එහි චක්ඛු ආදී පංචකය ආත්මභාවය උදෙසා පවත්නා හෙයින් අජ්ඣත්තික නම්වේ. සෙසු තෙවිසි වැදෑරුම් රූපය ආත්මභාවයෙන් බැහැරවූ හෙයින් බාහිර නම්වේ. චක්ඛු ආදී (රසය අවසන් කොට ඇති) නවයද, ආපෝධාතුව හැර ඉතිරි ධාතු තුනදැ’යි යන දොළොස (විෂය - විෂයී) ගැටීම් වශයෙන් ගතයුතු වන හෙයින් ‘ඕළාරික’ නම්වේ. ඉතිරි සොළොස එසේ නොවන හෙයින් ‘සුඛුම’ නම්වේ, යමක් සුඛුම (සියුම්) වේද, එය දුරවබෝධය ස්වභාව ඇති හෙයින් ‘දූර’ නම්වේ, ඉතිරි දොළොස සුබෝධ්ය ස්වභාව ඇති හෙයින් ‘සන්තික’ නම්වේ. ධාතු සතරද, චක්ඛූ ආදීවූ (හදය වත්ථුරූපය තෙක්) තෙළසද කබලිංකාරාහාරයදැ’යි යන අටළොස් වැදෑරුම් රූපය පිරිසිඳීම්, වෙනස්වීම් ලක්ෂණ කොට ඇති බව ඉක්මවා ස්වභාව වශයෙන්ම ගතයුතු වන හෙයින් ‘නිෂ්පන්න’ නම්වේ, ඉතිරි දසය එයට වෙනස්වන හෙයින් ‘අනිෂ්පන්න’ නම්වේ. චක්ඛු ආදි පස රූපාදිය ගැනීමට ප්‍රත්‍යය වීමෙන් කැටපත් තලයක් මෙන් පැහැදිලි වන හෙයින් පසාද රූප නම් වේ. ඉතිරි තෙවිස්ස එයට විපරීත වන හෙයින් නප්පසාදරූප නම්වේ. එම පසාදරූප පස අධිපති අර්ත්ථයෙන් ඉත්‍ථින්‍ද්‍රිය ආදී තුනද සමග ‘ඉන්ද්රිය’ නම් වේ. ඉතිරි විස්ස එයට විපරීත වන හෙයින් ‘අනින්ද්රිය’ නම්වේ. යම් රූපයක් ‘කම්මජ’ යයි මෙහි මතු පවසන්නමෝද එය කර්මය විසින් ගන්නා ලද හෙයින් ‘උපාදින්න’ නම්වේ. ඉතිරිය එයට විපරීත වන හෙයින් ‘අනුපාදින්න’ නම්වේ.
තවද සකලවිධවූම රූපය ‘සනිදස්සන’ යනුවෙන්ද, ‘කම්මජ’ යනුවෙන්ද ඇරඹෙන ත්රිකයන්ගේ අනුසාරයෙන් ත්‍රිවිධ වේ. එහි ඕළාරික රූපයන් අතරින් රූප (උපාදා) ය ‘සනිදස්සනසප්පටිඝ’ (දැකිය හැකි, ගැටීම් සහිත) වේ. සෙසු ඕළාරික රූප එකොළොස අනිදස්සන-සප්පටිඝ (නොදැකිය හැකි, ගැටීම් සහිත) වේ. සියලු සුඛුම රූප සොළස අනිදස්සන - අප්පටිඝයි. මෙසේ සනිදස්සනාදී වශයෙන් ත්‍රිවිධ වේ. කම්මජාදී ත්‍රික වශයෙන් වනාහි, කර්මයෙන් උපන් රූපය (ඉන්ද්රිය රූප අට හා හදය වත්ථූ රූපය) ‘කම්මජ’ වේ. කර්මය හැර (සෘතු ආදී) අනෙකක් ප්‍රත්‍යය කොට නිපන් රූපය ‘අකම්මජ’ වේ, කිසිවෙකින් නූපන් රූපය ‘නේව කම්මජ - නාකම්මජ’ වේ. සිතින් උපන් රූපය ‘චිත්තජ’යි, සිත හැර අනෙකක් ප්‍රත්‍යය කොට උපන් රූපය ‘අචිත්තජ’ යි, කිසිවෙකින් නූපන් රූපය ‘නෙවචිත්තජනාචිත්තජයි, ආහාරයෙන් උපන් රූපය ‘ආහාරජ’යි, ආහාරය හැර අනෙකක් ප්‍රත්‍යය කොට උපන් රූපය ‘අනාහාරජ’ යි, කිසිවෙකින් නූපන් රූපය ‘නේව ආහරජ-න අනාහාරජ’යි සෘතු හේතුවෙන් උපන් රූපය ‘උතුජ’යි, අනෙකක් ප්‍රත්‍යය කොට උපන් රූපය ‘අනූතුජ’යි. කිසිවෙකින් නූපන් රූපය ‘නෙව උතුජ-න අනුතුජයි; මෙසේ කම්මජාදී ත්‍රික වශයෙන් ත්‍රිවිධ වේ.
