රූප ස්කන්‍ධය
එහි, ශීතාදිය හේතුකොට විකෘතීනට භාජන වන සුලු යම් ධර්ම සමූහයක් ඇත්ද, ඒ සියල්ල එක්ව ගෙන රූපස්කන්‍ධයයි දතයුතුය.
එම රූපස්කන්‍ධය රුප්පන (විකෘතීනට භාජන වීමේ) ලක්‍ෂණය අතින් ඒකවිධ වනුයේ නමුදු භූත උපාදාය ප්‍රභේද වශයෙන් ද්විවිධ වේ.
එහි භූත රූපය පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුයයි චතුර්විධ වේ. එහි ලක්‍ෂණ රස හෙවත් කෘත්‍යය පච්චුපට්ඨාන හෙවත් වැටහෙන නොහොත් එළඹ සිටින ආකාරය යන මේ කරුණු ඉහත චතුධාතු වවත්‍ථානයෙහිදී විස්තර කරන ලදි. පදට්ඨාන හෙවත් පදනම නැතහොත් ආසන්න කාරණ වශයෙන් ඒ මහාභූත සියල්ලම එකක්, එකක් අනෙක් තුන පදනම් කොට ඇත්තේය.
උපාදාය රූප සූවිසි වැදෑරුම් වේ. චක්‍ඛු-සෝත-ඝාන-ජිව්හා-කාය-රූප-සද්ද-ගන්‍ධ-රස- ඉත්‍ථින්‍ද්‍රිය-පුරිසින්‍ද්‍රිය-ජීවිතින්‍ද්‍රිය-භදයවත්‍ථු-කායවිඤ්ඤත්ති-වචීවිඤ්ඤත්ති-ආකාසධාතු-රූපස්සලහුතා-රූපස්ස මුදුතා-රූපස්ස කම්මඤ්ඤතා-රූපස්ස උපචය-රූපස්ස සන්තති-රූපස්සජරතා-රූපස්ස අනිච්චතා-කබලිඞ්කාරාහාර යනුවෙනි.
එහි, චක්‍ඛුපාදායය රූපාලම්බනයක් හා සමග ගැටීමට යෝග්‍ය වූ මහාභූතය (හෙවත් ධාතුව) විඳ ගැනීම ලක්‍ෂණකොට ඇත්තේය; නොහොත්, දකිනු රිසිබව මුල් කොටගත් (තෘෂ්ණාසහිත) කර්මයෙන් ජනිත මහාභූතය විඳගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය; රූපයන් වෙත විඤ්ඤාණය ඇද ගැනීම රස හෙවත් කෘත්‍යය කොට ඇත්තේය, චක්‍ඛු විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, දකිනු රිසි බව මුල්කොට ගත් කර්මයෙන් ජනිත මහාභූතය පදට්ඨාන (පදනම) කොට ඇත්තේය.
සෝත උපාදායය ශබ්දාලම්බනයක් හා සමග ගැටීමට යෝග්‍ය වූ මහාභූතය විඳගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය, නොහොත් අසනුරිසි බව මුල් කොට ගත් කර්මයෙන් හටගත් මහාභූතය විඳ ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය, ශබ්දාලම්බනය වෙත විඤ්ඤාණය ඇද ගැනීම කෘත්‍යය කොට ඇත්තේය, සෝත විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, අසනු රිසිබව මුල් කොට ගත් කර්මයෙන් උපන් මහාභූතය පදනම් කොට ඇත්තේය.
ඝාන උපාදායය ගන්‍ධාලම්බනයක් හා සමග ගැටීමට යෝග්‍ය වූ මහා භූතය විඳගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය, නොහොත් ආඝ්‍රාණය කරනු රිසි බව මුල් කොට ගත් කර්මයෙන් හටගත් මහාභූතය විඳ ගැනීම ලක්‍ෂණකොට ඇත්තේය, ගන්‍ධාලම්බනය වෙත විඤ්ඤාණය ඇද ගැනීම කෘත්‍යය කොට ඇත්තේය, ‘ඝාණ විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, ආඝ්‍රාණය කරනු රිසිබව මුල් කොටගත් කර්මයෙන් හටගත් මහා භූතය පදනම් කොට ඇත්තේය.
