13. අභිඤ්ඤා නිද්දේසය
දිබ්බසොත ඤාණය
ඉක්බිත්තෙන් දිව්‍යංශ්‍රෝත්‍රධාතුව පිළිබඳ නිර්දේශ ක්‍රමය අනුපිළිවෙළින් පැමිණියේ වේ. එහිද පසුව එන අභිඥාත්‍රයයෙහිද, සො එවං සමාහිතෙ චිත්තෙ යන ආදියෙහි අර්ත්‍ථය යට කීනයින්ම දතයුතුය. ඒ සියලු තන්හි විශේෂාර්ත්‍ථයන් පමණක් විස්තර කරම්හ. එහි දිබ්බාය සෙතධාතුයා යන මෙහි, දිව්‍ය සදෘශ වූ හෙයින් දිබ්බ වේ. දෙවියන්හට වනාහි සුචරිත කර්ම හේතුකොට උපන් පිත්, සෙම්, ලෙහෙ ආදියෙන් පළිබෝධ නොවූ, උපක්ලේශයන්ගෙන් මිදුණු හෙයින් දුරදී පවා අරමුණු ගැනීමේ හැකියාව ඇති, දිව්‍ය වූ පසාදරූප සෝතධාතු ඇත්තේය. මේ භික්‍ෂුහටද වීර්යයභාවනා බලයෙන් උපන් ප්‍රසාදරූප ශ්‍රෝත්‍රධාතුව එබඳුම වෙතැ’යි, දිව්‍යාසදෘශ වූ හෙයින් ‘දිබ්බ’ නම් වේ. තවද, දිව්‍යවහාර වශයෙන් ලබාගන්නා ලද හෙයින්ද තමා විසින් දිව්‍යවිහාරයන් ඇසුරු කරන ලද හෙයින්ද, ‘දිබ්බ’ නම්වේ. ශ්‍රවණාර්ත්‍ථයෙන්ද, නිර්ජිවාර්ත්‍ථයෙන්ද ‘සොතධාතු’ නම් වේ. ශ්‍රෝත්‍රධාතුකෘත්‍යයන් කරන හෙයින්ද, ශ්‍රෝත්‍රධාතු සමාන වෙතැ’යිද සෝතධාතු නම්වේ, එම දිව්‍ය වූ ශ්‍රෝත්‍රධාතු පිණිසයි.
විසුද්ධාය යනු, පිරිසුදු වූ, උපක්ලේශ රහිත වූ ශ්‍රෝත්‍රධාතුව පිණිසයි. අභික්කන්තමානුසිකාය යනු, මනුෂ්‍ය විෂය ඉක්මවා ශබ්දයන් ශ්‍රවණය කිරීමෙන් මානුෂික මාංශමය ශ්‍රෝත්‍රධාතුව ඉක්මවූ, එයින් ඔබ්බට ගොස් සිටි ශ්‍රෝත්‍රධාතු, පිණිසයි. උභො සද්දෙ සුණාති යනු, ශබ්දද්වය ශ්‍රවණය කරයි. කවර ශබ්දද්වයක්ද? දිව්‍ය වූ හා මානුෂ වූ ශබ්දද්වයයි. දෙවියන්ගේද, මනුෂ්‍යයන්ගේද, ශබ්දයනැයි කී නියායි. මෙයින් ප්‍රදේශ වශයෙන් ගැනීම දත යුතුය. යෙ දූරෙ සන්තිකෙ වා යනු, යම් ශබ්දයක් පරසක්වළ තරම් දුර වූයේද, යම් ශබ්දයක් යටත් පිරිසෙයින් සිය සිරුර ඇසුරු කොට සිටි ප්‍රාණීන්ගේ ශබ්දයන් මෙන් ළං වූයේද, ඒ සියල්ල ශ්‍රවණය කරති’යි කී නියායි. මෙයින් ප්‍රදේශ භේදයෙන් තොරව සමස්ත වශයෙන් ගැනීම දතයුතුය.
