චුතූපපාත ඤාණය
සත්ත්‍වයන් පිළිබද චුති ප්‍රතිසන්‍ධි ඥාන කථා විෂයයෙහි, චුතූපපාත ඤාණය යනු චුතිය හා ප්‍රතිසන්‍ධිය පිළිබඳ ඥානය පිණිසයි, යම් ඥානයකින් සත්ත්‍වයන්ගේ චුතියද ප්‍රතිසන්‍ධියද දනීද එම ඥානය පිණිසයි. දිබ්බචක්‍ඛු ඥානය පිණිසයයි කී නියායි. චිත්තං අභිනීහරති අභිනින්නාමෙති යනු, පිරියම් සිත යොමු කරයි, නැඹුරු කරයි, සො යනු කරන ලද චිත්තප්‍රණිධි ඇති ඒ භික්‍ෂු තෙමේ, දිබ්බෙන යන ආදියෙහි වනාහි, දිව්‍ය සදෘශ වූ හෙයින් දිව්‍ය නමි, දේවතාවනට වනාහි සුචරිත කර්මයෙන් උපන්, පිත් සෙම් ලේ ආදියෙන් පළිබෝධ නොවූ, උපක්ලේශයන්ගෙන් මිදුණ බව හේතුකොට ගෙන දුරසිටි අරමුණු පවා පිළිගනු සමත්වූ දිව්‍ය වූ පසාදචක්‍ඛු ඇත්තේය, වීර්යයෙන් වඩන ලද භාවනා බලයෙන් උපන් මේ ඥාන චක්‍ෂුසද එබඳුම වෙතැයි දිව්‍යසදෘශ වූ හෙයින් දිව්‍ය නමි. දිව්‍ය විහරණ වශයෙන් ලබනලද හෙයින්ද, තමා විසින්ද දිව්‍ය විහරණ ඇසුරු කරන ලද හෙයින්ද, දිව්‍ය නමි. ආලෝක කසිණය ගැනීමෙන් මහත් දීප්ති ඇති හෙයින්ද දිව්‍ය නමි, බිත්ති ආදියෙන් මුවහ වූ තන්හි සිටි රූපයන් දැකීමෙන් මහත් ගති ඇති හෙයින්ද දිව්‍ය නමි, ඒ සියල්ල ශබ්දශාස්ත්‍රානුසාරයෙන්ම දතයුතුය.
දැකීමේ අරුතින් චක්‍ඛු නමි, ඇසින් කැරෙන කාර්යය කරන හෙයින් ඇස වැනියහයි ද, චක්‍ඛු නමි, චුති ප්‍රතිසන්‍ධීන් දැකීමෙන් දෘෂ්ටිවිශුද්ධියට හේතුවන හෙයින් විසුද්ධ නමි, යමෙක් වනාහි චුතිය පමණක් දක්නේ ප්‍රතිසන්‍ධිය නොදක්නේද හේ තෙමේ උච්ඡේද දෘෂ්ටිය ගන්නේය, යමෙක් උපපාතය (ප්‍රතිසන්‍ධිය) පමණක් දක්නේ චුතිය නොදක්නේද නවක සත්ත්‍වයකු පහළ වූහයි යන දෘෂ්ටිය ගන්නේය, යමෙක් වනාහි එම චුති-උපපාත යන දෙකම දක්නේද, ඔහුගේ දැකීම එම ද්විවිධ වූම දෘෂ්ටීන් ඉක්මවන හෙයින් දෘෂ්ටිවිශුද්ධියට හේතු වන්නේය, බුද්ධ පුත්‍රයෝ මේ (චුති-උපපාත යන) දෙකම දක්නාහුය. එහෙයින් චුතූපපාතදස්සනෙන දිට්ඨිවිසුද්ධිහෙතුත්තා විසුද්ධං (චුති-උපපාතයන් දැකීමෙන් දෘෂ්ටිවිශුද්ධියට හේතු වන හෙයින් විසුද්ධ නමැයි) කියන ලදි.
