විඥාන ස්කන්ධය
සෙසු ස්කන්ධයන් අතුරෙන් වේදයිත ලක්ෂණ ඇති හෙවත් වින්දනය ලක්ෂණ කොට ඇති යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන වේදනාක්ඛන්ධ යයිද, හඳුනාගැනීම ලක්ෂණ කොට ඇති යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන සඤ්ඤාක්ඛන්ධ යයිද, සකස් කිරීම හෝ උත්සාහ කිරීම ලක්ෂණ කොට ඇති යමක්වේද, ඒ සියල්ල එක්කොට ගෙන සංඛාරක්ඛන්ධ යයිද, දැනගැනීම ලක්ෂණ කොට යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන විඤ්ඤාණක්ඛන්ධ යයිද දතයුතුය. එහි යම් හෙයකින් විඤ්ඤාණක්ඛන්ධය දතහොත් සෙසු ස්කන්ධත්රයය දැනගැනීම පහසුවේද, එහෙයින් විඤ්ඤාණක්ඛන්ධය පළමුකොට විස්තර කරන්නෙමු.
“විජානනය (මැනවින් දැන ගැනීම) ලක්ෂණකොට ඇති යම් කිසිවක් ඇත්තේද, ඒ සියල්ල එක් කොට විඤ්ඤාණක්ඛන්ධය දතයුතුය”යි කියනලදි. විජානනය ලක්ෂණකොට ඇති විඤ්ඤාණය යනු කවරේද යත් කියන ලදමැයි:- ඇවැත්නි, “විජානාති, විජානාති’’යි වහරනු ලැබේ. එහෙයින් ‘විඤ්ඤාණ’යයි කියනු ලැබේ’” යනුයි. ‘විඤ්ඤාණ’, ‘චිත්ත’, ‘මනෝ’ යන වචන තුන අර්ත්ථ වශයෙන් සමානය, ඒ මේ විඤ්ඤාණය දැනගැනීමේ ලක්ෂණයෙන් ස්වභාව වශයෙන් ඒකවිධ වූයේ නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අබ්යාකතයයි ත්රිවිධ වේ.
එහි කුසල චිත්තය භූමිභේද වශයෙන් කාමාවචරය, රූපාවචරය, අරූපාවචරය, ලෝකෝත්තරයයි චතුර්විධ වේ. කාමාවචර චිත්තය සෝමනස්ස-උපෙක්ඛා ඤාණ, සංඛාර භේද වශයෙන් අෂ්ටවිධ වේ. ඒ මෙසේයි: සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත - අසංඛාරික හා සසංඛාරික(2), එසේම ඤාණවිප්පයුත්ත(2); උපෙක්ඛාසහගත-ඤාණසම්පයුත්ත අසංඛාරික හා සසංඛාරික(2), එම ඤාණවිප්පයුත්ත(2) යනුවෙනි.
යම්කලෙක වනාහි, දියයුතු දානවස්තු, ප්රතිග්රාහක, ආදීන් නිසි ලෙස ලැබීමෙන් හෝ සොම්නසට හේතුවන අන්කිසි දෙයක් ලැබීමෙන් හෝ තුටු පහටුව, දුන් දෙයෙහි පල ඇතැ’යි යන ආදී නයින් පැවැති නිවැරදි දැකීම පෙරදැරි කොට, පැකිලීමකින් තොරව, අන් කෙනෙකුගේ මෙහෙයවීමක් නැතිව, යමෙක් දානාදී පින් කෙරෙත්ද, එකල සෝමනස්ස සහගත, ඤාණ සම්පයුත්ත අසංඛාරික චිත්තය වේ. යම් කලෙක, කියනලද නයින් තුටු පහටුව, නිවැරදි දැකීම පෙරදැරිකොට අමුත්තචාගතාදී වශයෙන් පසුබටවෙමින් හෝ අනෙකෙකු විසින් උත්සාහවත් කරන ලදුව යමෙක් එවන් පින්කම් කෙරෙත්ද එකල එම (සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත) චිත්තයම සසංඛාරික වේ. ‘සංඛාර’ යන මේ වචනය මේ අර්ත්ථයට අනුව තමාගේම හෝ මෙරමාගේ වශයෙන් පැවැති පූර්වප්රයෝගයට (මෙහයවීමට) අධිවචනයෙකි. යම් කලෙක වනාහි වැඩිහිටි ඥාතිජනයාගේ පිළිවෙත් දැකීමෙන් උපන් පලපුරුදු ඇති බාලදරුවෝ භික්ෂූන් දැක සොම්නස්ව වහා අතපත් යම් කිසිවක් දෙන්නාහුද, නැතහොත් වඳින්නාහුද එකල තුන්වැනි (සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික) සිත උපදියි. යම් කලෙක දෙවු, වඳිවු යනුවෙන් වැඩිහිටි ඥාතීන් විසින් උත්සාහවත් කරන ලදුව මෙසේ පිළිපන්නාහු නම්, එකල සිවුවැනි (සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික) සිත උපදියි. යම් කලෙක දියයුතු දානවස්තු ප්රතිග්රාහකාදීන් නොලැබීමෙන් හෝ සොම්නසට හේතු වූ අන් දෙයක් නොලැබීමෙන් මෙකී විකල්ප සතරෙහිම සෝමනස්ස රහිත බව වන්නේද, එකල ඉතිරි උපේක්ෂා සහගත සිත් සතර උපදිති’යි මෙසේ සෝමනස්ස උපෙක්ඛා ඤාණ, සංඛාර ප්රභේද වශයෙන් අෂ්ටවිධ වූ කාමාවචර කුශලචිත්තය දතයුතුය.