ජිව්හා උපාදායය රසාලම්බනයක් හා ගැටීමට යෝග්‍ය වූ මහාභූතය විඳගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය. නොහොත් සායනය (රසවිඳිනු) රිසි බව මුල් කොට ගත් කර්මයෙන් හටගත් මහාභූතය විඳගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය; රසාලම්බනය වෙත විඤ්ඤාණය ඇදගැනීම කෘත්‍යය කොට ඇත්තේය, ජිව්හා විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, රස විඳිනු රිසි බව මුල්කොටගත් කර්මයෙන් හටගත් භූතය පදට්ඨාන කොට ඇත්තේය.
කාය උපාදායය ද ස්පර්ශාලම්බනයක් හා සමග ගැටීමට යෝග්‍ය වූ මහා භූතය විඳ ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය, නොහොත් ස්පර්ශ කරනු රිසි බව මුල් කොටගත් කර්මයෙන් හටගත් මහාභූතය විඳගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය; ස්පර්ශාලම්බනය වෙතට විඤ්ඤාණය ඇදගැනීම කෘත්‍යය කොට ඇත්තේය, කාය විඤ්ඤාණය දරා සිටින බව වැටහීම් ආකාර කොට ඇත්තේය, ස්පර්ශ කරනු රිසි බව මුල් කොටගත් කර්මයෙන් හටගත් මහාභූතය පදට්ඨාන කොට ඇත්තේය.
ඇතැමෙක් වනාහි (මහා සඞ්ඝිකයන් අතුරෙන් කෙනෙක්) තේජෝ ධාතුව අධික කොට ඇති භූතය විඳ ගන්නේ චක්‍ෂු (උපාදාය) යයිද, වායෝ, පඨවි, ආපෝ ධාතුන් අධික කොට ඇති භූතයන් විඳගන්නාහු (පිළිවෙළින්) ශ්‍රෝත, ඝ්‍රාණ, ජිහ්වා යන උපාදායයෝ යයිද සියල්ල සමවූ මූලධාතූන් විඳගන්නේ කායඋපාදායයිද කියති. තවද කෙනෙක් (අභයගිරි වාසීහු) තේජෝ ගුණය අධික මූලධාතූන් විඳගන්නේ චක්‍ඛුපාදාය යයිද, විවර (ආකාශ) වායෝ, ආපෝ, පඨවි ගුණ අධික මූල ධාතූන් විඳගන්නාහු (පිළිවෙළින්) ශ්‍රෝත, ඝ්‍රාණ, ජිහ්වා, කාය යන උපාදායයෝ යයිද කියති. ඔවුනට, ‘සූත්‍ර දේශනාවක් ගෙනහැර දක්වනුයැ’යි කිවයුතුය. ඒකාන්තයෙන් සූත්‍රපාඨයක් දක්වනු නොහැකි වන්නාහුමය; මෙහිදී ඇතැමෙක්, තේජෝ ගුණ සහිත රූපාදිය විසින් චක්‍ඛුප්පසාද ආදිය අනුග්‍රහ කරනු ලැබීම් වශයෙනි’යි හේතු යුක්ති දක්වති; ඔවුනට මෙසේ කිවයුතුය: කවරකු එසේ ‘රූපාදිය තේජෝ ආදීන්ගේ ගුණය’යි කියා ඇත්ද? එකිනෙකින් වෙන් නොකළ හැකි පැවතුම් ඇති මහාභූතයන් අතර ‘මේ අසුවල් භූතගුණයයි, මේ අසුවල් භූතගුණය’යි කිවහැකි නොවේ’ යනුවෙනි.