මනුෂ්‍ය විෂය ඉක්මවා රූපයන් දකින හෙයින් අතික්කන්තමානුසක නමි, නොහොත් මානුෂිකවූ මාංසචක්‍ෂුස ඉක්මවූ හෙයින් අතික්කන්තමානුසක නමැයි දතයුතුය. එම විශුද්ධ වූද මනුෂ්‍ය විෂය ඉක්මවූද දිව්‍ය චක්‍ෂුසෙනි. සත්තෙ පස්සති යනු, මනුෂ්‍යයන් මාංශචක්‍ෂුසින් (පියවි ඇසින්) බලන ආකාරයෙන් සත්ත්‍වයන් බලයි.
චවමානෙ උපපජ්ජමානෙ ච යනු, මෙහි චුතික්‍ෂණයෙහි හෝ උත්පත්තික්‍ෂණයෙහි හෝ දිව්‍යචක්‍ෂුසින් දකිනු නොහැකිය, යම් සත්ත්‍ව කෙනෙක් වනාහි ආසන්න වූ චුති ඇත්තාහු මේ මොහොතෙහි චුත වන්නාහුද, ඔහු චවමාන යයිද යම් සත්ත්‍ව කෙනෙක් ලබාගත් ප්‍රතිසන්‍ධි ඇතිව මේ මොහොතෙහි උපන්නාහුද, ඔහු උපපජ්ජමානයයිද අභිප්‍රේතයහ. මෙසේ චුත වන්නාවූද, උපදින්නාවූද, ඒ සත්ත්‍වයෝ ‘පස්සති’ යනු දකියි.
හීනෙ යනු, මෝහ විපාකයෙන් යුක්ත වීමේ හේතුවෙන් ජාති කුල භෝගාදී වශයෙන් හීනයයි පහත්යයි සම්මත වූවන්, හෙලා දැකීමට අවඥාවට පාත්‍රවූවන්ය, පණීතෙ යනු, අමෝහ විපාකයෙන් යුක්ත වීමේ හේතුවෙන් එම තත්ත්‍වයට විපරීත (වෙනස්) වූවන්ය, සුවණ්ණෙ යනු, අද්වේශ විපාකයෙන් යුක්ත නොවීමේ හේතුවෙන් පියකුරු වූ මනරම් වූ වර්ණ ඇත්තවුන්ය, දුබ්බණ්ණෙ යනු, ද්වේශ විපාකයෙන් යුක්තවීමේ හේතුවෙන් නොමනාවූ අප්‍රියවූ නොමනරම් වූ වර්ණ ඇත්තවුන්, නොමනා රූ ඇත්තවුන්ය, විරූපවූවන්ය යන අර්ත්‍ථයයි. සුගතෙ යනු, සුගතියට පත් වූවන්, නොහොත් අලෝභ විපාකයෙන් යුක්තවීමේ හේතුවෙන් ඉසුරුමත්වූ මහදනවතුන්ය, දුග්ගතෙ යනු, දුප්පතුන් නොහොත් ලෝභවිපාකයෙන් යුක්ත වීමේ හේතුවෙන් දිළිඳු වූවන්, කෑම් බීම් හිඟ වූවන්ය,
යථාකම්මූපගෙ යනු, යම් යම් කර්මයක් රැස් කරන ලද්දේද, ඒ ඒ කර්මයෙන් යුක්ත වූවන්ය, එහි ‘චවමානෙ’ යන ආදී පළමු පදවලින් දිබ්බචක්‍ඛු ඤාණයට අයත් කාර්යය කියනලදි. මේ (යථාකම්මූපගෙ යන) පදයෙන් වනාහි යථාකම්මූපග ඤාණයට අයත් කාර්යය කියනලදි. එම ඥානය උපදින ආකාරය මෙසේයි.:- මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ යට නිරය දෙසට ආලෝකය වඩා දැඩි දුක් විඳින නිරයවැසි සත්ත්‍වයන් දකියි. එම දැකීම දිබ්බචක්‍ඛු