රූපාවචර චිත්තය වනාහි ධ්යානාංග යෝගභේද වශයෙන් පස්වැදෑරුම් වේ. ඒ මෙසේයි. විතක්ක, විචාර, පීති, සුඛ, සමාධි යන අංග පසම හා යෙදුණේ පළමුවැන්නයි. ඉක්බිති විතක්කය ඉක්මවූයේ දෙවැන්නයි. ඉක්බිති විචාරයද ඉක්මවූයේ තෙවැන්නයි. ඉනික්බිති පීතියද ඉක්මවුයේ සිවුවැන්නයි. ඉනිදු ඉක්බිති සුඛයද ඉකුත්ව උපේක්ෂා සමාධියෙන් යුක්ත වූයේ පස්වැන්නයි.
අරූපාවචර චිත්තයද ආරුප්ප සමාධි සතර හා යෙදීමෙන් සිවුවැදෑරුම් වේ; කියන ලද ක්රමයෙන් ආකාසානඤ්චායතන සමාධිය හා සමග යෙදුණේ පළමුවැන්නයි. විඤ්ඤාණඤ්චායතනාදිය හා සමග යෙදුණේ (පිළිවෙලින්) දෙවන, තුන්වන, සිවුවන අරූපාවචර කුසල් සිත් වන්නේය. ලෝකෝත්තර චිත්තය සතර මග හා යෙදීමෙන් සිවුවැදෑරුම් වෙතැ’යි මෙසේ පළමුකොට කුසල චිත්තයම එක්විසි වැදෑරුම් වන්නේය.
අකුසල විඤ්ඤාණය වනාහි භූමි වශයෙන් එක්වැදෑරුම් කාමාවචර භූමි වන්නේය; මූල වශයෙන් ලෝභමූලය, දෝසමූලය. මෝහ මූලයයි. තෙවැදෑරුම් වන්නේය;
ලෝභමූල චිත්තය වනාහි සෝමනස්ස-උපෙක්ඛා, දිට්ඨිගත, සංඛාර ප්රභේද වශයෙන් අටවැදෑරුම් වේ. ඒ මෙසේයි: සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික හා සසංඛාරික සිත් දෙකද, එසේම දිට්ඨිගත විප්පයුත්ත වශයෙන් වන දෙකද, උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික හා සසංඛාරික සිත් දෙකද, එසේම දිට්ඨිගත විප්පයුත්ත වශයෙන් වන දෙකදැ’යි මෙසේ අටවැදෑරුම් වේ.
යම් කලෙක වනාහි ‘කාමයන්හි ආදීනවයක් නැතැ’යි ආදී නයින් මිථ්යාදෘෂ්ටිය පෙරටුකොට, තුටු පහටුව, උත්සාහවත් නොකරන ලද ස්වභාවයෙන්ම තියුණු වූ මනසින් යුක්තව කාමයන් පරිභෝග කෙරේද, දිට්ඨමංගලාදිය සාරවශයෙන් ගනීද, එකල පළමුවන අකුශල චිත්තය උපදියි. යම් කලෙක (මෙරමා විසින්) උත්සාහවත් කරන ලද ස්වභාවයෙන් මොටවූ සිතින් එසේම අකුසල කර්මයන් කෙරේද, එකල දෙවන අකුශල චිත්තය උපදියි. යම් කලෙක මිථ්යාදෘෂ්ටිය පෙරටුකොට නොගෙන, හුදෙක් තුටු පහටු සිතින්, උත්සාහවත් නොකරන ලද ස්වභාවයෙන් තියුණු වූ මනසින් මෛථුන සේවනය හෝ කෙරේද, අන්සතු සම්පතෙහි දැඩි ලෝභ හෝ කෙරේද, අන්සතු වස්තුව හෝ පැහැර ගනීද, එකල තුන්වන අකුසල චිත්තය උපදියි. යම් කලෙක උත්සාහවත් කරන ලද ස්වභාව වශයෙන් මොට වූ සිතින් යුක්තව එම අකුශල කර්මයන් කෙරේද, එකල සිවුවන අකුශල චිත්තය උපදියි. යම් කලෙක වනාහි කාම සම්පත්තියක් නොලැබ හෝ සෙසු සොම්නස් හේතුවක් නොමැතිව හෝ මෙකී විකල්ප සතරෙහි සොම්නස් රහිතව සිදු වේද, එකල උපේක්ෂා සහගත වූ සෙසු අකුසල් සිත් සතර සිදුවෙති’යි මෙසේ සෝමනස්ස, උපෙක්ඛා, දිට්ඨිගත, සංඛාර භේද වශයෙන් අටවැදෑරුම් ලෝභමූල චිත්තය දතයුතුය.
දෝසමූල චිත්තය වනාහි, දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාර සසංඛාර යනුවෙන් දෙවැදෑරුම්ම වේ. පාණාතිපාතාදියෙහි තියුණුව, නැතහොත් මොටව පවත්නා එම (දෙවැදෑරුම්) දෝසමූල චිත්තය (පිළිවෙළින් අසංඛාරිකව නැතහොත්, සසංඛාරිකව) උපදිති’යි දතයුතුය.
මෝහමූල චිත්තය උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්තයද, එම උද්ධච්ච සම්පයුත්තයදැයි දෙවැදෑරුම් වේ. එහි පැවැත්ම (පිළිවෙළින්) සැක මුසු බව හෝ වික්ෂේප හෙවත් මානසික නොසන්සුන් බව ඇති විට සිදුවෙති’යි දතයුතුය. මේ ආකාරයෙන් අකුසල විඤ්ඤාණය දොළොස් වැදෑරුම් වේ.