මෙහි වනාහි ‘හදයරූප’ යයි යම් උපාදාරූපයෙක් ඇත්ද, එය වත්ථු (හෙවත් යමක් රඳවා ගෙන සිටින දෙයක්) නමි, එය ද්වාරයෙක් නොවේ; විඤ්ඤත්ති දෙක ද්වාර යි, වත්ථු නොවේ, පසාදරූප වස්තු මෙන්ම ද්වාරද වන හෙයින් වත්ථුද්වාර යි, සෙසුරූප වස්තුද ද්වාරද නොවන හෙයින් අවත්ථුඅද්වාරයි. මෙසේ වත්ථාදි චතුක්ක වශයෙන් සිවුවැදෑරුම් වේ.
යලි (කර්ම, චිත්ත, ඍතු, ආහාර යන මෙයින් එකක්, දෙකක්, තුනක් හෝ සතරම මුල් කොට ගෙන ඉපැදීම් වශයෙන්) ඒකජ, ද්විජ, තිජ, චතුජ යයිද, (මෙකී කිසිවක් මුල්කොට නො-ඉපැදීම් වශයෙන්) නකුතෝචිජාත යයිද පස්වැදෑරුම් වේ. එහි හුදෙක් කර්මයෙන්ම හෝ චිත්තයෙන්ම හෝ උපන් රූපය ඒකජ යි, එම රූපයන් අතුරෙන් හෘදය වස්තුව හා ඉන්ද්රියරූප අට හුදෙක් කර්මයෙන්ම උපන්නේ වේ; විඤ්ඤත්ති රූප දෙක හුදෙක් චිත්තයෙන්ම උපන්නේ වේ. යම් රූපයෙක් චිත්තයෙන් හා සෘතු හේතුවෙන් උපන්නේද, එය ද්විජ නමි. ඒ සද්දායතනයමැයි. යම් රූපයෙක් ඍතු, චිත්ත, ආහාර යන තුනෙන් උපන්නේද, එය තිජ නමි. ඒ රූපස්ස ලහුතා ආදී තුනමැයි. යම් රූපයෙක් කර්මාදී සතරින්ම උපන්නේද, එය චතුජ නම් වේ. ඒ ලක්ඛණ රූප හැර සෙසු රූපයි. ලක්ඛන රූපය වනාහි නකුතෝචිජාත (කිසිවෙකින් හෝ හටගත්තේ නොවේ, කවර හෙයින්ද යත්, උත්පාදය (ඉපැදීම) පිළිබඳ උත්පාදයෙක් (නැවත ඉපැදීමෙක්) ඇත්තේ නැත. හටගත් රූපයට ඇත්තේ පරිපාක (මිහිකිරීම) හා භේද (බිඳීයාම) යන අනෙක් ලක්ෂණ දෙක පමණි. “රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, ඵොට්ඨබ්බායතන, ආකාසධාතු, ආපෝධාතු, රූපස්සලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචය, රූපස්ස සන්තති, කබලිංකාර ආහාර මේ ධර්මයෝ සිතින් හටගත්තාහුය” යන ආදී තන්හි ඉපැදීම කිසිවෙකින් හටගත් බවක් අනුදන්නා ලද්දේ ද, එය වනාහි රූප ජනක ප්රත්යයන්ගේ කෘත්ය සිද්ධිය ප්රකටවූ කෙනෙහි දක්නාලද හෙයිනි’යි දතයුතුය.
මේ රූපස්කන්ධය පිළිබඳ විස්තර කථා මාර්ගයයි.
විඥාන ස්කන්ධය
සෙසු ස්කන්ධයන් අතුරෙන් වේදයිත ලක්ෂණ ඇති හෙවත් වින්දනය ලක්ෂණ කොට ඇති යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන වේදනාක්ඛන්ධ යයිද, හඳුනාගැනීම ලක්ෂණ කොට ඇති යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන සඤ්ඤාක්ඛන්ධ යයිද, සකස් කිරීම හෝ උත්සාහ කිරීම ලක්ෂණ කොට ඇති යමක්වේද, ඒ සියල්ල එක්කොට ගෙන සංඛාරක්ඛන්ධ යයිද, දැනගැනීම ලක්ෂණ කොට යමක් වේද, ඒ සියල්ල එක්කොට ගෙන විඤ්ඤාණක්ඛන්ධ යයිද දතයුතුය. එහි යම් හෙයකින් විඤ්ඤාණක්ඛන්ධය දතහොත් සෙසු ස්කන්ධත්රයය දැනගැනීම පහසුවේද, එහෙයින් විඤ්ඤාණක්ඛන්ධය පළමුකොට විස්තර කරන්නෙමු.
