පකිණ්ණකකථා
ඉති පංචක්ඛන්ධවිදූ පඤ්ච අභිඤ්ඤා අවොච යා නාථො
තා ඤත්වා තාසුං අයං පකිණ්ණක කථා’පි විඤ්ඤෙය්යා
තා ඤත්වා තාසුං අයං පකිණ්ණක කථා’පි විඤ්ඤෙය්යා
පංචස්කන්ධයන් අවබෝධ කළ නාථයන් වහන්සේ යම් අභිඥාවන් පසක් මෙසේ ප්රකාශ කළ සේක්ද, ඒ අභිඥාවන් දැන, එම අභිඥාවන් පිළිබද මේ ප්රකීර්ණක කථාවන්ද දතයුතුය
මේ අභිඥාවන් අතුරෙන් චුතූපපාත ඤාණයයි කියනලද යම් මේ දිබ්බචක්ඛු ඤාණයක් වේද, එයට අනාගතංස ඤාණය, යථාකම්මූපග ඤාණය යන මේ දෙකද පරිවාර ඤාණයෝ වෙති. මෙසේ මේ දෙකද ඉද්ධිවිධාදී වූ පසදැයි අභිඥාවන් සතක් මෙහි ආයේය, දැන් ඒ අභිඥාවන් පිළිබඳ අරමුණු විස්තර කිරීමේදී නිරවුල්බව පිණිස:-
ආරම්මණත්තිකා වුත්තා යෙ චත්තාරො මහෙසිනා
සත්තන්නම්පි ඤාණානං පවත්තිං තෙසු දීපයෙ
සත්තන්නම්පි ඤාණානං පවත්තිං තෙසු දීපයෙ
අරමුණු පිළිබඳ වූ යම් ත්රිකයන් සතරක් මහර්ෂීන් වහන්සේ විසින් ප්රකාශ කරන ලද්දේ ද, එම ත්රික සතරෙහි දී සප්ත අභිඥාවන් පවත්නා ආකාරය විස්තර කරන්නෙමි.
එහි විස්තරය මෙසේය:- අරමුණු පිළිබඳ වූ ත්රිකයන් සතරක් (අරමුණු දොළසක්) මහර්ෂීන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය, ඒ සතර කවරේද? පරිත්තාරම්මණත්තිකය, මහග්ගතාරම්මණත්තිකය, අතීතාරම්මණත්තිකය, අජ්ඣත්තාරම්මණත්තිකය යන මේයි.
ඉද්ධිවිධ ඤාණය-පරිත්ත-මහග්ගත-අතීත-අනාගත-පච්චුප්පන්න-අජ්ඣත්ත-බහිද්ධා වශයෙන් අරමුණු සතෙක්හි පවතී. කෙසේද යත්, යම් කලෙක රූපකායය සිත ඇසුරෙහි සිටින සේ ගෙන අදිසි කයින් යුතුව (නොපෙනී) යනු කැමැත්තේ සිතට අනුව කය හසුරුවයිද, මහද්ගත වූ සිත තුළ කය පිහිටුවයිද, රුවයිද එකල උපභෝග (ද්විතීයා විභක්ති) වශයෙන් ලද දෙය අරමුණ වෙති’යි ගෙන, රූපකායය අරමුණ වූ හෙයින් එය පරිත්තාරම්මණ වේ. යම් කලෙක සිත කය ඇසුරෙහි සිටින සේ ගෙන දෘශ්යමාන වූ කයින් යුතුව යනු කැමැත්තේ කයට අනුව සිත හසුරුවයිද, පාදකධ්යාන චිත්තය රූපකායය තුළ පිහිටුවයිද, රුවයිද, එකල උපයෝග වචන වශයෙන් ලද දෙය අරමුණු වෙති’යි ගෙන, මහද්ගත වූ සිත අරමුණු වූ හෙයින් එය මහග්ගතාරම්මණ වේ.