එවිට ඔවුන් තව දුරටත් මෙසේ කියනු ඇත. ‘යම්සේ ඒ ඒ ද්‍රව්‍යයන්හි ඒ ඒ මූලධාතුව ඇතිවීමේ හේතුවෙන් පඨවි ආදීන්ගේ දැරිම් ආදී කෘත්‍යයන් කැමැති වන්නහුද (පිළිගන්නහුද) එසේ තේජෝ ගුණ බහුල ද්‍රව්‍යයන් කෙරෙහි රූප ආදිය අධික වශයෙන් දිස්වන හෙයින් එම රූප ආදිය තේජෝ ආදීන්ගේ ගුණයයි කැමැති විය (පිළිගත) යුතුය,’ යනුයි. එවිට ඔවුනට මෙසේ කිවයුතුය; “ඉදින් ආපෝ ගුණ බහුල ආසවයෙහි ගන්‍ධයට වඩා පඨවිගුණ බහුල කපු පුලුනෙහි බහන ලද ආසවයෙහි ගන්‍ධය අධිකතර වෙත්හොත්, තේජෝ ගුණ බහුල උණු දියෙහි වර්ණයට වඩා (තේජෝ ගුණයෙන් අඩු ඇල්දියෙහි වර්ණය හීන වෙත් හොත් අපි පිළිගන්නෙමු; මෙකී කරුණු දෙකම එසේ නොවන හෙයින් ආශ්‍රිත භූතයන් (ධාතූන්) පිළිබඳ වූ මේ විශේෂ කල්පනය අත්හරිනුය’ යනුවෙනි. යම්සේ එක් කලාපයකට අයත් භූතයන් (මූලධාතුන්) ගේ අවිශේෂ (සාමාන්‍ය) බවක් ඇති විය හැකි නමුදු, රූපරසාදිය එකිනෙකට අසමාන වන්නේද, එසේම චක්‍ඛුප්පසාදාදිය අන් විශේෂ කරුණක් නොමැතිව පවා එකිනෙකට අසමාන වෙතැ’යි යන මෙය පිළිගත යුතුය” යනුයි.
එකිනෙකට පොදු නොවන යමක් ඇතොත් ඒ කුමක්ද? චක්‍ඛුප්පසාදාදිය පිළිබඳ විශේෂ කාරණය නම් කර්මයමැයි, එහෙයින් එම චක්‍ඛුප්පසාදාදිය පිළිබඳ විශේෂය සිදුවනුයේ කර්ම විශේෂය හේතු කොට ගෙන මිස භූතවිශේෂය හේතුකොට ගෙන නොවේ. “භූත විශේෂය ඇති කල්හි පසාදය (විඳ ගැනීමට නො-උපදියි, පසාදය සිදුවනුයේ සමානයන් පිළිබඳව මිස අසමානයන් පිළිබඳව නොවේ” යයි පුරාණාචාර්යයෝ කීහ.
මෙසේ කර්ම විශේෂය හේතුකොට එකිනෙකට වෙනස්වන මේ පසාදයන් අතුරෙන් චක්‍ඛු, සෝත යන දෙක තමන් වෙත නොපැමිණි විෂයයන් ග්‍රහණය කරන්නේ වේ. තමනට නිශ්‍රය වූ මහාභූතයන් නො ඇලුණු නිශ්‍රය ඇති (රූප-ශබ්ද යන) දෙක විෂයෙහිම විඤ්ඤාණය ඉපැදවීමට හේතුවන හෙයිනි. ඝාන-ජිව්හා-කාය යන තුන තමන් වෙත පැමිණි විෂයයන්ම ග්‍රහණය කරන්නේ වේ; නිශ්‍රය වශයෙන් මෙන්ම තමන්ද තමනටම නිශ්‍රය වූ මහාභූතයන් ඇලුණු නිශ්‍රය ඇති (ගන්‍ධ-රස ඵොට්ඨබ්බ යන) විෂයයෙහි විඤ්ඤාණය ඉපැදවීමට හේතු වන බැවිනි.