මේ දිව්‍යශ්‍රෝත්‍ර ධාතුව ඉපැදවිය හැක්කේ කෙසේද? ඒ භික්‍ෂුව විසින් අභිඥාපාදකධ්‍යානයට සමවැද, එයින් නැගී, පරිකර්ම, සමාධි, චිත්තයෙන් පළමුකොට ප්‍රකෘති වශයෙන් ඇසෙන තෙක් මානයෙහි වූ වනයෙහි සිංහාදීන්ගේ ඕළාරික ශබ්දය ආවර්ජන කළයුතුය. විහාර භූමියෙහි ඝණ්ඨා ශබ්දය, බෙර ශබ්දය, ශංඛ ශබ්දය, මුළු ශක්තියෙන් සජ්ඣායන කරන සාමණේරයන්ගේ හා තරුණ භික්‍ෂූන්ගේ සජ්ඣායන ශබ්දය, ‘කිමෙක්ද ස්වාමීනි,’ ‘කිමෙක්ද ඇවැත්නි’යි ආදී වශයෙන් සාමාන්‍ය කතාබස්හි යෙදුණවුන්ගේ ශබ්දය, පක්‍ෂීන්ගේ ශබ්දය, වාතශබ්දය, පියවර තබන ශබ්දය, පැසෙන දියෙහි ‘චිටිචිටි’ යන අනුකරණ ශබ්දය, අව්වෙහි වියලෙන තල්කොළවල ශබ්දය, කුරු කුහුඹුවන්ගේ ශබ්දයයි. මේ ආකාරයෙන් සියලු ඕළාරික ශබ්දයෙහි පටන් අනුපිළිවෙළින් සියුම් වූ ශබ්දයන් ආවර්ජන කළ යුතුය. ඔහු විසින් නැගෙනහිර දිශාවෙහි වූ ශබ්දයන්ගේ නිමිති මෙනෙහි කළයුතුය, බටහිර දිශාවෙහි-උතුරු දිශාවෙහි-දකුණු දිශාවෙහි-යටි දිශාවෙහි-උඩු දිශාවෙහි-පූර්ව අනුදිශාවෙහි-අපර අනු දිශාවෙහි-උතුරු අනු දිශාවෙහි-දකුණු අනුදිශාවෙහි වූ ශබ්දයන්ගේ නිමිති මෙනෙහි කළයුතුය. ඕළාරික වූද සියුම්වූද ශබ්දයන්ගේ නිමිති මෙනෙහි කළ යුතුය. එම ශබ්දයෝ ඔහුගේ ප්‍රකෘති චිත්තයටද, ප්‍රකට වෙයි, පරිකර්ම සමාධිචිත්තයට වනාහි අතිශයින් ප්‍රකට වෙයි.
මේ ආකාරයෙන් ශබ්දයන්ගේ නිමිති මෙනෙහි කරන ඔහුට, ‘දැන් දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව උපදින්නේය’යි ඒ ශබ්දයන් අතුරෙන් එක්තරා ශබ්දයක් අරමුණු කොට මනෝද්වාරාවර්ජනය පහළ වෙයි, එම මනෝද්වාරාවර්ජනය ඉකුත්වත්ම ජවන් සිත් සතරක් හෝ පසක් දිවෙයි, එම ජවන් අතුරෙන් පළමු තුන් හෝ සතර පරිකර්මය, උපචාරය, අනුලෝමය, ගොත්‍රභූය යන නම් ඇති කාමාවචර චිත්තයෝය, සිවුවන හෝ පස්වන අර්පණා චිත්තය චතුර්ත්‍ථ ධ්‍යානික රූපාවචර චිත්තය වේ. එහිදී එම අර්පණා චිත්තය හා සමඟ උපන් යම් ඥානයක් වේද, එය දිව්‍යශ්‍රෝත්‍ර ධාතුවයයි දතයුතුය. එතැන් පටන් එම ශ්‍රෝත්‍රධාතු-විෂයෙහි අත්දුටුවකු බවට පත්වේ. එම ශ්‍රෝත්‍ර ධාතුව තර කරමින් එක් අඟලක් පමණ තැන් ගෙන, ‘මෙය ඇතුළත වූ ශබ්දයන් අසමි’යි පිරිසිඳ වැඩිය. යුතුය, ඉක්බිති දෑඟුලක්, සතරඟුලක්, අටඟුලක්, වියතක්, රියනක්, පමණ තැන්, ඇතුල් ගැබ, ආලින්දය, ප්‍රාසාදය, පිරිවෙණ, සංඝාරාමය, ගොදුරුගම, ජනපදය ආදී වශයෙන් සක්වළ පමණ තෙක්, එයටත් වැඩි තරම් තැන් ගෙන පිරිසිඳ වැඩිය යුතුය.
මෙසේ ලබාගත් අභිඥා ඇති මේ තෙමේ පාදකධ්‍යානාරම්මණයෙන් අල්වාගත් අවකාශය ඇතුළත වූ ශබ්දයන් නැවත පාදකධ්‍යානයට නොසමවැදම එම අභිඥා ඥානයෙන්ම අසන්නේමය. මෙසේ අසනුයේම බඹලොව තෙක් සක්හඬ, බෙරහඬ, පණාබෙරහඬ ආදියෙන් එක් කොළහල වූයේ නමුදු, එකක් එකක් වෙන් වෙන් වශයෙන් ගෙන හඳුනා ගැනීමේ කැමැත්ත ඇති විට, ‘මේ සක්හඬය. බෙරහඬය’යි වෙන් කොට හඳුනාගනු සමත් වේමය.