යම් හෙයකින් ඉකුත්ව නිරුද්ධව ගිය එම සිත අරමුණු කොට ගනීද, එහෙයින් එය අතීතාරම්මණ වේ. මහාධාතු නිධානයෙහිදී මහාකාශ්යප ස්ථවිරාදීනට සෙයින් අනාගතයෙහි වේවා’යි අධිෂ්ඨාන කරන විට අනාගතාරම්මණ වේ. මහාකාශ්යප ස්ථවිරයන් වහන්සේ වනාහි මහාධාතු නිධානය කරන සේක්, “අනාගතයෙහි දෙන අටළොස් වසක් මේ ගඳදෑ නොවියකේවා, මේ මල් නොමැලවේවා, මේ පහන් නොනිමේවායයි අධිෂ්ඨාන කළහ, සියල්ල එසේම සිදුවිය. අස්සගුත්ත ස්ථවිරයන් වහන්සේ වත්තනිය නම් සෙනස්නෙහි භික්ෂු සංඝයා වියලිබත් වළඳනු දැක, ‘දිය හෙබ දිනපතා උදයවරුවෙහි දීරස වේවා’යි අධිෂ්ඨාන කළහ, උදය වරුවෙහි ගත් විට දීරස වේ, සවස්වරුවෙහි සැබෑදියම වේ. කය සිත ඇසුරෙහි තබා අදිසිකයින් යුතුව යන කල පච්චුප්පන්නාරම්මණ වේ,
කයට අනුව සිත හෝ සිතට අනුව කය හසුරුවන කල තමාගේ දාරක වේශාදිය මවනවිට තමාගේම කය හෝ සිත අරමුණු කොට ගනු ලබන හෙයින් අජ්ඣත්තාරම්මණ වේ. බාහිර වූ ඇත් අස් ආදීන් දක්වන විට එය බහිද්ධාරම්මණ වේ. මෙසේ පළමුකොට ඉද්ධිවිධ ඤාණය අරමුණු සතෙක්හි පවත්නා බව දතයුතුය.
දිබ්බසොතධාතු ඤාණය පරිත්ත-පච්චුප්පන්න-අජ්ඣත්ත-බහිද්ධාරම්මණ වශයෙන් අරමුණු සතරෙක්හි පවතියි. කෙසේදයත්, යම්හෙයකින් ශබ්ද අරමුණු කොටගනීද, ශබ්දය සීමිත දෙයක් වේද, එහෙයින් පරිත්තාරම්මණ වේ, විද්යාමානවූම ශබ්දය අරමුණු කොට පවත්නා හෙයින් පච්චුප්පන්නාරම්මණ වේ, එය තමාගේම කුසෙහි ශබ්දය අසන කල අජ්ඣත්තාරම්මණ වේ, අන්යයන්ගේ ශබ්දය අසනකල බහිද්ධාරම්මණ වේ. මෙසේ දිබ්බසෝතධාතු ඤාණය සිවු අරමුණෙක්හි පවත්නා බව දතයුතුය.
චේතෝපරිය ඤාණය පරිත්ත-මහග්ගත-අප්පමාණ -මග්ග-අතීත-අනාගත-පච්චුප්පන්න බහිද්ධාරම්මණ වශයෙන් අට අරමුණෙක්හි පවතී. කෙසේද යත්, අනුන්ගේ කාමාවචර සිත් දන්නා කල එය පරිත්තාරම්මණ වේ, රූපාවචර අරූපාවචර සිත් දන්නා කල එය මහග්ගතාරම්මණ වේ, මාර්ග-ඵල දන්නා කල අප්පමානාරම්මණ වේ.
මේ වනාහි පෘථග්ජන තෙමේ සෝතාපන්නයාගේ සිත නොදනී. සෝතාපන්න තෙමේ සකෘදාගාමී වූවහුගේ සිත නොදනී, මේ පිළිවෙළින් රහත්හු දක්වා යොදා ගතයුතුය. රහත්හු සියල්ලන්ගේම සිත දනිති. ඉහළින් ඉහළින් සිටි අන්යයෝද, පහළින් පහළින් සිටියවුන්ගේ සිත දනිතියි යන මේ විශේෂය දතයුතුයි. මාර්ග චිත්තය අරමුණු කොට ඇති කල්හි මග්ගාරම්මණය වේ. යම් කලෙක වනාහි ඉකුත්ව ගිය සත්දිනක් ඇතුළතද, මතුවට එන සත්දිනක් ඇතුළතද අනුන් සිත් දනීද, එකල අතීතාරම්මණයද අනාගතාරම්මණයද වේ,