“විජානනය (මැනවින් දැන ගැනීම) ලක්ෂණකොට ඇති යම් කිසිවක් ඇත්තේද, ඒ සියල්ල එක් කොට විඤ්ඤාණක්ඛන්ධය දතයුතුය”යි කියනලදි. විජානනය ලක්ෂණකොට ඇති විඤ්ඤාණය යනු කවරේද යත් කියන ලදමැයි:- ඇවැත්නි, “විජානාති, විජානාති’’යි වහරනු ලැබේ. එහෙයින් ‘විඤ්ඤාණ’යයි කියනු ලැබේ’” යනුයි. ‘විඤ්ඤාණ’, ‘චිත්ත’, ‘මනෝ’ යන වචන තුන අර්ත්ථ වශයෙන් සමානය, ඒ මේ විඤ්ඤාණය දැනගැනීමේ ලක්ෂණයෙන් ස්වභාව වශයෙන් ඒකවිධ වූයේ නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අබ්යාකතයයි ත්රිවිධ වේ.
එහි කුසල චිත්තය භූමිභේද වශයෙන් කාමාවචරය, රූපාවචරය, අරූපාවචරය, ලෝකෝත්තරයයි චතුර්විධ වේ. කාමාවචර චිත්තය සෝමනස්ස-උපෙක්ඛා ඤාණ, සංඛාර භේද වශයෙන් අෂ්ටවිධ වේ. ඒ මෙසේයි: සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත - අසංඛාරික හා සසංඛාරික(2), එසේම ඤාණවිප්පයුත්ත(2); උපෙක්ඛාසහගත-ඤාණසම්පයුත්ත අසංඛාරික හා සසංඛාරික(2), එම ඤාණවිප්පයුත්ත(2) යනුවෙනි.
යම්කලෙක වනාහි, දියයුතු දානවස්තු, ප්රතිග්රාහක, ආදීන් නිසි ලෙස ලැබීමෙන් හෝ සොම්නසට හේතුවන අන්කිසි දෙයක් ලැබීමෙන් හෝ තුටු පහටුව, දුන් දෙයෙහි පල ඇතැ’යි යන ආදී නයින් පැවැති නිවැරදි දැකීම පෙරදැරි කොට, පැකිලීමකින් තොරව, අන් කෙනෙකුගේ මෙහෙයවීමක් නැතිව, යමෙක් දානාදී පින් කෙරෙත්ද, එකල සෝමනස්ස සහගත, ඤාණ සම්පයුත්ත අසංඛාරික චිත්තය වේ. යම් කලෙක, කියනලද නයින් තුටු පහටුව, නිවැරදි දැකීම පෙරදැරිකොට අමුත්තචාගතාදී වශයෙන් පසුබටවෙමින් හෝ අනෙකෙකු විසින් උත්සාහවත් කරන ලදුව යමෙක් එවන් පින්කම් කෙරෙත්ද එකල එම (සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත) චිත්තයම සසංඛාරික වේ. ‘සංඛාර’ යන මේ වචනය මේ අර්ත්ථයට අනුව තමාගේම හෝ මෙරමාගේ වශයෙන් පැවැති පූර්වප්රයෝගයට (මෙහයවීමට) අධිවචනයෙකි. යම් කලෙක වනාහි වැඩිහිටි ඥාතිජනයාගේ පිළිවෙත් දැකීමෙන් උපන් පලපුරුදු ඇති බාලදරුවෝ භික්ෂූන් දැක සොම්නස්ව වහා අතපත් යම් කිසිවක් දෙන්නාහුද, නැතහොත් වඳින්නාහුද එකල තුන්වැනි (සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික) සිත උපදියි. යම් කලෙක දෙවු, වඳිවු යනුවෙන් වැඩිහිටි ඥාතීන් විසින් උත්සාහවත් කරන ලදුව මෙසේ පිළිපන්නාහු නම්, එකල සිවුවැනි (සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික) සිත උපදියි. යම් කලෙක දියයුතු දානවස්තු ප්රතිග්රාහකාදීන් නොලැබීමෙන් හෝ සොම්නසට හේතු වූ අන් දෙයක් නොලැබීමෙන් මෙකී විකල්ප සතරෙහිම සෝමනස්ස රහිත බව වන්නේද, එකල ඉතිරි උපේක්ෂා සහගත සිත් සතර උපදිති’යි මෙසේ සෝමනස්ස උපෙක්ඛා ඤාණ, සංඛාර ප්රභේද වශයෙන් අෂ්ටවිධ වූ කාමාවචර කුශලචිත්තය දතයුතුය.