ඤාණයට අයත් කාර්යයම වේ. ඒ භික්‍ෂු තෙමේ ‘කවර නම් කර්මයක් කොට මේ සත්ත්‍වයෝ මෙවන් දුක් අනුභව කරත්දැ’යි මෙසේ මෙනෙහි කරයි. එවිට ඔහුට ‘මේනම් කර්මයක් කොටැ’යි එම කර්මය අරමුණු කොට ගත් ඥානය උපදියි. එසේම ඉහළ දෙව්ලොවට අභිමුඛ කොට ආලෝකය වඩා නන්‍දනවන මිස්සකවන ඵාරුසක වනාදියෙහි මහා සැපත් වළඳන සත්ත්‍වයන් දකියි, එම දැකීමද දිබ්බචක්‍ඛු කෘත්‍යයම වේ. හේ තෙමේ, කවර නම් කර්මයක් කොට මේ සත්ත්‍වයෝ මෙවන් සැපත් අනුභව කෙරෙත්දැ’යි මෙසේ මෙසේ මෙනෙහි කරයි, එවිට ඔහුට ‘මෙනම් කර්මයක් කොටැ’යි එම කර්මය අරමුණු කොට ගත් ඥානය උපදියි. මෙය යථාකම්මූපග ඤාණ නම්වේ, මෙයට විශේෂ වශයෙන් කළයුතු පරිකර්මයෙක් නැත, මෙයට මෙන්ම අනාගතංස ඤාණයටද විශේෂ පරිකර්මයෙක් නැත. දිබ්බචක්‍ඛුඤාණයම පාදකකොට මේ ඥානයෝ එම දිබ්බචක්‍ඛු ඤාණය හා සමගම සිද්ධ වෙති.
කායදුච්චරිතෙන යන ආදියෙහි, අයහපත් හැසිරීම නොහොත් දූෂිත චරිතය ක්ලේශයන්ගෙන් කිලිටි වූ හෙයින් දුශ්චරිත නමි. (වචී දුච්චරිතාදී) සෙසු දෙතන්හිද මෙසේමැයි. සමන්නාගතා යනු, සමන්විත වූවාහුයි. අරියානං උපවාදකා යනු, බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධ ශ්‍රාවකාදී ආර්යයන්හට, යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහියනට පවා අවැඩ කැමැතිව අන්තිම වස්තුවෙන් හෝ ගුණපරිධංසන වශයෙන් (ඇතිගුණ විපරීතකොට දැක්වීමෙන්) හෝ චෝදනා කරන්නාහු ගරහන්නාහු යයි කී නිසායි. එහි, ‘මොවුනට ශ්‍රමණධර්මයක් (මහණකමක්) නැත, මොවුහු ශ්‍රමණයෝ නොවෙති’යි කියනුයේ අන්තිම වස්තුවෙන් චෝදනා කෙරෙයි, ‘මොවුනට ධ්‍යානයක් හෝ විමුක්තියක් හෝ මාර්ගයක් හෝ ඵලයක් නැතැ’යි යන ආදිය කියනුයේ ගුණපරිධංසන වශයෙන් චෝදනා කෙරේයයි දතයුතුය. හේ තෙමේ දැන හෝ වේවයි නොදැන හෝ වේවයි මේ කවරාකාරයෙන් වුවද, මෙසේ චෝදනා කරන්නේ නම් එය අරියූපවාදයම වන්නේය. මෙය වනාහි ආනන්තරිය කර්මයක් තරම්ම ස්වර්ගයටද මාර්ගයටද, බාධාකර බැරෑරුම් කර්මයෙකි, එහෙත් (ආනන්තරිය කර්මය මෙන් නොව) පිළියම් කළහැක්කේ වේ. එය පැහැදිලි කරනු පිණිස මේ කතා පුවත දතයුතුය.:-