ඒ සියල්ල එක් කොට සංස්කාර ස්කන්ධයයි දතයුතුය’ යනුවෙන් ඉහත යමක් කියන ලද්දේ ද, එහි අභිසංඛරණ ලක්ඛණ නම් රැස්කිරීමේ ලක්ෂණයයි; ඒ කිමෙක්ද? සංස්කාරයෝමැයි; යම්සේ කියන ලදද, “මහණෙනි, සංඛතධර්මයන් සාධනය කෙරෙති’යි (රැස් කෙරෙති’ යි හෝ) ‘සංඛාර’ යයි කියනු ලැබේ එම සංඛාරයෝ අභිසංඛරණය ලක්ෂණ කොට ඇත්තාහ, ආයුහනය (එක්රැස් කොට ගැනීම) කෘත්ය කොට ඇත්තාහ. පැතිරීම වැටහීම ආකාරකොට ඇත්තාහ, සෙසු (නාම) ස්කන්ධ තුන පදනම් කොට ඇත්තාහ.
මෙසේ ලක්ෂණාදියෙන් ඒකවිධ වන නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අඛ්යාකතයයි ත්රිවිධ වේ. එහි කුසල විඤ්ඤාණයෙන් සම්ප්රයුක්ත වූයේ කුසලයි. අකුසල විඤ්ඤාණයෙන් සම්ප්රයුක්ත වූයේ අකුසලයි. අඛ්යාකත විඤ්ඤාණයෙන් යුක්ත වූයේ අඛ්යාකත සංඛාරයි.
එහි පළමුකොට කාමාවචර ප්රථම කුසල විඤ්ඤාණයෙන් යුක්ත වූ, ඒකාන්ත වශයෙන් කියන ලද ස්වරූපයෙන් (පෙළෙහි) ආ (ඵස්ස ආදී) සංඛාරයන් සත්විස්සක්ද, ‘යේවාපනක’ යන නමින් (නියත වශයෙන් හෝ අනියත වශයෙන් නො-ආ) හැඳින්වෙන සතරක්ද, අනියත වශයෙන් ආ පසක්දැයි සංඛාරයෝ සතිසක් වෙති. එහි ඵස්සය, චේතනාය, විතක්කය, විචාරය, පීතිය, විරියය, ජීවිතය, සමාධිය, සද්ධාය, සතිය, හිරිය, ඔත්තප්පය, අලෝභය, අදෝසය, අමෝහය, කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය, කාය ලහුතාය, චිත්ත ලහුතාය, කාය මුදුතාය, චිත්තමුදුතාය, කාය කම්මඤ්ඤතාය, චිත්ත කම්මඤ්ඤතාය, කායපාගුඤ්ඤතාය, චිත්තපාගුඤ්ඤතාය. කායුජ්ජුකතාය, චිත්තුජ්ජුකතාය යන මොහු නියත ස්වරූපයෙන් (පෙළෙහි) ආ සත්විස්සයි, ඡන්දය. අධිමොක්ඛය, මනසිකාරය, තත්රමජ්ඣත්තතාය යන සතර යේවාපනකයි, කරුණාය, මුදිතාය, කායදුච්චරිතවිරතිය, වචීදුච්චරිත විරතිය, මිච්ඡාජීව විරිතිය යන මොහු අනියත පසයි. මේ අනියත සංඛාර පස ඇතැම් විටෙක උපදියි, එහෙත් (එක්ම චිත්තයෙහි) එකවිට නො-උපදියි.
එහි, ඵස්ස යනු, (ඵුසතී’ති ඵස්සො) ස්පර්ශ කෙරෙති’යි ඵස්ස නමි, එය ස්පර්ශ කිරීම ලක්ෂණ කොට ඇත්තේය, අරමුණ හා ගැටීම කෘත්ය කොට ඇත්තේය, (වස්තු, ආරම්මණ, විඤ්ඤාණ යන තුනෙහි) එක්රැස්වීම වැටහීම්කොට ඇත්තේය, ආපාථයට (හමුවට) පැමිණි විෂයය පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය. මේ ස්පර්ශය අරූපධර්මයක් වූයේම, අරමුණෙහි වැදගන්නා ආකාරයෙන්ම (ගෑවෙන්නා සේ) පවතී. ඒකදේශයකින් හෝ ගෑවීමක් නොවෙතත්, ඇස හා රූපය මෙන්ද, කණ හා ශබ්දය මෙන්ද, සිත හා අරමුණ එකිනෙක ගැටෙයි, (වස්තු ආලම්බන. විඤ්ඤාණ යන) තුනෙහි එක්වීම ඵස්සයට හේතු වශයෙන් දක්වන ලද හෙයින්, එම හේතු තුනෙහි එක්රැස්වීම පච්චුපට්ඨාන (වැටහීම්) කොට ඇත්තේය; එයට අනුරූප වූ ආවර්ජන චිත්තයෙන් හා ඉන්ද්රියයෙන් සකස් කරන ලද විෂයයෙහි බාධාරහිතව උපදනා හෙයින් (ආපාථගත විසයපදට්ඨාන) හමුවට පත් අරමුණු පදට්ඨාන (පදනම්) කොට ඇත්තේයයි කියනු ලැබේ. වේදනාවට ආධාරවන බැවින් සම ගසන ලද ගවදෙනක වැනියයි දතයුතුය.
චේතනා - සිතනු ලැබෙති’යි චේතනානම් වේ. “සම්ප්රයුක්ත ධර්මයන් මෙහෙයවති”යි යන අර්ත්ථයි. එම චේතනා ස්වභාවය ලක්ෂණ කොට ඇත්තේය, එක්රැස්වීම කෘත්ය කොට ඇත්තේය, සංවිධානය වැටහීම් ආකාර කොට ඇත්තේය. තමා සතු කාර්යය කරමින්ම අන්යයන්ද ඔවුන් සතු කාර්යයෙහි යොදවන දෙටුසිසු, ඇඳුරු වඩු ආදීන් සෙයිනි. අත්යවශ්ය කාර්යයන් සිහිගැන්වීම් ආදියෙහිද මෙය (චේතනාව) සම්ප්රයුක්ත ධර්මයන් උත්සාහවත් කරන ස්වභාවයෙන් පවතිමින් ප්රකට වෙයි.
විතක්ක-විචාර-පීති යන මෙහි කිවයුතු යමක් ඇත්ද, ඒ සියල්ල පඨවිකසිණ නිද්දේසයෙහි ප්රථම ධ්යාන විස්තරයෙහිදී කියන ලද්දේමය.
විරිය - නම් වීරභාවය (වීර්යය) යි. එය උත්සාහවත් කිරීම ලක්ෂණ කොට ඇත්තේය, සහජාත ධර්මයනට උපස්තම්භ වීම කෘත්ය කොට ඇත්තේය, අනලස් බව වැටහීම් කාරණ කොට ඇත්තේය. ‘සංවේගයට පත් වූයේ නුවණින් පධන් (වීර්ය) වඩයි’ යන වදන් අනුව සංවේගය පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය, වීර්යාරම්භක වස්තුව හෝ පදට්ඨාන කොට ඇත්තේය; මනාකොට අරඹන ලද්දේ සියලු සැපතට මුල් වෙති’යි දතයුතුය.