තවද ‘දිට්ඨ’ යනුවෙන්ද, ‘රූපරූප’ යනුවෙන්ද, ‘වත්ථු’ යනුවෙන්ද ඇරඹෙන ඒ ඒ චතුෂ්කයන්ගේ වශයෙන් චතුර්විධ වේ. එහි රූපායතනය දර්ශනයට විෂය වන හෙයින් දිට්ඨ නමි. සද්දායතනය ශ්‍රවණයට විෂය වන හෙයින් සුත නමි. ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන ආයතන තුන තමා වෙත පැමිණි දෙයක් ග්‍රහණය කරන ඉන්ද්රියයනට විෂය වන හෙයින් මුත නමි. සෙසු රූප විඤ්ඤාණයටම විෂය වන හෙයින් විඤ්ඤාත නමි; මෙසේ දිට්ඨාදී චතුෂ්ක වශයෙන් සිවුවැදෑරුම් වේ.
(ඉහත සඳහන්) නිෂ්පන්න රූපය මෙහි රූපරූප නමි, ආකාසධාතුව පරිච්ඡේද රූප නමි. කායවිඤ්ඤත්තියෙහි පටන් ‘රූපස්ස කම්මඤ්ඤතාව’ අවසන් කොට ඇති රූප විකාරරූප නමි, ජාති-ජරා-භංග යන තුන ලක්ඛණරූප නමි, මෙසේ රූපරූපාදි චතුෂ්ක වශයෙන් සිවුවැදෑරුම් වේ.
මෙහි වනාහි ‘හදයරූප’ යයි යම් උපාදාරූපයෙක් ඇත්ද, එය වත්ථු (හෙවත් යමක් රඳවා ගෙන සිටින දෙයක්) නමි, එය ද්වාරයෙක් නොවේ; විඤ්ඤත්ති දෙක ද්වාර යි, වත්ථු නොවේ, පසාදරූප වස්තු මෙන්ම ද්වාරද වන හෙයින් වත්ථුද්වාර යි, සෙසුරූප වස්තුද ද්වාරද නොවන හෙයින් අවත්ථුඅද්වාරයි. මෙසේ වත්ථාදි චතුක්ක වශයෙන් සිවුවැදෑරුම් වේ.
යලි (කර්ම, චිත්ත, ඍතු, ආහාර යන මෙයින් එකක්, දෙකක්, තුනක් හෝ සතරම මුල් කොට ගෙන ඉපැදීම් වශයෙන්) ඒකජ, ද්විජ, තිජ, චතුජ යයිද, (මෙකී කිසිවක් මුල්කොට නො-ඉපැදීම් වශයෙන්) නකුතෝචිජාත යයිද පස්වැදෑරුම් වේ. එහි හුදෙක් කර්මයෙන්ම හෝ චිත්තයෙන්ම හෝ උපන් රූපය ඒකජ යි, එම රූපයන් අතුරෙන් හෘදය වස්තුව හා ඉන්‍ද්‍රියරූප අට හුදෙක් කර්මයෙන්ම උපන්නේ වේ; විඤ්ඤත්ති රූප දෙක හුදෙක් චිත්තයෙන්ම උපන්නේ වේ. යම් රූපයෙක් චිත්තයෙන් හා සෘතු හේතුවෙන් උපන්නේද, එය ද්විජ නමි. ඒ සද්දායතනයමැයි. යම් රූපයෙක් ඍතු, චිත්ත, ආහාර යන තුනෙන් උපන්නේද, එය තිජ නමි. ඒ රූපස්ස ලහුතා ආදී තුනමැයි. යම් රූපයෙක් කර්මාදී සතරින්ම උපන්නේද, එය චතුජ නම් වේ. ඒ ලක්ඛණ රූප හැර සෙසු රූපයි. ලක්ඛන රූපය වනාහි නකුතෝචිජාත (කිසිවෙකින් හෝ හටගත්තේ නොවේ, කවර හෙයින්ද යත්, උත්පාදය (ඉපැදීම) පිළිබඳ උත්පාදයෙක් (නැවත ඉපැදීමෙක්) ඇත්තේ නැත. හටගත් රූපයට ඇත්තේ පරිපාක (මිහිකිරීම) හා භේද (බිඳීයාම) යන අනෙක් ලක්ෂණ දෙක පමණි. “රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, ඵොට්ඨබ්බායතන, ආකාසධාතු, ආපෝධාතු, රූපස්සලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචය, රූපස්ස සන්තති, කබලිංකාර ආහාර මේ ධර්මයෝ සිතින් හටගත්තාහුය” යන ආදී තන්හි ඉපැදීම කිසිවෙකින් හටගත් බවක් අනුදන්නා ලද්දේ ද, එය වනාහි රූප ජනක ප්‍රත්‍යයන්ගේ කෘත්‍ය සිද්ධිය ප්‍රකටවූ කෙනෙහි දක්නාලද හෙයිනි’යි දතයුතුය.